
සෙලාන් බැංකුව ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණ පද්ධති සඳහා ජාත්‍යන්තරව පිළිගත් ISO 22301:2019 සහතිකකරණය [ISO 22301:2019 for Business Continuity Management Systems (BCMS)] හිමි කරගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම බැංකුව බවට පත්වීමට පසුගියදා සමත් විය. ජාත්‍යන්තර බැංකුකරණය, භාණ්ඩාගාර කටයුතු, ඩිජිටල් බැංකුකරණය, මධ්‍යම නිෂ්කාශනය, තොරතුරු තාක්ෂණය, කාඩ්පත් මධ්‍යස්ථාන මෙහෙයුම්, මූල්‍ය, මානව සම්පත්, අලෙවිකරණය සහ තොරතුරු ආරක්ෂක ඒකකය යන අංශ මෙම සහතිකකරණය මගින් ආවරණය වේ. මීට සමගාමීව සිය තොරතුරු ආරක්ෂක කළමනාකරණ පද්ධති සඳහා ISO 27001:2022 සහතිකරණය [ISO 27001:2022 certification for Information Security Management Systems (ISMS)] හිමිකර ගැනීමටද සෙලාන් බැංකුවට හැකියාව ලැබිණි.
මෙම ද්විත්ව සහතිකකරණය මගින් සෙලාන් බැංකුව ඉදිරිගාමී සහ වගකීම්සහගත මූල්‍ය ආයතනයක් මෙන්ම, මෙරට බැංකු ක්ෂේත්‍රය තුළ ආරක්ෂාව සහ අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව අතින් ඉදිරියෙන්ම සිටින බැංකුවක් බව නැවත වරක් තහවුරු වී ඇත. එමෙන්ම සෙලාන් බැංකුව ඉහළම තලයේ අභ්‍යන්තර යටිතල පහසුකම් සහ විශිෂ්ට පාරිභෝගික සේවාවක් සමගින් නවෝත්පාදනයට, ආරක්ෂාවට සහ ව්‍යාපාරික අඛණ්ඩතාවට ප්‍රමුඛත්වය දෙන බවද එමගින් මැනැවින් පිළිබිඹු වේ .
ISO 22301:2019 යනු සෙලාන් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් කටයුතු සහ එම කටයුතු පවත්වාගෙන යාම සඳහා සහයෝගය ලබාදෙන අංශවල විෂය පථයන් සඳහා ලැබුණු සහතිකකරණයකි. මෙමගින් ඕනෑම තත්වයක් යටතේ තම සේවාවන් අඛණ්ඩව සැපයීමට, ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සහ වත්කම් ආරක්ෂා කරගැනීමට සෙලාන් බැංකුවට හැකියාව ඇති බව තහවුරු කරයි. එමෙන්ම එය නිරන්තරයෙන් වෙනස් වන මෙහෙයුම් පරිසරයක් තුළ පැනනගින අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දෙමින් තම සේවාවන් අඛණ්ඩව පවත්වාගැනීම සඳහා සෙලාන් බැංකුවට හැකියාව ඇති බව සනාථ කරන මනා සාක්ෂියකි.
මීට සමගාමීව හිමි වූ ISO 27001:2022 සහතිකකරණය මගින් මෘදුකාංග ඉංජිනේරුකරණය, තොරතුරු තාක්ෂණික ගෙවීම් පද්ධති, තොරතුරු තාක්ෂණික යටිතල පහසුකම්, ශාඛා සහය, ජාල ආරක්ෂාව සහ පද්ධති පරිපාලනය ඇතුළු තීරණාත්මක තොරතුරු තාක්ෂණ මෙහෙයුම් ආවරණය කරයි. සෙලාන් බැංකුව සිය ප්‍රධාන තොරතුරු වත්කම් සුරක්ෂිත කිරීම, සයිබර් අවදානම් අවම කිරීම සහ ගෝලීය සම්මතයන්ට අනුකූලව ශක්තිමත් ආරක්ෂක විධිවිධාන පවත්වාගෙන යාම සඳහා නිරන්තරයෙන් කටයුතු කරන බව මෙම සහතිකකරණය මගින් තහවුරු වේ.
සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රමේෂ් ජයසේකර මහතා මෙම සහතිකකරණයන් හිමි වීම සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය: “මෙය අවදානම් කළමනාකරණය සහ මෙහෙයුම්වල ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා අප දක්වන නිරන්තර උත්සාහයේ තවත් වැදගත් ඉදිරි පියවරක්. එමගින් අප ගනුදෙනුකරුවන්ගේ යහපතට ප්‍රමුඛත්වය දෙමින් අපගේ සේවාවන් අඛණ්ඩව පවත්වා ගැනීමට කැප වී සිටින බව නැවතත් තහවුරු වෙනවා. එමෙන්ම අප තොරතුරු සම්පත් ආරක්ෂා කරගැනීම සඳහා උසස් ආරක්ෂක විධිවිධාන සඳහා ආයෝජනය කිරීමටත්, නිවැරදි ආයතනික පාලන ක්‍රමවේදයන් සහ ශක්තිමත් ව්‍යාපාරික අඛණ්ඩතා විධිවිධාන පවත්වා ගැනීමටත් නිරන්තරයෙන් කටයුතු කරන බවට මෙය මනා සාක්ෂියක්. මෙම සහතිකකරණයන් හිමි වීම, අපගේ ගනුදෙනුකරුවන්ට සෑම විටම විශිෂ්ට හා විශ්වාසනීය සේවාවක් පිරිනැමීම සඳහා අප ගන්නා උත්සාහයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකියි.”
ISO 22301:2019 සහතිකකරණය ලබාගැනීමේ ක්‍රියාවලිය තුළ සෙලාන් බැංකුවට පූර්ණ වශයෙන් සහයෝගය හා මගපෙන්වීම ලබාදෙන ලද්දේ ලොව පිළිගත් උපදේශන සමාගමක් වන Ernst & Young Sri Lanka විසිනි. ISO 27001:2022 සහතිකකරණය සඳහා සෙලාන් බැංකුවේ උපදේශන හවුල්කරු ලෙස Deloitte Sri Lanka සමාගම කටයුතු කළේය.
මෙම සහතිකකරණයන්ට අදාළ විගණන ක්‍රියාවලිය Bureau Veritas Lanka විසින් සිදුකරන ලද අතර, එම ක්‍රියාවලිය තුළදී සෙලාන් බැංකුවේ විවිධ අංශවලට අදාළ ව්‍යාපාර බලපෑම් විශ්ලේෂණයන්, අවදානම් තක්සේරු කිරීම්, අඛණ්ඩතා ක්‍රමෝපායන් සහ ප්‍රතිසාධන සැලසුම් ආදිය ගැඹුරින් පරීක්ෂාවට ලක්කරන ලදි. මෙම තක්සේරුකරණ ක්‍රියාවලි දෙකටම සාර්ථක ලෙස මුහුණ දෙමින් සහතිකකරණයන් හිමි කරගැනීමට සමත් වීම, සෙලාන් බැංකුවේ ආයතනික කාර්යක්ෂමතාව තහවුරු කරන මනා සාක්ෂියක් ලෙස හැඳින්විය හැක.
ගෝලීය වශයෙන් පිළිගත් ප්‍රමිතීන්ට අනුකූලව සංවේදී මූල්‍ය තොරතුරුවලට ඉහළම මට්ටමේ ආරක්ෂාවක් ලබාදෙමින් තම ගනුදෙනුකරුවන් හා හවුල්කරුවන් තුළ විශ්වාසය ඇතිකිරීමට සෙලාන් බැංකුව නිරන්තරයෙන් කටයුතු කරන බව මෙම සහතිකකරණයන් මගින් මැනැවින් පිළිබිඹු වේ.


