මුදල් ලබාගැනීම පහසු කිරීමට කොමර්ෂල් බැංකුව ඇඳිරි නීතිය තිබෙන ප‍්‍රදේශවල ජංගම බැංකු රථ යොදවයි

ComBank Mobile Banking

ඇඳිරි නීතිය ඉවත්කළ ප‍්‍රදේශවල කොමර්ෂල් බැංකු ශාඛා පැය 03 ක් විවෘතයි

ඇඳිරි නීතිය දමා තිබෙන ප‍්‍රදේශවල ජනතාවට තම එදිනෙදා වියදම් සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීම පහසුකරමින් කොමර්ෂල් බැංකුව සිය ජංගම ATM ඒකක සහිත රථ එම ප‍්‍රදේශ වෙත පිටත්කර යවන බව නිවේදනය කර තිබේ.

මෙම ජංගම සේවාව ක‍්‍රියාත්මක වන ප‍්‍රදේශ සහ වේලාවන් එම දිනයේදී බැංකුවේ වෙබ් අඩවිය, Facebook පිටුව සහ Instagram පිටුව මාර්ගයෙන් ගනුදෙනු කරුවන්ට දැනුම් දෙන බව බැංකුව සඳහන් කරයි.

කොමර්ෂල් බැංකුවේ ‘Bank-on-Wheels’ ඒකක මගින් ඉතාමත් පහසුවෙන් ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර කාඞ්පත් සහ පාස්පොත මගින් මුදල් ආපසු ලබාගත හැකි අතර බැංකු කවුළුවකින් කරන මූලික බැංකු ගනුදෙනුද කළ හැකිවේ.

මීට අමතරව, බැංකුව සඳහන් කරන්නේ ඇඳිරි නීතිය ඉවත් කර තිබෙන ප‍්‍රදේශවල පිහිටි කොමර්ෂල් බැංකු ශාඛා උදෑසන 9.00 සිට දහවල් 12.00 දක්වා පැය තුනක කාලයක් අත්‍යවශ්‍ය ගනුදෙනු සඳහා විවෘතව තැබෙන බවයි.

මේ සමගම ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප‍්‍රදේශවල ගිනුම්හිමියන්ගේ හදිසි අවශ්‍යතාවයන් සඳහා කොමර්ෂල් බැංකුවේ ශාඛා කිහිපයක් විවෘතව තබා ඇත.

එසේම, කොමර්ෂල් බැංකුවේ අන්තර්ජාල බැංකුකරණ පද්ධතිය භාවිතා කිරීම සහ ෆ්ලෑෂ් ඩිජිටල් ගිණුම් විවෘත කිරීම මේ වනවිට බැංකුව විසින් වඩාත් පහසුකර තිබේ. මේ අනුව, බැංකු ශාඛාවක් වෙත පැමිණ මෙම පහසුකම්වල ලියාපදංචිවීම වෙනුවට අන්තර්ජාලයෙන් මෙම පහසුකම්වල ලියාපදිංචි වීමට අවස්ථාව බැංකුව මේ වනවිට ලබාදී ඇත.

මෙහිදී, ගනුදෙනුකරුවන්ට බැංකුවේ වෙබ් අඩවියෙන් අන්තර්ජාල බැංකුකරණ අයදුම ඩවුන්ලෝඞ් කරගත හැකි අතර සම්පූර්ණ කරන ලද අයදුම් පත‍්‍රය ගිණුම් හිමියාගේ ජාතික හැඳුනුම්පතේ පැති දෙකේම සේයාරූ සමග ලබාදී තිබෙන ඊ-මේල් ලිිපිනයට එවිය යුතුය. පසුව, බැංකුවේ කාර්ය මණ්ඩලය ගනුදෙනුකරුවා දුරකතනයෙන් අමතා මෙම පහසුකම සක‍්‍රීය කරනු ඇත.

එසේම, බැංකුවේ සුවිශේෂී ඩිජිටල් බැංකුකරණ අයදුම වන ෆ්ලෑෂ්, ඇපල් ඇප් ස්ටෝර් වෙතින් හෝ ගූගල් ප්ලේ ස්ටෝර් වෙතින් ඩවුන්ලෝඞ් කරගත හැකිය. මෙහිදී, ස්වයං ලියාපදිංචිවීම බලගන්වා තිබෙන අතර ගනුදෙනුකරුවෙකුට කොමර්ෂල් බැංකු ශාඛාවකට නොපැමිණ තමාම ලියාපදිංචිවීම මගින් විවිධ වූ මූල්‍ය ගනුදෙනු මෙමගින් සිදුකළ හැකිවේ.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව