පාරිසරික, සමාජයීය සහ පාලන (ESG) පිළිවෙත් සඳහා ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුවට යුරෝමනි සම්මානය

Article Image_LMD_May 2023

පාරිසරික, සමාජයීය සහ පාලන (ESG) රාමු තුළ කටයුතු කිරීමෙහි කොමර්ෂල් බැංකුවේ කැපවීම වෙනුවෙන් ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා දෙමින්, ‘ESG සඳහා ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව’ ලෙස බැංකුවට විශිෂ්ඨත්වය සඳහා වූ 2024 යුරෝමනි සම්මානය හිමි වී ඇත.

කොමර්ෂල් බැංකුව විසින් දිනාගත් මෙම කීර්තිමත් යුරෝමනි සම්මානය මගින් ඇගයීමට ලක් වන්නේ, බැංකුවේ ශාඛා ජාලය ඔස්සේ ESG රාමුව තුළ වූ හොඳම භාවිතයන් සමඟ අනුකූල වීම, අධීක්ෂණය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම ආශ්‍රිතව බැංකුව විසින් ක්‍රියාත්මක කරන ලද අභ්‍යන්තර සහ බාහිර මුලපිරීම් හා ක්‍රියාවලීන් රාශියක බලපෑමයි.

 



 

බලශක්ති කාර්යක්ෂම වූ මෙහෙයුම් හරහා එහි පාරිසරික බලපෑම අවම කිරීමට ප්‍රමුඛත්වය දෙන අතර, එමගින් බැංකුවේ කාබන් පියසටහන අඩු කරන අතරම, හරිත අනාගතයක් උදෙසා සහාය වීම වෙනුවෙන් දියත් කෙරෙන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා අරමුදල් සැපයීම ද සිදු කරන බව බැංකුව පවසයි.

මූල්‍ය අන්තර්ගතකරණය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, සහ ප්‍රජා සංවර්ධන වැඩසටහන් සඳහා සහාය වෙමින් කොමර්ෂල් බැංකුව සමාජ තිරසාරභාවය සක්‍රීය ලෙස ප්‍රවර්ධනය කරයි. නිදසුනක් ලෙස, බැංකුවේ කාන්තා බැංකුකරණ වැඩසටහන මගින් කාන්තා ව්‍යවසායකයින්හට සාර්ථක වීමට අවශ්‍ය මූල්‍ය සම්පත්, මෙවලම් සහ පුහුණුව ලබා දීම මගින් ඔවුන්ව සවිබල ගන්වයි. මීට අමතරව, ඉලක්කගත සමාජයීය වැඩසටහන් සහ හවුල්කාරීත්වයන් මගින් අඩු වරප්‍රසාද ලත් ජනතාව නඟා සිටුවීමට කැපවී සිටින බව බැංකුව පවසයි.

“පාර්ශවකරුවන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සහ සදාචාරාත්මක භාවිතයන් සඳහා ක්ෂේත්‍රය තුළ නව මිණුම් දඬු පිහිටුවමින්, අපගේ ශක්තිමත් යහපාලන රාමුව මගින් අපගේ ගනුදෙනු සියල්ලක දී ම විනිවිදභාවය, වගවීම හා අඛණ්ඩභාවය සහතික කරනවා,” යනුවෙන් කොමර්ෂල් බැංකුවේ කළමණාකාර අධ්‍යක්‍ෂ හා ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා පැවසීය. “ආයතනික යහපාලනයේ පවතින උසස්ම ප්‍රමිතීන් ට අනුගත වීම තුළින් උපරිම අවංකභාවයෙන් හා වගකීමෙන් ක්‍රියා කිරීම සඳහා අප තුළ ඇති කැපවීම ප්‍රදර්ශණය වන අතර, එමගින් අපගේ බැංකුවට සහ අපගේ සේවාවන් ලබා දෙන ප්‍රජාවට දිගුකාලීන තිරසාර වර්ධනයක් ලැබීම සහතික කරයි.”

මෙම පරිපූර්ණ ප්‍රවේශය තුළින් කොමර්ෂල් බැංකුව සිය ව්‍යාපාරයේ සෑම අංශයක් තුළට ම තිරසාර බව ඒකාබද්ධ කිරීම සඳහා සිදු කරන කැපවීම පෙන්නුම් කරන අතර, එහි මෙහෙයුම් තුළින් පරිසරයට හා සමාජයට ධනාත්මක දායකත්වයක් ලබා දෙන බව ද සහතික කරන බව, මනතුංග මහතා තවදුරටත් පැවසීය.

යුරෝමනි සම්මානය තුළින් ජෛව පද්ධති වල තිරසාරභාවය ප්‍රවර්ධනය කිරීම සඳහා දියත් කරන ලද, බැංකුවේ බහුවිධ ප්‍රජා ව්‍යාපෘතිවල බලපෑම ද ඇගයීමට ලක් කෙරේ. මෙම ව්‍යාපෘති අතරට පොළාන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල කඳුවැටියේ කන්දේගම වනාන්තරයට අයත් හෙක්ටයාර 100ක විනාශයට පත් වූ භූමියේ වන ප්‍රතිරෝපණය; දිවයින පුරා පැළ 100,000ක් සිටුවීමේ ‘තුරු පිරි රටක්’ වැඩසටහන; කොග්ගල කඩොලාන ප්‍රතිරෝපණ වැඩසටහනක්; පානම කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතියක්; සහ ශ්‍රී ලංකා ජෛව විවිධත්ව (Biodiversity Sri Lanka – BSL) වැඩසටහන සමඟ එක් ව කළුතර වෙරළ තීරය නඩත්තු කිරීම සහ වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘති රැසක් ද ඇතුළත් ය. බැංකුවේ මෙම කාබන්-උදාසීන තත්ත්වය කරා යන ගමනට පුනර්ජනනීය බලශක්තිය හා බැංකු ඩිජිටල්කරණය සඳහා සිදුකළ ආයෝජනයන් මෙන් ම 4R භාවිතයන්: අඩු කිරීම (Reduce), නැවත භාවිතා කිරීම (Reuse), ප්‍රතිචක්‍රීකරණය (Recycle) හා ප්‍රකෘති කිරීම (Recover) සහ ESG මූලධර්ම පිළිබඳ වූ පුහුණු වැඩසටහන්, මෙන් ම අනුකූලතාව හා සියළුම මට්ටම් වල සේවකයින් ආවරණය වූ අධීක්ෂණ වැඩසටහන් ආදී බොහෝ මුලපිරීම් ද දායක වේ.

ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන කොමර්ෂල් බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 966 ක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight + one =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව