රකුටෙන් වයිබර් 2020 වසරේ පළමු අර්ධය සාර්ථකව නිම කරයි

vib

– මන්දගාමී ව්‍යාපාරික වාතාවරණයක් යටතේ වුව ද උපරිම ඵල නෙලාගැනීමට වයිබර් සමත්වෙයි

කොවිඩ්-19 වසංගතය නිසා බොහෝ ක්ෂේත්‍රවල අවිනිශ්චිත තත්ත්වයක් මතු වූ අතර සිදුවූ පාඩුව ගණන් කළ නොහැකි තරම් ය. එහෙත් එම අවිනිශ්චිත වාතාවරණය යටතේ පවා ලබාගත් ජයග්‍රහණ යම්කිසි ආකාරයේ බලාපොරොත්තු ජනනය කිරීමට සමත් විය.

2020 වසරේ පළමු අර්ධය තුළ රකුටෙන් වයිබර් කණ්ඩායමට නව අත්දැකීම් සමූහයක් අත්විඳීමට මෙන්ම නව සන්ධිස්ථාන ළඟාකරගැනීමට ද හැකිවිය. ආසියානු පැසිෆික් කලාපය තුළ වයිබර් හි කාර්යසාධන මට්ටම සුවිශේෂී ප්‍රගතියක් අත්කරගැනීමට සමත්ව තිබේ. විශේෂයෙන්ම ඉකුත් වසරේ එම කාලසීමාවට සාපේක්ෂව මේ වසරේ මුල් අර්ධය තුළ වයිබර් Communities වෙත යවන ලද කෙටි පණිවුඩ (Messages) ප්‍රමාණය 208%කින් හා Communities හි නැරඹුම් වාර සංඛ්‍යාව 129%කින් වර්ධනය වී ඇත.

2019 වසරේ දත්ත හා සංසන්දනය කිරීමේදී මේ වසරේ මුල් අර්ධය තුළ වයිබර් දෛනික සක්‍රීය කිරීම් ප්‍රමාණය 39%කින් හා පොකුරු වශයෙන් යවන පණිවුඩ ප්‍රමාණය 91%කින් වැඩිවීමත් සමඟ සමූහ කරා යවන කෙටි පණිවුඩ (group messages) 34%කින් ද ඉහළ ගොස් තිබේ. තව ද දෙදෙනෙකු අතර හුවමාරු වන කෙටි පණිවුඩ ප්‍රමාණය 37%කින් ද Community පිටු නැරඹුම් වාර 118%කින් ද වර්ධනය වී ඇත.

එමෙන්ම කලාපීය සෙසු රටවල් තුළද විශේෂයෙන්ම වයිබර් Groups හා Communities හරහා ඉහළ ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කිරීමට වයිබර් සමත්ව සිටී. 2019 වසරේදී ආසියානු පැසිෆික් කලාපය නියෝජනය කරන රටවල් අතුරින්, පිලිපීනය 95%, මියන්මාරය 41%, නේපාලය 67%, වියට්නාමය 43% හා බංග්ලාදේශය 48% ක් වශයෙන් වයිබර් Groups පණිවුඩ ප්‍රමාණය වර්ධනය වී තිබේ. වයිබර් Community නැරඹුම් වාර සංඛ්‍යාව ද එම වසරේදී, මියන්මාරයේ 106%, නේපාලයේ 195% හා නේපාලයේ 2.5 ගුණයකින් වශයෙන් වැඩි වී ඇත. බංග්ලාදේශයේ එම වර්ධනය 77%කි.

ලොව ප්‍රමුඛතම සන්නිවේදන ඇප් මෘදුකාංගයක් වන වයිබර් මේ වසරේ පළමු අර්ධයේදී සුවිශේෂී හවුල්කාරීත්ව ගණනාවකට මුලපිරීමට ද සමත්විය. ඒ සියල්ල හරහා කොවිඩ්-19 පිළිබඳ විශ්වාසනිය හා වැදගත් තොරතුරු ජනතාව වෙත සමිප කිරීම සහ සමාජ දුරස්ථභාවය පවත්වාගන්නා අතරතුර ජනතාවට එකිනෙකා සමඟ සන්නිවේදන කටයුතු සිදුකිරීමේ අවකාශය උදාකිරීම අරමුණු කෙරිණි.

ලබන දෙසැම්බර් මාසයේදී එළැඹෙන තම 10වැනි සංවත්සරයට සමගාමීව වයිබර් පරිශීලකයන්ට සුවිශේෂී අත්දැකීම් රැසක් සමීප කිරීමට ද වයිබර් සැලසුම් කර තිබේ. එනම් ආරක්ෂිතව සන්නිවේදනය කිරීම සඳහා ජනතාව සවිබල ගන්වමින් වැඩකටයුතු පහසු කරමින් හා වෙළෙඳ නාම හා සම්බන්ධ වෙමින් ජීවිත කාලය පුරාවටම වැදගත් ඇප් මෘදුකාංගයක් බවට වයිබර් පත්කිරීමට අපේක්ෂා කෙරේ.

කොවිඩ්-19 හමුවේ ප්‍රතිචාර දැක්වීම හා ප්‍රජා සහභාගීත්වයේ වර්ධනය

කොවිඩ්-19 වසංගතය මතුවීමත්, ඉන් අනතුරුව නිරෝධායන නීති මතුවීමත් සමඟ වයිබර්හි Group වීඩියෝ හා  Audio ඇමතුම් සඳහා එකවර සහභාගී විය හැකි ප්‍රමාණය 20 දෙනෙකු දක්වා ඉහළ නංවා ඇත. එමෙන්ම Communities විශේෂාංගය තුළ ඇති පණිවුඩවලට ප්‍රතිචාර දැක්වීමේ අවස්ථාව ද පරිශීලකයින්ට හිමිකර දෙමින් ඩිජිටල් සන්නිවේදන ක්‍රමෝපායන් සැබෑ ජීවිතයට වඩාත් සමීප කරවීමට ද පියවර ගෙන තිබේ.

ෆේස්බුක් සමඟ පැවති ව්‍යාපාර සබඳතා අත්හැරීම

2020 වසරේ මුල් අර්ධය තුළ වයිබර් ගත් තවත් ප්‍රධාන තීරණයක් ලෙස ෆේස්බුක් සමඟ පැවැති ව්‍යාපාර සබඳතා අත්හැරීම හඳුන්වාදිය හැක. ෆේස්බුක් ආයතනය දිගින් දිගටම ලාභ අරමුණු වෙනුවෙන් තම පරිශීලකයින්ගේ දත්ත අවභාවිත කිරීමත්, තම පරිශීලකයින්ගේ ආරක්ෂාව නොසලකා හැරීමත් සළකා බලමින් ඊට එරෙහිව නැඟී සිටි සෙසු දැවැන්ත සමාගම් හා එක්ව මෙම ක්‍රියාමාර්ගය ගැනීමට වයිබර් පියවර ගත්තේය. පරීශීලකයින්ගේ දත්ත ආරක්ෂාව තම ඉහළ ම ශක්තියක් ලෙස සලකන සන්නිවේදන මෘදුකාංගයක් වන වයිබර් ඒ සමඟ ෆේස්බුක්හි ඇති තම සියලු දැන්වීම් ඉවත් කරගැනීමටත්, සියලු මුදල් වෙන් කිරීම් අත්හිටුවීමටත් කටයුතු කළේය. ඊට අමතරව Facebook Connect හා GIPHY විශේෂාංග ද වයිබර් විසින් අත්හැර දමන ලදී.

වසරේ පළමු අර්ධය තුළදී මෙවැනි සුවිශේෂී වර්ධනයක් සමඟින්, වසරේ ඉතිරි කාලයත් එතැනින් ඉදිරියටත්, කොවිඩ් වසංගතයේ දිගුකාලීන බලපෑම් හමුවේ පරිශීලකයින්ට තවදුරටත් වයිබර් වෙතින් සේවා රැසක් ලබාදීමට රකුටෙන් වයිබර් සමාගම කැපවී සිටී.

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව