කොළඹ සහ ඩකා අතර ගුවන් ගමන්වාර වැඩි කරමින් FitsAir ගුවන් සමාගම සතිපතා අමතර ගුවන් ගමන් වාර දෙකක් දියත් කරයි

Image 1 (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අඩු පිරිවැය ගුවන් සේවයක් වන FitsAir ගුවන් සමාගම සිය ගුවන් ගමන් පුළුල් කරමින් කොළඹ සහ බංග්ලාදේශයේ ඩකා නුවර අතර සතිපතා නව ගුවන් ගමන් දෙකක් හඳුන්වා දීමට කටයුතු කර ඇත. ඒ අනුව මීට පෙර සතියකට තෙවතාවක් ක්‍රියාත්මක වූ ගුවන් කාලසටහන වැඩිදියුණු කරමින් සතිපතා ගුවන් වාර පහක් ක්‍රියාත්මක වන අතර, ඒ තුළින් ගුවන් මගීන්ට වැඩි පහසුවක් සහ නම්‍යශීලී සේවාවක් ලබා දීමට හැකි වනු ඇත.
 



 

මෙම අමතර ගුවන් ගමන් වාරයන් 2025 පෙබරවාරි 15 දා සිට මාර්තු මස 29 දා දක්වා ක්‍රියාත්මක වන අතර, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සෙනසුරාදා සහ ඉරිදා යන දිනවල එම ගුවන් ගමන්හි පිටත්වීම සිදු කෙරේ. මෙම ගුවන් ගමන් වාරයන් ඔස්සේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පියාසර කරන ව්‍යාපාරික මගීන් හා විවේකය සඳහා සංචාරය කරන්නන් හට වඩාත් දැරිය හැකි මිලකට මෙන්ම සුවපහසුවෙන් සිය ගමනාන්තය වෙත ළඟා වීමට අවස්ථාව සැලසෙයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ FitsAir ගුවන් සමාගමේ විධායක අධ්‍යක්ෂ අම්මාර් කාසීම් මහතා පැවසුවේ මෙරට පිහිට වූ පළමු පෞද්ගලික අඩු පිරිවැය ගුවන් සමාගමක් වශයෙන්, ගුවන් මගීන්ට දැරිය හැකි මිලකට සහ නියමිත වේලාව අනුව සුරක්ෂිත සංචාරක අත්දැකීමක් ලබා දීම සිය මෙහෙවර වන බවයි. එමෙන්ම ඩකා නුවර වෙත ගුවන් මෙහෙයුම් පුළුල් කිරීම, කලාපීය සම්බන්ධතාවය ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් වන බවත්, වැඩි ගුවන් වාර ප්‍රමාණයක් මගින් ගුවන් මගීන්ට නම්‍යශීලී සහ දැරිය හැකි මිලකට ගමන් කළ හැකි බවත්, ඔහු පවසයි. එළැඹෙන ගිම්හාන සමයේ දී සතියකට ගුවන් ගමන් හයක් දක්වා සිය පියාසර කිරීම් වැඩි කිරීමට දැනටමත් සැලසුම් කර තිබෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

FitsAir ගුවන් සමාගම ප්‍රධාන කලාපීය ගුවන් ගමනාන්ත හරහා සිය පියාසර සටහන පුළුල් කරමින් සිටී. මෙම ගුවන් සේවාව ඩකා නුවරට අමතරව, ඩුබායි හා මාලේ වෙත දිනපතා ගුවන් ගමන් සහ චෙන්නායි වෙත සතිපතා ගුවන් ගමන් තුනක් දියත් කිරීමට කටයුතු කරන අතර, එමගින් මගීන්ට පුළුල් පරාසයක් සහිත ජනප්‍රිය ගමනාන්තයන් වෙත ප්‍රවේශ වීමට ද ඉඩ ප්‍රස්ථාව සැලසේ.

FitsAir ගුවන් සමාගමේ නිල වෙබ් අඩවිය වන (www.fitsair.com) මගින් හෝ බලයලත් සංචාරක නියෝජිතයින් මගින් හෝ ප්‍රවේශ පත්‍ර කාර්යාල මගින්, ගුවන් ටිකට්පත් වෙන් කර ගැනීමට පාරිභෝගිකයින්ට හැකියාව පවතී. සිය ගුවන් සේවයට ගොඩ වෙන සියලුම මගීන් සඳහා උසස් සේවාවක් සමගින් අද්වීතිය සංචාරක අත්දැකීමක් ලබා දීම FitsAir සමාගමෙහි නිරන්තර අපේක්ෂාවයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven + nineteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව