කොමර්ෂල් බැංකුව, ලංකා ක්ලියර් සමග ඒකාබද්ධව ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් අත්සන පිළිගන්නා පළමු බැංකුව බවට පත්වෙයි

LankaClear-General-Manager-CEO-Mr-Channa-de-Silva-and-Commercial-Bank-MD-Mr-S

 




 

 

ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනතට අනුකූල වන මෙරට තිබෙන එකම වාණිජමය මෙහෙයුම් සහතිකකරණ අධිකාරිය වන ලංකා ක්ලියර් ආයතනය විසින් මෙහෙයවන LankaSign භාවිතා කරන ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ගෙන් ඩිජිටල් ආකාරයෙන් අත්සන් කළ ලේඛන පිළිගන්නා බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර තිබේ.

මේ අනුව, ඩිජිටල් අත්සන් පිළිගැනීමේ පළමු පියවර ලෙස බැංකුව පසුගියදා මෙයට අදාළ වන අවබෝධතා ගිවිසුම ලංකා ක්ලියර් ආයතනය සමග අත්සන් කරන ලදී. ලේඛන අත්සන් කිරීම සඳහා LankaSign පිළිගන්නා ශ‍්‍රී ලංකාවේ පළමු මූල්‍ය ආයතනය බවට කොමර්ෂල් බැංකුව මේ සමග පත්වන බව බැංකුව සඳහන් කරයි.

මෙම වැඩසටහනේ පළමු පියවර ලෙස බැංකුව විසින් සිය ආයතනික ගනුදෙනු කරුවන්ව තමන්ගේ අන්තර්ජාල බැංකුකරණ අයදුම්පත් ඩිජිටල් ආකාරයෙන් අත්සන් කර එවීමට දිරිමත් කරනු ඇත. බැංකුව සඳහන් කරන්නේ කෙටි කාලයක් තුළදී ඩිජිටල් අත්සන පිළිගැනීම අනිකුත් බැංකුකරණය හා සම්බන්ධ ලේඛන වලටත් ලබාදෙන බවයි.

බැංකු ගනුදෙනුකරුවන්ගේ ඩිජිටල් අත්සන පිළිගැනීම පිළිබඳව කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, එස්. රෙන්ගනාදන් මහතා මෙසේ අදහස් දැක්වීය. ‘තාක්ෂණය විසින් මූල්‍ය ආයතන වලට සහ ඒවායේ ගනුදෙනුකරුවන්ට සුවිශාල පහසුවක් සහ වාසි නිර්මාණය කර තිබෙන නමුත් ආරක්ෂාව සහ වංචාවන් පිළිබඳ අවධානම් එමගින් ඇති වෙනවා. ඉලෙක්ට්‍රොනික ගනුදෙනු වඩ වඩාත් සිදුකරන විට අවධානම් නැතිකර දැමීමට තාක්ෂණයෙන් ඉහළ, තොරතුරු තාක්ෂණික ආරක්ෂක යටිතල පහසුකමක් අවශ්‍ය වෙනවා. මේ නිසා, LankaSign මගින් සවිබල ගැන්වූ ඩිජිටල් අත්සන හඳුන්වාදීම මෙම දිශාවට ගමන් කිරීමට තවත් වැදගත් පියවරක් ලෙස සඳහන් කළ හැකියි.’

‘මීට අමතරව, විශේෂයෙන්ම කොවිඞ් වසංගත සමයේ මෙම ඩිජිටල් අත්සන හඳුන්වාදීම අපගේ ආයතනික ගනුදෙනුකරුවන්ට විශාල පහසුවක් වෙනවා.’

කොමර්ෂල් බැංකුව සමග ඇතිකර ගත් ඒකාබද්ධතාවය පිළිබඳව ලංකා ක්ලියර් ආයතනයේ සාමාන්‍යාධිකාරී සහ ප‍්‍රධාන විධායක නිළධාරී, චන්න ද සිල්වා මහතා මෙසේ අදහස් දැක්වීය. ‘ගනුදෙනුකරුවන්ගේ ලේඛන අත්සන් කිරීමට LankaSign ඩිජිටල් අත්සන හඳුන්වාදීමට කොමර්ෂල් බැංකුව ගත් ධනාත්මක පියවර පිළිබඳව අපි අතිශයින්ම සතුටු වෙනවා. ගමන් සීමාවන් සහ අඩු සේවකයින් ප‍්‍රමාණයකින් බැංකුවල මෙහෙයුම් කටයුතු සිදුවන මෙම වකවානුව තුළ මෙය හඳුන්වාදීම කාලීන සහ ගනුදෙනුකරුවන්ට හිතකර පියවරක්. මීට අමතරව, මෙමගින් ඩිජිටල් ආකාරයෙන් අත්සන් කළ සියළුම ලේඛන වලට වඩාත්ම අවශ්‍ය සහතිකකරණය වන අවංකත්වය, ඒවා ප‍්‍රතික්ෂේප නොකිරීම සහ සනාථ කිරීම ලබාදෙනවා. සයිබර් ආරක්ෂක අවධානම් වැඩිවෙමින් තිබීම හමුවේ බැංකුවේ සහ ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීමට මෙය අත්‍යවශ්‍ය වෙනවා.’

පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම 11 වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 931 ක් ක‍්‍රියාත්මක කරයි. බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව