‘ස්ත්‍රීපුරුෂ සහභාගීත්වය ප්‍රවර්ධනය තුළින් කෘෂි ඵලදායීතාව නැංවීම’ පිළිබඳ සම්මන්ත්‍රණයේදී ආර්ථික සංවර්ධනය සඳහා කාන්තා දායකත්වය වර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කෙරේ

image 3
2020 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව යුරෝපා සංගමයේ ආධාර මත ක්‍රියාත්මකවන, ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය සඳහා තාක්ෂණික සහාය සැපයීමේ වැඩසටහන (Technical Assistance to the Modernisation of Agriculture Programme -TAMAP), ආහාර සහ කෘෂිකර්ම සංවිධානය (Food and Agriculture Organization – FAO) හා කාන්තා පර්යේෂණ මධ්‍යස්ථානය (Centre for Women’s Research – CENWOR) එක්ව ‘ස්ත්‍රීපුරුෂ සහභාගීත්වය තුළින් කෘෂිකර්මාන්තයේ ඵලදායීතාව නැංවීම’ යන මැයෙන් සංවිධානය කළ මෙම සම්මන්ත්‍රණයේදී විශේෂ විද්වත් සංවාද මණ්ඩපයක් පැවැත්වුණි. ඊට සහභාගී වූ (වමේ සිට දකුණට), ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ (Institute of Policy Studies) පර්යේෂිකා ආචාර්ය බිලේෂා වීරරත්න මහත්මිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු භද්‍රා කමලදාස මහත්මිය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් (සංවර්ධන) ජයන්තා ඉලංකෝන් මහත්මිය මෙහි දැක්වේ.

මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන්, යුරෝපා සංගමයේ ආධාර මත ක්‍රියාත්මකවන, ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය සඳහා තාක්ෂණික සහාය සැපයීමේ වැඩසටහන (Technical Assistance to the Modernisation of Agriculture Programme -TAMAP), ආහාර සහ කෘෂිකර්ම සංවිධානය (Food and Agriculture Organization – FAO) හා කාන්තා පර්යේෂණ මධ්‍යස්ථානය (Centre for Women’s Research – CENWOR) එක්ව පසුගියදා විශේෂ සම්මන්ත්‍රණයක් සංවිධානය කරතිබුණි.

2020 මාර්තු 13 දා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටල් පරිශ්‍රයේ පැවැති මෙම සම්මන්ත්‍රණයේ තේමාව වූයේ ‘ස්ත්‍රීපුරුෂ සහභාගීත්වය තුළින් කෘෂිකර්මාන්තයේ ඵලදායීතාව නැංවීම’ යන්නයි.  කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සංවර්ධනයට උරදෙන විශේෂ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර, කෘෂිකර්මාන්තයේ ඵලදායීතාව වැඩිකරගැනීමට ස්ත්‍රී පුරුෂ සහභාගීත්වය උපකාරීවන ආකාරය පිළිබඳ ඔවුහු තම අදහස් සහ මත ඉදිරිපත් කළහ.

එමෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයින්ට, අනුග්‍රාහකයින්ට, ව්‍යාපෘති සැලසුම්කරුවන්ට, පෞද්ගලික අංශ නියෝජිතයින්ට, පර්යේෂකයින්ට සහ පොදු ජනතාවට ද, ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය උදෙසා කාන්තා දායකත්වය ඉහළ දැමීම අරමුණු කරගනිමින් දැනට ක්‍රියාත්මකවන වැඩසටහන් පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාගැනීමට ද මෙම සම්මන්ත්‍රණය ඉවහල් විය.

යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින් සහයෝගීතා අංශ ප්‍රධානී ෆ්‍රෑන්ක් හෙස් මහතා මෙසේ අදහස් පළකළේය. “ශ්‍රී ලංකාව තුළ කෘෂිකර්මාන්තයට ඇති කාන්තා දායකත්වය පිළිබඳව ඇත්තේ අඩු තක්සේරුවක්. ඒ වගේම කාන්තාවන් ක්ෂේත්‍රයට සම්බන්ධ කරගැනීමත් පවතින්නේ අඩු මට්ටමකයි. නමුත් මෙහිදී තීරණ ගැනීමේ ක්‍රියාවලියට කාන්තාවන් දායක කරගැනීම තුළින් කාන්තාවට මෙන්ම සමස්ත පවුලටම ප්‍රතිලාභ සැලසෙනවා”.

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය තුළ කාන්තා දායකත්වය ඇත්තේ 35%ක් තරම් පහළ මට්ටමක ය. එවන් පසුබිමක මෙවැනි වැඩසටහන් හරහා ශ්‍රම බලකාය තුළ කාන්තා සහභාගීත්වය වැඩිවීමත්, රටේ ආර්ථික සංවර්ධනයට කාන්තා දායකත්වය වැඩිවීමත් සිදුවෙතැයි අපේක්ෂා කෙරේ.

සම්මන්ත්‍රණය අතරතුරදී CENWOR මගින් සිදුකළ ‘ස්ත්‍රීපුරුෂ සමානාත්මතාවයෙන් යුත් කෘෂිකර්ම ප්‍රතිපත්ති   (Gender Equitable Agricultural Policies) සහ යුරෝපා සංගමය මගින් සිදුකළ 2018 කෘෂිකාර්මික ප්‍රතිපාදනවල ස්ත්‍රීපුරුෂ සමාජභාවීය සාධකය (Gender Responsiveness of 2018 Agriculture Sector Budget) යන අධ්‍යයන දෙක පිළිබඳව ද සාකච්ඡාවට බඳුන්විය.

එම අධ්‍යයනවලින් අනාවරණය වී ඇති පරිදි කෘෂිකර්මාන්තයට අදාළ සෑම උප අංශයකම සේවයේ නියුතු කාන්තාවෝ, පුරුෂ පාර්ශ්වය හා උරෙනුර ගැටෙමින් කැපවී කටයුතු කරන බව හෙළි වී තිබේ. ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 7.7%ක පංගුවක් හිමි කෘෂි ක්ෂේත්‍රය තුළ සමස්ත ජනගහනයෙන් 27%ක් සේවයේ නියුතුව සිටී. ඉන් 38%ක්ම කාන්තාවෝ වෙති. තව ද ශ්‍රී ලංකාවේ මිලියන 2.1ක් වන කෘෂිකාර්මික යැපුම් මාර්ගයක් ඇති කුටුම්භ අතුරින් 19%ක්ම කාන්තා ගෘහමූලිකත්වයකින් යුතු පවුල් වීම ද කැපීපෙනේ. මූලිකව කෘෂිකර්මාන්තයේ යෙදෙන්නන් අතුරින් 75%ක් පුරුෂයින් ද 25% ස්ත්‍රීන් ද වන නමුත් ගෘහ මූලිකයාට අමතරව පවුලේ ආර්ථිකයට දායක වන සේවා නියුක්තිකයින් අතුරින් 78.9%ක්ම කාන්තාවන් වීම (පිරිමි 21.1%)  තවත් විශේෂත්වයකි.

කෙසේ වෙතත් කෘෂිකාර්මික කටයුතුවල නියුතු කාන්තාවන්ගෙන් බහුතරයක් යැපුම් කෘෂි කටයුතුවල නිරතවන අයුරු දක්නට ලැබේ. එය කුඩා ආර්ථික ලාභයක් සහිත සේවා නියුක්තියක් ලෙස සැලකෙන අතර ඇස්තමේන්තුගත කාන්තා පිරිමි ආදායම් ඉපැයීමේ අනුපාතය 0.31%කි. එමෙන්ම ඉඩම් ලබාගැනීම හා වගා ව්‍යාප්තිය සම්බන්ධයෙන් කාන්තාවන් අභියෝග රැසකට මුහුණ දෙන අතර, කෘෂි බෝග අලෙවිකරණයේදී මතුවන ගැටලු සහ වාණිජ කෘෂි වගාව ප්‍රවර්ධනය ඔවුන් අතර නොකිරීම ද ඔවුන් මුහුණපාන ප්‍රධාන ගැටලුවකි.

මේ අතර කාන්තාවන් බොහෝවිට කෘෂිකර්මාන්ත අංශය තුළ නුපුහුණු ශ්‍රමිකයින් වීම ද ගැටලුවක්ව පවතී. එහෙයින් කාන්තා සහ පිරිමි දෙපාර්ශ්වයම එක සමාන අයුරින් සුහුරු වගා භාවිතා සහ ඩිජිටල්කරණය වූ කෘෂිකාර්මික භාවිතාවක් සඳහා පුහුණු කිරීමේ කාලීන අවශ්‍යතාවක් පවතී. අධ්‍යයනවලින් පෙනී ගොස් ඇති පරිදි මෙම සේවා නියුක්ති දාමය තුළ කාන්තාවන්ට ප්‍රමුඛස්ථානයක් හිමිවන අතර, කෘෂි ක්ෂේත්‍රයේ අගය වර්ධනය කිරීමේදී කාන්තාවන්ට නව තාක්ෂණය සඳහා ප්‍රවේශය ලබාදීම වැදගත් අවශ්‍යතාවකි.

ඊට අමතරව, ස්ත්‍රීපුරුෂ දෙපාර්ශ්වයේම දායකත්වය සහිත හා නවීන කෘෂිකර්මාන්ත භාවිතයක් හඳුන්වාදීම තුළින් කෘෂි අංශයේ සිට සේවා අංශය කරා ශ්‍රමික සංක්‍රමණයවීම අවම කරගැනීමටත් එතුළින් කෘෂිකර්මාන්තයට දිගුකාලීනව සිදුවිය හැකි අහිතකර බලපෑම් මඟහරවාගැනීමටත් අවස්ථාව උදාවේ.

ක්ෂේත්‍රයට අදාළ ප්‍රධාන මාතෘකා ගණනාවක් පිළිබඳ විද්වත් සභා සාකච්ඡා සහ කරුණු දැක්වීම් ද මෙම සම්මන්ත්‍රණයට ඇතුළත් විය. එහිදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් (සංවර්ධන) ජයන්තා ඉලංකෝන් මහත්මිය,  ‘ස්ත්‍රීපුරුෂ සහභාගීත්වයෙන් යුතු සැලසුම්කරණය හා ප්‍රතිපාදන සැලසීම හරහා කෘෂි ඵලදායීතාව වර්ධනය කිරීම’ පිළිබඳ අදහස් දැක්වූ අතර, Centre for Poverty Analysis ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂිකා ගයාත්‍රි ලොකුගේ මහත්මිය, ‘2020 තිරසාර සංවර්ධන ඉලක්ක අනුව (කිසිවෙකු අත්නොහරින ලද සංවර්ධනයක්) යමින් කාන්තාවන් ප්‍රමුඛ කරගත් කෘෂි පදනම් ජීවනෝපාය සහ ආහාර සුරක්ෂිතභාවය’ පිළිබඳ අදහස් ඉදිරිපත් කළාය. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු භද්‍රා කමලදාස මහත්මිය, ‘වාරිමාර්ග හා ස්වභාවික සම්පත් කළමනාකරණයේදී ස්ත්‍රීපුරුෂ සහභාගීත්වය’ ගැන ද, ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ (Institute of Policy Studies) පර්යේෂිකා ආචාර්ය බිලේෂා වීරරත්න මහත්මිය, ‘දත්ත මත පදනම් වූ කෘෂිකර්මාන්තය – ස්ත්‍රීපුරුෂ සමානාත්මතාවයෙන් යුතු සැලසුම්කරණය හා ප්‍රතිපාදන වෙන්කිරීම වෙනුවෙන් ස්ත්‍රීපුරුෂභාවය මත දත්ත වර්ගීකරණයේ වැදගත්කම’ පිළිබඳව ද අදහස් ඉදිරිපත් කළහ. එම සාකච්ඡාවලින් අනතුරුව වටිනා ප්‍රශ්නෝත්තර වටයක් ද පැවැත්වුණි.

මෙම සම්මන්ත්‍රණය අතරතුර සාකච්ඡා වූ කරුණු මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශය; මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යංශය සහ TAMAP වැඩසටහන, කෘෂිකර්ම ප්‍රසාරණ ව්‍යාපෘතිය (Overarching Agricultural Policy) හා එක්ව සකස්කරනු ලබන මෙරට කෘෂිකර්මාන්තය නැංවීමේ ක්‍රමෝපාය සංවර්ධන වැඩපිළිවෙලට යොදාගනු ඇත.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව