සම්පත් බැංකුව, ත්‍රිකුණාමලයේ කොරල්පර ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහන සාර්ථකව මෙහෙයවයි

Image 2 (LBN)

ශ්‍රී ලංකාවේ පාරිසරික ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා නිරන්තරයෙන් කැප වී සිටින සම්පත් බැංකුව, සිය ‘සයුරට හුස්මක්’ ආයතනික තිරසාරත්ව වගකීම් වැඩසටහන යටතේ තවත් එක් සුවිසල් කාර්යභාරයක් පසුගියදා සාර්ථකව නිමා කරන ලදී. ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් ජීවිතාරක්ෂක ඒකකය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, රුහුණු විශ්ව විද්‍යාලයේ සාගර විද්‍යා හා සමුද්‍රීය භූ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ධීවර හා සමුද්‍ර සේවා හා තාක්ෂණ පීඨය සමඟ එක් ව ත්‍රිකුණාමලය Marble Beach හිදී සිව්වන කොරල්පර ප්‍රතිස්ථාපන ව්‍යාපෘතියක් සිදු කරමිනි.
 



 
දින දෙකක් පුරාවට පැවති මෙම වැඩසටහනේ පළමු දිනයේ දී, කොරල්පර ප්‍රතිස්ථාපනය සඳහා වූ කොන්ක්‍රීට් ආකෘති 20ක් මුහුදු පත්ලේ තැන්පත් කොට දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වූ අතර, දෙවන දිනයේ දී කොන්ක්‍රීට් ආකෘති මත සජීවී කොරල්පර රෝපණය සිදු කෙරිණි. මෙම ප්‍රයත්නයන් සාගර ජෛව විවිධත්වය වැඩිදියුණු කිරීම සහ දේශගුණික විපර්යාසයන්හි බලපෑම් අවම කිරීමට ගනු ලැබූ මුලපිරීමක් වන අතර, උපායමාර්ගිකව මුහුදු පත්ලෙහි තැන්පත් කර ඇති කොන්ක්‍රීට් ආකෘති මත සජිවී කොරල්පර රෝපණය තුළින් යහපත් සමුද්‍රීය පරිසරයක් පෝෂණය කිරීම අරමුණු කර ගනියි.

‌මෙම අවස්ථාව සම්බන්ධයෙන් සම්පත් බැංකුවේ ප්‍රධාන මානව සම්පත් නිලධාරී ආචාර්ය ලලිත් වේරගොඩ මහතා මෙසේ අදහස් දැක්වීය. “හිතකර සාගර පරිසරයක් පවත්වාගෙන යාමට සහ දේශගුණික විපර්යාසවලට එරෙහිව පියවර ගැනීමට කොරල්පර ප්‍රතිස්ථාපන ව්‍යාපෘති ඉතාම වැදගත් වෙනවා. නැසී යන කොරල්පරවල අලුතෙන් සජීවි කොරල්පර සිටුවීමෙන් සහ දිය යට කොරල්පර ප්‍රතිස්ථාපනය සඳහා වූ කොන්ක්‍රීට් ආකෘති තැන්පත් කිරීමෙන් අප බලාපොරොත්තු වෙන්නේ වඩාත් ඔරොත්තු දෙන සාගර පරිසර පද්ධතියක් නිර්මාණය කිරීමටයි. මෙම මුලපිරීම මගින් සාගර පද්ධතියේ මෙන්ම පාරිසරික සංරක්ෂණය සහ තිරසාර භාවිතයන් පිළිබඳ බැංකුවේ ක්‍රියාත්මක ආචාර ධර්මයන් මනාව පිළිබිඹු වෙනවා. පරිසර සහ ප්‍රජා තිරසාරත්වය වෙනුවෙන් වටිනාකමක් ලබා දීමට සම්පත් බැංකුව නිරන්තරයෙන් උත්සාහ කරනවා’’

පරිසර සංරක්ෂණය සඳහා ඇති කැපවීම ඉස්මතු කෙරෙන සම්පත් බැංකුවේ ‘සයුරට හුස්මක්’ වැනි වැඩසටහන් තුළින් පරිසරයේ යහපැවැත්මට වැදගත් බලපෑමක් ඇති කර තිබේ. සාගර ‌ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම සඳහා 2022 වසරේදී ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන යටතේ රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතාගේ මඟ පෙන්වීම අනුව මෙරට දකුණු සහ නැගෙනහිර වෙරළ තීරයේ කොන්ක්‍රීට් ආකෘති මත සජීවි කොරල්පර රෝපණය කිරීමේ ව්‍යාපෘති තුනක් පැවැත්වීමට සම්පත් බැංකුවට සමත් විය. මිරිස්සේ බණ්ඩාරමුල්ල, ත්‍රිකුණාමලයේ ඩච් – බේ සහ දික්වැල්ල බතීගම යන මුහුදු ප්‍රදේශවල මෑතකදී අවසන් කරන ලද ව්‍යාපෘති, සාගර ජීවීන්ගේ ආරක්ෂාව හා පුනර්ජීවනය වෙනුවෙන් ගනු ලැබූ සුවිශේෂී පියවරයන් ලෙස සනිටුහන් වේ. දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීම, පාරිසරික සංචාරක ව්‍යාපාරයට සහාය වීම සහ බිම් මට්ටෙම් ආර්ථික සංවර්ධනයක් ඇති කිරීම දීර්ඝකාලීන තිරසාරත්වය වෙනුවෙන් නිර්මාණය කර ඇති මෙකී ව්‍යාපෘතිවල අරමුණයි.

සාගර පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය සහ ආරක්ෂා කිරිම සඳහා ආරම්භ කර තිබෙන මෙම මහඟු කර්තව්‍යය සඳහා සම්බන්ධ වන ලෙස සම්පත් බැංකුව, අනෙකුත් ආයතනවලට සහ ප්‍රජාවට ඇරයුම් කරයි. මෙම තිරසාර සාමුහික ප්‍රයත්නයන් ඔස්සේ වඩාත් හිතකර සමුද්‍රීය පරිසර පද්ධතියකින් යුතු නිල්වන් මුහුදු තීරයක් මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිතව දායාද කිරිමට හැකියාව ලැබෙනු නොඅනුමානය.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව