කොක්කඩිච්චෝලේ පාරම්පරික සහල් නිෂ්පාදකයින්ට කොමර්ෂල් බැංකුවේ සහාය

Webp.net-resizeimage

 



 

 

 

කොමර්ෂල් බැංකුවේ දිරිශක්ති අගය දාම සංවර්ධන වැඩසටහනේ නවතම ප‍්‍රතිලාභීන් ලෙස, මඩකලපුව, කොක්කඩිච්චෝලේ ගොවීන් පිරිසකට පාරම්පරික සහල් නිෂ්පාදන වෙළෙඳාම සඳහා මුල්‍ය සහ තාක්ෂණික සහාය මෙන්ම උපකරණ ද බැංකුව විසින් ලබා දී ඇත.

කොක්කඩිච්චෝලේ කාන්තා සමිතිය සමඟ එක්ව මෙම ප‍්‍රදේශයේ කුඩා වතු හිමියන් මුල්‍ය ක‍්‍රියාවලියට ඇතුළත් කර ගැනීම උදෙසා බැංකුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේය. ප‍්‍රදේශයේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීම සහ ග‍්‍රාමීය ජීවනෝපාය වැඩිදියුණු කිරීම එහි අවසානාත්මක අරමුණයි. මෙම අරමුණට සහාය දැක්වීම සඳහා බැංකුව විසින් ප‍්‍රජාව අතරින් තෝරාගත් ගොවීන් වෙත, වී තම්බන ඇලූමිනියම් භාජන 30ක් ද පරිත්‍යාග කෙරිණි. මෙම ප‍්‍රජාවගේ ජීවනෝපාය, වී එකතු කිරීම, පාරම්පරික සහල් සැකසීම සහ මඩකලපුව නගරයේ ප‍්‍රාදේශීය වෙළෙඳපොළට සහ පුද්ගලයන්ට වී සැපයීම වටා නිර්මාණය වී ඇත.

කාන්තා සමිතියට මෙම උපකරණ පරිත්‍යාග කිරීමෙන් අනතුරුව කොමර්ෂල් බැංකුවේ නිලධාරීන් විසින් බැංකුවේ ජංගම බැංකු සේවාව වන ‘බෑන්ක් ඔන් වීල්ස්’ මෙහෙයුම හරහා පිරිනමන සේවාවන් මෙන්ම බැංකුවේ නිෂ්පාදන සහ ප‍්‍රජාවට ලබා ගත හැකි සේවාවන් පිළිබඳව විස්තර කෙරිණි.

මෙම උත්සවයේදී අදහස් දැක්වූ කාන්තා සමිතියේ සභාපතිනි පී.සකුන්තලාදේවි මහත්මිය මෙසේ පැවසුවාය: ”බෑන්ක් ඔන් වීල්ස් මෙහෙයුම හරහා කොමර්ෂල් බැංකුව ගිණුම් විවෘත කිරීම, මුදල් තැන්පතු සහ ආපසු ගැනීම්, ක්ෂුද්‍ර ණය, කෘෂිකාර්මික කල්බදු වැනි මූලික බැංකු සේවා සහ බැංකු ආශ‍්‍රිත අනෙකුත් සේවාවන්, අවම වශයෙන් මාසයකට දින හතරකදී අපගේ ගොවීන් හට ලබා දෙයි. අපගේ වෙළෙඳාම පුළුල් කිරීමට, ඵලදායිතාව ඉහළ නැංවීමට සහ අපගේ ජීවන රටාව වැඩිදියුණු කිරීමට පවා ඉවහල් වූ මෙම සේවාවන් ලබා ගැනීමට හැකි වීම පිළිබඳව අපි කෘතඥ වෙමු. අප සංගමයේ සාමාජිකයන් 80 දෙනාගෙන් 45කට ආසන්න පිරිසක් මඩකලපුව කොමර්ෂල් බැංකු ශාඛාවෙන් දිරිශක්ති ණය ලබාගෙන තිබේ. මෙම ප‍්‍රාග්ධන ලැබීම් ඉහළ නැංවීම, මෙම පවුල්වල ආදායම වැඩි කළා පමණක් නොව, සමස්තයක් ලෙස අපගේ ප‍්‍රජාවගේ ජීවනෝපාය සහ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට හේතු වී තිබේ.”

කොමර්ෂල් බැංකුවේ දිරිශක්ති අගය දාම සංවර්ධන වැඩසටහන, ක්ෂුද්‍ර ව්‍යවසායකයින්ට සහයෝගය දැක්වීම සඳහා දියත් කරන ලද්දේ, තනි තනි ණය ගැණුම්කරුවන්ට පමණක් නොව, බිම් මට්ටමේ සිට සාර්ථකත්වයට සහ වර්ධනයට දායක වන සහභාගිවන්නන්ට ප‍්‍රතිලාභ ලබා දෙන මූල්‍ය සහ සවිබල ගැන්වීම් ක‍්‍රියාකාරකම් ඇතුළත් පරිපූර්ණ මැදිහත්වීමක් ලෙසය. ග‍්‍රාමීය වටිනාකම් දාමයන් මුහුණ දෙන අභියෝග ජය ගනිමින් ඒවායේ කාර්යක්ෂමතාව සහ තිරසාර බව වැඩිදියුණු කිරීම සඳහා හඳුනාගත් අගය දාමයන්ට සහාය වීම සඳහා එහි ‘ඉන් කයින්ඞ් ග‍්‍රාන්ට්’ වැඩසටහන හඳුන්වා දී ඇත.

ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100‍% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 11 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 938 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව