ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ව්‍යාපාර කටයුතු ප්‍රවර්ධනය කිරීමට සෙලාන් බැංකුව ඉන්දියානු රුපියල් ‘නොස්ට්‍රෝ’ ගිණුමක් හඳුන්වා දෙයි

Dilan Wijegoonewardene

 



 

 

ඉන්දියාවේ මුම්බායි හි ‘Indian Bank’ සමග එක් වී ඉන්දියානු රුපියල් නොස්ට්‍රෝ (Nostro) ගිණුමක් හඳුන්වා දීමට සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගියදා කටයුතු කළේ ය. මෙමගින් දෙරට අතර ව්‍යාපාර කටයුතු සහ වෙනත් මූල්‍යමය ගනුදෙනු සිදුකරන පුද්ගලයන්ට අන්‍යොන්‍ය වශයෙන් ප්‍රතිලාභ හිමිවන ආකාරයට එම ගනුදෙනු සිදුකිරීමට අවස්ථාව ලැබේ.

සාක් කලාපයේ රටවල් අතර වෙළඳ හා සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව මෑතකදී ඉන්දියානු රුපියල් මෙරට නම්කළ මුදල් වර්ගයක් ලෙස ප්‍රකාශයට පත්කළ අතර, ඒ අනුව සෙලාන් බැංකුව මෙම නව ඉන්දියානු රුපියල් ගිණුම හඳුන්වා දීමට කටයුතු කළේ ය.

“ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යනු ඵලදායී හා වේගයෙන් පුළුල් වන ආර්ථික හා වාණිජ සම්බන්ධතාවක් පවත්වාගෙන යන රටවල් දෙකක්. මෑත කාලයේදී දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳ කටයුතු වේගයෙන් වර්ධනය වී තිබෙනවා. ඒ අනුව බලන විට, Indian Bank සමඟ එක් වී මෙම නොස්ට්‍රෝ ගිණුම හඳුන්වා දීම අතිශය කාලෝචිත තීරණයක්. මෙමගින් දෙරට අතර වෙළඳ කටයුතු මෙන්ම මුදල් ප්‍රේෂණ සහ භාණ්ඩාගාර ගනුදෙනු බෙහෙවින් පහසු වේවි. එමෙන්ම මෙය ඉන්දියාව සමඟ සිදුකරන වාණිජමය ගනුදෙනු ප්‍රවර්ධනය කිරීම සඳහා අපගේ ආනයන සහ අපනයන ගනුදෙනුකරුවන්ට සහාය වනු ඇතැයි කියා අප සිතනවා. මේ ඔස්සේ අපගේ වෙළඳපොළ තවදුරටත් ශක්තිමත් කරගැනීමට අපට හැකි වේවි.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (ජාත්‍යන්තර) ඩිලාන් විජේගුණවර්ධන මහතා පැවසී ය.

Indian Bank යනු ඉන්දියාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ වසර 116 කට අධික ඉතිහාසයක් ඇති බැංකුවකි. එම බැංකුව සහ සෙලාන් බැංකුව අතර ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය නිසා මෙරට ගනුදෙනුකරුවන්ට වාණිජ හා ප්‍රේෂණ කටයුතු වලදී ඇමරිකා එක්සත් ජනපද ඩොලර් හෝ වෙනත් මුදල් වර්ගයක් භාවිතා කිරීම වෙනුවට සෘජුවම ඉන්දියානු රුපියල් භාවිතා කළ හැකි වනු ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව