ණය වර්ධනය ප්‍රමුඛ කරගත් කොමර්ෂල් බැංකුව 3 වන කාර්තුව සඳහා ශක්තිමත් ශේෂ පත්‍ර වර්ධනයක් වාර්තා කරයි

Commercial Bank Chairman Prof. Ananda Jayawardane & Managing Director and CEO Mr Sanath Manatunge (LBN)

 



 

 

ණය දීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් කොමර්ෂල් බැංකු සමූහය 2023 තුන්වන කාර්තුවේදී දළ ණය සහ අත්තිකාරම් රුපියල් බිලියන 51.404 කින් ඉහළ නංවා ඇති අතර මාස තුනක් තුළදී ණය පොත රුපියල් ටි‍්‍රලියන 1.239 ක් දක්වා 4.33% කින් වර්ධනය කර ඇත.

එම කාලය තුළ සමූහයේ තැන්පතු රුපියල් ටි‍්‍රලියන 2 ක සන්ධිස්ථානය ඉක්මවා ගිය අතර 2023 සැප්තැම්බර් 30 අවසන් වන මාස තුන තුළ රුපියල් බිලියන 79.808 කින් එනම් 4.07% කින් රුපියල් ටි‍්‍රලියන 2.038 ක් දක්වා වර්ධනය වී ඇත. මෙය මාසිකව රුපියල් බිලියන 26.603 ක සාමාන්‍ය වර්ධනයකි.

ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව, සහ එහි අනුබද්ධ සමාගම් වලින් සමන්විත කොමර්ෂල් බැංකු සමූහය කොළඹ කොටස් වෙළඳපල (CSE) වෙත වාර්තා කළේ, වසරේ පළමු භාගයේ ප්‍රවණතාවය වෙනස් කරමින් මාස තුනක කාලය තුළ මුළු වත්කම් රුපියල් බිලියන 63.343 කින් එනම් 2.57% කින් වර්ධනය වෙමින් සැප්තැම්බර් 30 වන විට රුපියල් ටි‍්‍රලියන 2.526 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

රුපියල් බිලියන 255.963 ක් වූ සමූහයේ දළ ආදායම 2023 ජූනි 30 වැනි දින සිට 52.66% ක වර්ධනයක් සහ 2022 අදාල මාස නවයට වඩා 30.88% ක වර්ධනයක් පිළිබිඹු කරන අතර රුපියල් බිලියන 224.570 ක් වූ පොලී ආදායම වසරේ පළමු භාගයේ අගයට වඩා 48.91% ක වර්ධනයක් සහ වසරකට පෙර තිබූ අගයේ සිට 49.46% ක වර්ධනයක් පෙන්වන බව සමූහය පවසයි.

මේ අතර පොලී වියදම් 2023 ජුනි 30 වැනි දින සිට 44.39% කින් සහ සලකා බලන මාස නවය සඳහා, වසරකට පෙර තිබූ අගයට සාපේක්ෂව 87.19% කින් රුපියල් බිලියන 163.688 ක් දක්වා වර්ධනය විය. එහි ප්‍රතිඵලයක් ලෙස රුපියල් බිලියන 60.882 ක් වූ ශුද්ධ පොලී ආදායම 2022 අදාළ කාලපරිච්චේදයට වඩා 3.08% කින් ආන්තික ලෙස පහත වැටී ඇති අතර තුන්වන කාර්තුවේ ශුද්ධ පොලී ආදායම වූ රුපියල් බිලියන 23.432 අගය, 2022 අනුරූප කාර්තුවට වඩා 6.02% ක වර්ධනයක් පෙන්නුම් කර ඇත.

මෙම ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ සභාපති, මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා මෙසේ පැවසීය: “ආදායම් උත්පාදනය, ආයෝජන අවදානම් කළමනාකරණය, ණය දීම, තැන්පතු රැස් කිරීම, සහ වත්කම්-වගකීම් ගැලපීම යන බහුවිධ අංශයන්ට ආභාෂය ලබා දෙන බාහිර සාධකවල අඛණ්ඩ බලපෑම් අපගේ කාර්ය සාධනයෙන් පිළිබිඔු වේ. මෙම තත්වය තුළ, බැංකු විසින් තම මූලික කාර්යභාරය වන මූල්‍ය මැදිහත්වීම කෙරෙහි අවධානය යොමු කළ යුතු වන අතර, තුන්වන කාර්තුව සඳහා අපගේ ප්‍රතිඵල මෙම අවධානය විශේෂිතව පෙන්නුම් කරයි.”

කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය: “රුපියලේ අගය ඉහළ යාම ආයෝජන කළඹෙහි සමස්ත අගය මත බලපෑවද, අපගේ ණය පොතේ වර්ධනය නිසා ශක්තිමත් වර්ධනයක් අප වාර්තා කර තිබෙනවා. ජාතික ආර්ථිකය පුණර්ජීවනය කිරීමේ ප්‍රයත්නයන්ට ද සහය වන ණය වර්ධනයට ප්‍රමුඛත්වය දෙමින් අපගේ ශේෂ පත්‍රය පුළුල් කිරීමට අපි අමතර අවධානය යොමු කරනවා. විශේෂයෙන් ම ආර්ථිකයට ප්‍රධාන දායකත්වය සපයන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශයට විශාලතම ණය දෙන්නා ලෙස බැංකුවට ඉදිරියට යාමට හැකියාව ලබා දෙමින්, අපගේ ද්‍රවශීල වත්කම් අනුපාතය ව්‍යවස්ථාපිත අවම අවශ්‍යතාවයට වඩා සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතී.”

සමූහය මාස නවය සඳහා මූල්‍ය සේවා මත බදු ගෙවීමට පෙර රුපියල් බිලියන 28.692 ක මෙහෙයුම් ලාභයක් වාර්තා කර ඇති අතර එය 12.30% ක වර්ධනයකි. තවද, සමූහය මාස නවය සඳහා රුපියල් බිලියන 25.031 ක ආදායම් බදු ගෙවීමට පෙර ලාභයක් එනම් 13.59% ක වර්ධනයක් ළඟාකර ගත්තේ ය. සමූහ ව්‍යාපාරයේ ශ්‍රී ලංකා මෙහෙයුම් සඳහා ආදායම් බදු අනුපාතය 24% සිට 30% දක්වා වැඩි කිරීම, මාස නවය සඳහා ශුද්ධ ලාභය රුපියල් බිලියන 14.764 දක්වා 4.51% කින් අඩුවීමට හේතු විය.

සමූහය 2023 තුන්වන කාර්තුව සඳහා බදු ගෙවීමට පෙර ලාභය සහ බදු ගෙවීමට පසු ලාභය ලෙස පිළිවෙලින් රුපියල් බිලියන 10.939 ක්  සහ රුපියල් බිලියන 6.473 ක් වාර්තා කර ඇති අතර එය 26.30% සහ 3.03% ක වර්ධනයක් පිළිබිඹු කරයි.

ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 271 ක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 957 ක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව