අමානා බැංකුවේ නුමෙයිර් කාසිම් මහතා බැංකු ප්‍රධාන අභ්‍යන්තර විගණක නිලධාරීන්ගේ සංසදයේ අභිනව සභාපති ධූරයට පත් වේ.

Amana Bank Chief Internal Auditor (CIA)

අමානා බැංකුවේ ප්‍රධාන අභ්‍යන්තර විගණන නිලධාරී නුමෙයිර් කාසිම් මහතා, බැංකු ප්‍රධාන අභ්‍යන්තර විගණක නිලධාරීන්ගේ සංසදයේ (Chief Internal Auditor’s Forum of Banks) සභාපති ධූරයට පත් වී තිබේ. පසුගියදා පැවති එම සංවිධානයේ නව කමිටු සමාරම්භයේදී මෙම පත්වීම සිදුකරන ලද අතර, නුමෙයිර් කාසිම් මහතාගේ විශිෂ්ට නායකත්ව කුසලතා සහ බැංකුකරණ හා විගණන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඔහු සතු පුළුල් දැනුම හා පළපුරුද්ද ඊට හේතු වී ඇත.

 



 

ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල වෘත්තිකයෙකු ලෙස නුමෙයිර් කාසිම් මහතා 2017 වසරේ සිට අමානා බැංකුවේ ප්‍රධාන අභ්‍යන්තර විගණන නිලධාරී ලෙස සේවය කරයි. අමානා බැංකුවේ සහකාර සභාපති (අභ්‍යන්තර විගණන) සහ ජ්‍යෙෂ්ඨ කළමනාකරු (අභ්‍යන්තර විගණන) යන තනතුරු හෙබවූ එතුමා අමානා බැංකුව සමග එක්වීමට පෙර Abu Dhabi Islamic Bank හි ජ්‍යෙෂ්ඨ  විශ්ලේෂක සහ National Bank Abu Dhabi හි ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් නිලධාරී ලෙසද කටයුතු කර ඇත. තවද කළමනාකරණ ගණකාධිකරණය සම්බන්ධයෙන් වරලත් කළමනාකරණ ගණකාධිකාරී සුදුසුකම (CIMA) ඇතුළුව අභ්‍යන්තර විගණන නිලධාරී ආයතනයේ ශ්‍රී ලංකා අංශයේ සභාපති ලෙස කටයුතු කරන එතුමා, ශ්‍රී ලංකා කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනයේ (CIMA Sri Lanka) උප කමිටුවලද සේවය කර ඇත.

“බැංකු ප්‍රධාන අභ්‍යන්තර විගණක නිලධාරීන්ගේ සංසදයේ සභාපති ධූරයට පත්වීමට අවස්ථාව ලැබීම මහත් සතුටක් හා ගෞරවයක් ලෙස සලකනවා. මෙම පත්වීම, සහයෝගීතාව වර්ධනය කර ගනිමින් අභ්‍යන්තර විගණන ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා බැංකු ක්‍ෂේත්‍ර සාමූහිකය දරන කැපවීම පිළිබඳ සාක්ෂියක් ලෙස මා දකිනවා. මෙම ගෞරවණීය කමිටුව සමග එක්ව කටයුතු කරමින්, ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝගවලට විසඳුම් සෙවීමටත්, දැනුම් හුවමාරුව ප්‍රවර්ධනය කිරීමටත්, බැංකු ක්ෂේත්‍රය තුළ අභ්‍යන්තර විගණනයේ විශිෂ්ටතම භාවිතයන් ප්‍රවර්ධනය කිරීමට මා බලාපොරොත්තු වෙනවා.” නුමෙයිර් කාසිම් මහතා පැවසී ය.

සභාපති නුමෙයිර් කාසිම් මහතාට අමතරව බැංකු ප්‍රධාන අභ්‍යන්තර විගණක නිලධාරීන්ගේ සංසදයේ 6 වැනි කමිටුවේ උප සභාපති ලෙස වරුණ කොග්ගලගේ (සෙලාන් බැංකුව), ලේකම් ධූරය සඳහා දුලාන් අබේරත්න (HSBC), සහ භාණ්ඩාගාරික ලෙස ජයන් ප්‍රනාන්දු  (DFCC) යන මහත්වරුද පත්ව සිටියි. තවද චරිත ජයවික්‍රම මහතා (සම්පත් බැංකුව) මීට පෙර එහි සභාපති ලෙස කටයුතු කළ අතර, රුවනි ද සිල්වා (NDB), ගයාන් රණවීර (NTB), ජෙරමි ද සිල්වා (PABC), ධනංජය දයානන්ද (SDB) සහ කුසල කරුණාරත්න (කාගිල්ස් බැංකුව) යන මහත්ම මහත්මීහු එහි සාමාජික සාමාජිකාවන් ලෙස කටයුතු කරති.

2015 වර්ෂයේදී නැවත ස්ථාපිත කිරීමේ අවස්ථාවේ පටන් බැංකු ප්‍රධාන අභ්‍යන්තර විගණක නිලධාරීන්ගේ සංසදය ශ්‍රී  ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල අභ්‍යන්තර විගණන කාර්යයන් ඒකාබද්ධ කරන සහයෝගීතා පදනමක් ලෙස කටයුතු කර ඇත. අභ්‍යන්තර විගණන වෘත්තිකයන් අතර ශක්තිමත් සම්බන්ධතා ගොඩනැංවීමට හා සහයෝගීතාව වර්ධනයට පහසුකම් සැලසීම, ක්ෂේත්‍රයේ පවතින අභියෝගවලට පිළියම් සෙවීම සහ දැනුම හුවමාරු කරගැනීමට අවස්ථා උදාකර දීම එහි මූලික අරමුණු වේ. එමෙන්ම මෙම සංසදය, බැංකු ක්ෂේත්‍රයේ අභ්‍යන්තර විගණන ප්‍රමිතීන් සහ විශිෂ්ටතම ක්‍රමවේදයන් ප්‍රවර්ධනය කිරීමට කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකරයි.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.

අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 − 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව