බවර් සමාගම සිය 125වැනි සංවත්සරය උත්කර්ෂවත් අයුරින් සමරයි

1- Baurs board with CBSL Governor (LBN)

 



 

 

ශ්‍රී ලංකාවේ බහුවිධ කර්මාන්ත ක්ෂේත්‍ර අතර ප්‍රගතිශීලී නවෝත්පාදනයේ සහ වර්ධනයේ අභිමානවත් වසර 125ක් සනිටුහන් කිරීමේ සුවිශේෂී මොහොත සමරමින්, A. Baur & Co. පුද්ගලික සමාගම හෙවත් බවර් සමාගම පසුගියදා විශේෂ උත්සවයක් සංවිධානය කරන ලදී.  දශක ගණනාවක් පුරා සමාගම සතු ශක්තිය සහ දැඩි කැපවීම ද, අනාගතය වෙනුවෙන් පවතින අභිලාෂකාමී සහ නිර්භීත සැලසුම් ඉදිරිපත් කිරීම ද එහි එක් අරමුණක් විය.

2022 නොවැම්බර් 30 වැනිදා කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ පැවැත් මෙම විශේෂ උත්සවයට මෙරට ප්‍රධාන පෙළේ ප්‍රභූවරු රැසක්ම සහභාගී වූහ. ″අපගේ ජයග්‍රහණ මෙන්ම දශක ගණනාවක් පුරා අභියෝග රැසක් මැද, කාලීන සහ නව්‍ය විසඳුම් ගෙන ඒම සඳහා පෙන්නුම් කළ අඛණ්ඩ ප්‍රයත්නය පිළිබඳව අපි අතිශයින් ආඩම්බර වෙමු. ඒ වෙනුවෙන්, අපගේ වටිනා පාරිභෝගිකයින්, හවුල්කරුවන්, සේවකයින් ඇතුළු සෑම දෙනාටම ස්තූතිවන්ත වෙමි″ යනුවෙන් මෙහිදී අදහස් දක්වමින් A. Baur & Co. පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රොල්ෆ්  බ්ලාසර් මහතා පැවසුවේ ය.

ගොවීන්ට විද්‍යාත්මක උපදෙස් ලබා දීමටත්, කාබනික හා රසායනික පොහොර පිළිබඳ අවධානය යොමුකිරීම සඳහාත් බවර් සමාගම ඇරඹූ එහි නිර්මාතෘ ඇල්ෆ්‍රඩ් බවර් මහතා වෙත උපහාර පුද කිරීමට ද මෙහිදී බ්ලාසර් මහතා අමතක නොකළේ ය.  වර්තමානය වනවිට මුළු කලාපයේම ඇති ඉහළම තාක්ෂණික පොහොර කම්හල ද බවර් සමාගම සතු වේ.

වර්ෂ 1901 දී වරාය සහ වැවිලි ප්‍රදේශ සම්බන්ධ කරමින් පළමු වරට කාර්මික දුම්රියක් තැනීම ඇතුළුව බොහෝ මුල පිරීම්වලට පෙරමුණ ගැනීමට බවර්ස් සමාගම ක්‍රියාකළ ආකාරයත්, වර්ෂ 1919 දී හෙන්රි ෆෝර්ඩ් කෘෂිකාර්මික ට්‍රැක්ටරය හඳුන්වා දීම (එය අමෙරිකාවෙන් පිටත  නිෂ්පාදනය ආරම්භ කළ වර්ෂයේදීම) පිළිබඳවත්, වර්ෂ 1936 දී සම්පූර්ණයෙන්ම විදුලියෙන් බලගැන්වුණු තේ කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කිරීමත්, වර්ෂ 1941 දී භූගත වාහන නැවැත්වීමේ පහසුකම් සහිත කම්පනයට ඔරොත්තු දෙන ගොඩනැගිල්ලක් ඉදිකිරීම පිළිබඳවත් මෙහිදී සිහිපත් කෙරුණි.

වර්ෂ 1960 දී ඕස්ට්‍රේලියානු චිත්‍ර ශිල්පී ඩොනල්ඩ් ෆ්‍රෙන්ඩ් ලංකාවේදී ඇඳි පළමු සිතුවම, 1968 දී වී අස්වනු නෙලන යන්ත්‍රයක් පොළොන්තලාව වතුයායට යෙදවීම,  පොළොන්තලාව වතුයායේ ප්‍රධාන නිවාසය ඉදිකිරීමට කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පීන්වන ජෙෆ්රි බාවා සහ උල්රිච් ප්ලෙස්නර්ගේ දායකත්වය ලබාගැනීම, වර්ෂ 1975දී ශ්‍රී ලංකාවේ බාස්මතී සහල් වගා කිරීම, සහ වර්ෂ 2020 දී සේනා දළඹුවන් (Fall Armyworm) මර්දනය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජෛව පළිබෝධනාශකයක් ලියාපදිංචි කිරීම ආදිය ද ආයතනික ගමන් මඟේ සුවිශේෂී අවස්ථා විය.

බවර් සමාගම වෙනත් ක්ෂේත්‍ර වෙත ව්‍යාප්ත වූ ආකාරය පිළිබඳව ද මෙහිදී බ්ලාසර් මහතා විස්තර කළේය. එනම්, වර්ෂ 1945 දී මාරාන්තික මැලේරියාව උච්චතම කාලයේදී සෞඛ්‍ය සේවාවට ප්‍රවිශ්ට වීම, වර්ෂ 1947 දී සුදු පුල්ලි රෝගයෙන් සිලෝන් ටී ආරක්ෂා කරගැනීම වෙනුවෙන් Sandoz සමාගම සමඟ එක්ව විශේෂ ඉසිනක් නිපදවීම, වර්ෂ 1957 දී Swissair සඳහා නියෝජිතයින් ලෙස කටයුතු කිරීම ඇරඹීම, වර්ෂ 2021 දී ලොව ප්‍රමුඛ පෙළේ ස්විස් ආධුනිකත්ව ආකෘතියක්වන École hôtelière de Lausanne හඳුන්වා දීම ආදිය ඊට ඇතුළත් විය.

1982 වර්ෂය ආරම්භයේ සිට IBM සමඟින් එක්ව බවර් සමාගම සිය ඩිජිටල් පරිවර්තනයෙහි දිගු ගමනක් පැමිණ ඇති අතර, වර්ෂ 1991 සිට HSBC බැංකුවේ පළමු ඊ-බැංකු (Hexagon) පාරිභෝගිකයා ද විය. සමාගම SAP S/4HANA හි ප්‍රථම අධිශ්‍රේණිගත සක්‍රීය කිරීම ද පසුගිය වසරේදී මුළුමනින්ම බාහිරව සිදු කර ඇත. අද වනවිට සයිබර් ආරක්‍ෂාව, ආපදා ප්‍රතිසාධනය, විකුණුම් බළකා ස්වයංක්‍රීයකරණය, machine learning, කෘතිම බුද්ධිය සහ IoT ඒකාබද්ධ කරගත් එහි තාක්‍ෂණික යටිතල පහසුකම් උසස්ම තත්ත්වයේ පවතී.

පසුගිය වසරේදී ශ්‍රී ලංකාව කාබනික කෘෂිකාර්මික ප්‍රවේශයක් වෙත ගමන් කිරීමේ අභිප්‍රාය ප්‍රකාශයට පත් කළ අවස්ථාවේදී, බවර් සමාගම මුහුණ දුන් කාබනික පොහොර අභියෝගය පිළිබඳව ද බ්ලාසර් මහතා වැඩිදුරටත් විස්තර කළේ ය. සමාගම දිගු කලක් තිස්සේ විවිධ පර්යේෂණ සහ සංවර්ධන මුලපිරීම්වලට සම්බන්ධ වී ඇති අතර, උදාහරණ ලෙස 2017 වසරේ සිට මේ දක්වා කිරි සහ කුකුළු ගොවිතැනෙන් පොහොර, රොන්මඩ, ජෛව කාබන්, කොම්පෝස්ට් සහ ගැඩවිල් දියර පොහොර (vermicompost) හඳුන්වා දීම පෙන්වා දිය හැක.

තව ද, තිරසාර කාබනික කෘෂිකර්මාන්තය සඳහාවන සිය පරිපූර්ණ ප්‍රධාන සැලැස්මේ කොටසක් ලෙස ස්විට්සර්ලන්තය පදනම් කරගත් FIBL සහ HAFL වෙතින් විශේෂඥ කණ්ඩායමක් ගෙන්වා ගැනීමට ද බවර් සමාගම ක්‍රියා කළේ ය. ඒ හරහා අපේක්ෂා කෙරුණේ විවිධ පාර්ශ්වකරුවන් සමඟ එක්ව අඛණ්ඩ ගැඹුරු අධ්‍යයන විශ්ලේෂණයක් සහ විසඳුම් වැඩසටහනක් තුළින් තිරසාර කාබනික කෘෂිකර්මාන්තය සඳහා විශිෂ්ටත්ව මධ්‍යස්ථානයක් බවට පත්වීමට ය. ස්විට්සර්ලන්ත විශේෂඥයින් සමඟ සමීපව කටයුතු කරන HAFL උපාධිධාරී ජැක් කෝලිගේ සහාය සමඟින් බවර්ස් කැලණිය කර්මාන්ත ශාලාවේ චන්ද්‍රිකා කාර්යාලය ද විවෘත කෙරුණි.

බවර්ස් සමාගම තම ස්විට්සර්ලන්ත සම්ප්‍රදායන් සහ සාරධර්ම ගැඹුරින් මුල් බැස ගත් නායකත්ව කණ්ඩායම සමඟ තවදුරටත් ශක්තිමත් වෙමින් පවතී. විශේෂයෙන්ම Foundation Alfred et Eugénie Baur කොටස්හිමිකාරීත්වය සමඟ, සමාගම සෑම විටම සිය සේවකයින්ගේ සහ ශ්‍රී ලංකාවේ ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කර ඇත. එහි ඇතැම් ආයතනික සමාජ වගකීම් ක්‍රියාකාරකම් අතර විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සවිබල ගැන්වීම, යටිතල පහසුකම් සංවර්ධනය, පුහුණු වැඩසටහන් සහ හදිසි සහන සේවා ආදිය ඇතුළත් ය. එක්සත් ජාතීන්ගේ Global Compact initiative සමඟ මෑතකාලීන හවුල්කාරිත්වය සමඟ ද බවර් සමාගම තිරසාරත්ව දිශානතිය තුළ ප්‍රගතියක් ලබා ඇත.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව