
දේශීය ටයිල් සහ නාන කාමර උපාංග කර්මාන්තකරුවන් විසින් සවිමත් වෙළෙඳ ප්‍රතිපත්ති පද්ධතියක් ඉල්ලා සිටියි
ශ්‍රී ලංකාවේ ටයිල් සහ නාන කාමර උපාංග කර්මාන්තය විසින් දේශීය නිෂ්පාදනයේ අනාගතය සුරක්ෂිත කිරීම, වෙළෙඳපල සාධාරණත්වය සහතික කිරීම සහ රටේ ආර්ථික අවශ්‍යතාවන් ආරක්ෂා කිරීම සඳහා කඩිනම් පියවර ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියි. මෙම ඉල්ලීම ආනයනයන්ට විරුද්ධව සිදුකරන වැඩපිළිවෙළක් නොව එය හුදෙක් මෙරටට සැලකිය යුතු බදු ආදායමක් අහිමි කරමින් කර්මාන්තයේ ගුණාත්මකභාවය සහ තරඟකාරීත්වය අභියෝගයකට ලක් කරන සදාචාර විරෝධි ක්‍රියාවලියට එරෙහි වැඩපිළිවෙළක් බව ‘දේශීය ටයිල් සහ නාන කාමර උපාංග සංවිධානය’ මෙහිදී අවධාරණය කරයි.
දේශීය ටයිල් සහ නාන කාමර උපාංග කර්මාන්තය තුළ ප්‍රධාන ටයිල් නිෂ්පාදකයන් හතර දෙනෙකු සහ නාන කාමර උපකරණ නිෂ්පාදකයන් අට දෙනෙකු නියැළී සිටියි. රුපියල් බිලියන 90කට නොඅඩු සුවිසල් ආයෝජනයක් මේ හරහා දේශීය නිෂ්පාදනය තුළ සිදුකර ඇති අතර රුපියල් බිලියන 14කට වඩා ඉහළ බදු ආදායමක් මෙම කර්මාන්තය ඔස්සේ වාර්ෂිකව ලබාදෙයි. එමෙන්ම සේවකයන් 5,200 කට වැඩි සංඛ්‍යාවක් සඳහා රැකියා අවස්ථාවන් මෙම කර්මාන්තය තුළ සලසා දී ඇති අතර සැපයුම්කරුවන්, බෙදාහරින්නන් සහ වෙළෙඳ නියෝජිතයන් වැනි තවත් විශාල පිරිසක් වක්‍රව කර්මාන්තය සමඟ සම්බන්ධ වී සිටියි. මෙම සැපයුම්කරුවන් සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 33ට ඉහළ ගෙවීමක් සිදුවන අතර කර්මාන්තයේ වාර්ෂික සේවක ගෙවීම රුපියල් බිලියන 7 ඉක්මවයි.
80%ට වඩා වැඩි දේශීය අගය අනුපාතයක් (value-addition) සහිත මෙම කර්මාන්තය ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා දායකත්වය සපයන මූලික කර්මාන්තයක් වේ. සැබවින්ම එය විවිධ මිල පරාසයන් ඔස්සේ ගෝලීය ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන පෙළක් දේශීය වශයෙන් ලබාදෙමින් මෙරට නිෂ්පාදන ආර්ථිකය ස්වයංපෝෂිත කරන කර්මාන්ත අතලොස්ස අතරින් එකකි. එහෙත් කණගාටුදායක කරුණ නම් දැනට පවතින රෙගුලාසි හමුවේ කර්මාන්තය අභාවයට පත්වීමේ අවදානමකට ලක්ව තිබීමය.
ආනයනකරුවන් විසින් අනුගමනය කරන අසාධාරණ වැඩපිළිවෙළ සහ බදු පැහැර හැරීම
ඇතැම් ආනයනකරුවන් විසින් ආනයන ප්‍රතිපත්ති තුළ පවත්නා අඩුපාඩු උපයෝගී කරගනිමින් බදු ගෙවීම් පැහැර හරිමින් අනිසි ලෙස අසාධාරණ වාසියක් ලබා ගැනීමට කටයුතු කරනු ලැබේ. ඔවුන් බොහෝ දෙනෙක් සිය වාර්ෂික විකිනුම් සීමාවන් රුපියල් මිලියන 60 ක අඩු වශයෙන් පවත්වා ගැනීම සඳහා කුඩා සමාගම් කිහිපයක් යටතේ ලියාපදිංචි වීම වැනි උපක්‍රමයන් අනුගමනය කරමින් වැට් බදු (VAT) ගෙවීම් වළක්වා ගනියි. එමගින් ඔවුන් සිය අලෙවිකරන වටිනාකමට වඩා බෙහෙවින් අඩු ආනයන වටිනාකම් සදහා වැට් බදු ගෙවීමෙන් ලාභය සදහා වැට් බදු ගෙවීම පැහැරහරියි.
රජයේ බදු ආදායමට සැලකිය යුතු අලාභයක් මෙලෙස අඩු ආනයන වටිනාකමක් ප්‍රකාශ කිරීම හේතුවෙන් සිදුවේ.එබැවින් වැට් බදු ලියාපදිංචිය වෙළෙඳාමේ නියැලී ඇති සියලුම ආනයනකරුවන් සඳහා අනිවාර්ය කිරීම, සැබෑ විකුණුම් වටිනාකමට අනුව වැට් බදු ගෙවීම සහතික කිරීම සහ නිසි ආදායම් බදු ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීම වැනි පියවර කඩිනමින් ක්‍රියත්මක කරන ලෙස දේශීය ටයිල් සහ නාන කාමර උපාංග නිෂ්පාදකයන්ගේ සංවිධානය රජයෙන් ඉල්ලා සිටියි.
ප්‍රපාතන (Dumping) ප්‍රතිපත්ති පිළිබඳ ගැටලුව හමුවේ, වසර 12ක් පුරා ඒකකාරිව පවතින නොගැළපෙන මිල ගණන් සහ විනිමය අනුපාත වෙනසට සාපේක්ශව බදු සංශෝධනය නොකිරීම
ඉහළ උද්ධමනයක් සහ නිෂ්පාදන පිරිවැයක් ගෝලීය වශයෙන් පවතින පසුබිමක වසර 12ක් පුරා ටයිල් සහ නාන කාමර උපාංග සඳහා ආනයන මිල ගණන් නොවෙනස්ව ඒකාකාරි මිල ගණන් යටතේ පැවතීම පිළිගැනීමට අසීරු කරුණකී. දේශීය වශයෙන් රටවල්වල සඳහන් වන විකිනුම් අගයන්ට සාපේක්ෂව ආනයනික මිල ගණන් පිළිබඳ අවධානය යොමු කිරීමේදී එය සිතා මතාම ක්‍රියාත්මක වන මිල පහළ හෙලීමක් බව පැහැදිලි වේ.එබැවින් එම අගයන්හි නිවැරැදිභාවය සහ ඒ තුළින්සාධාරණව සිදුකරන දේශීය වෙළෙඳාමට සිදුවන බලපෑම සුළුපටු නොවේ.
වත්මන් රේගු ප්‍රකාශනවල සඳහන් වන පරිඳි එහි මිල ගණන් සඳහන් වන්නේ ටයිල් වර්ග මීටරයක් සඳහා ඇමරිකානු ඩොලර් 3.5 ක් සහ කොටස් හතරකින් සමන්විත නාන කාමර උපාංග කට්ටල සඳහා ඇමරිකානු ඩොලර් 35ක් වශයෙනි. එහෙත් එය ගෝලීය වෙළෙඳපලේ සාමාන්‍ය නිවැරදි මිල ගණන් සමග නොගැළපේ.
2021 වසරේදී සිදුකළ අවසන් සංශෝධනය සඳහා පදනම් වූයේ ඇමරිකානු ඩොලර් එකකට රු. 190 ක විනිමය අනුපාතයකී. එහෙත් එහි වර්තමාන අනුපාතය ඇමරිකානු ඩොලර් එකකට රු. 300 අගයද ඉක්මවා තිබේ. එබැවින් වර්තමාන වෙළෙඳපල තත්ත්වයන්ට අදාළව අවම රේගු ප්‍රකාශන අගයන් සංශෝධනය කරන ලෙස මෙන්ම අසාධාරණ විදෙස් තරඟකාරිත්වයට එරෙහිව ප්‍රපාතන විරෝධි බදු (Anti-Dumping Levy) ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන ලෙස දේශීය කර්මාන්තකරුවන් රජයෙන් ඉල්ලා සිටියි.
පාරිභෝගික ආරක්ෂාව උදෙසා ආනයනික නිෂ්පාදනවල ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු විසඳීම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් ආනයනික ටයිල් සහ නාන කාමර උපාංගවල ප්‍රමිතිය තහවුරු කිරීම සඳහා දැඩි ප්‍රතිපත්ති මාලාවක් අනුගමනය නොකිරීම මේ සම්බන්ධයෙන් පවතින තවත් ප්‍රමුඛතම ගැටළුවක් වේ.නිසි ප්‍රමිතියකින් තොරව නිමවන ලද එම ආනයනික උපාංග ඇදහිය නොහැකි අඩු මිල ගණන් යටතේ වෙළෙඳපල වෙත නිකුත් කිරීම නිසා පාරිභෝගිකයන් නොමඟ යවන අතර ඒවායේ ඇති අඩු කල්පැවැත්ම සහ ගුණාත්මකභාවය හේතුවෙන් පාරිභෝගිකයන්ට දිගුකාලීනව අධික පිරිවැයක් දැරීමට සිදුවේ. මෙයට පිළියම් ලෙස ආනයනික නිෂ්පාදනයන්ගේ ගුණාත්මකභාවය සහතික කිරීම සහ දේශීය නිෂ්පාදකයන් විසින් තහවුරු කරන ලද දැඩි තත්ත්ව ප්‍රමිතීන් පිළිබඳ පාරිභෝගිකයන් දැනුවත් කිරීම සඳහා වැඩිදියුණු කළ SLSI තහවුරු කිරිමේ ක්‍රියාවලීන් පිළිබඳ ප්‍රවේශයන් ඉදිරිපත් කරන ලෙස යෝජනා කරයි.
ගෝලීය වෙළෙඳ ආරක්ෂණ පියවර සමග ශ්‍රී ලංකාවේ පසුගාමී පිළිවෙත
දේශීය ටයිල් සහ නාන කාමර උපාංග කර්මාන්ත ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රපාතන (Dumping) විරෝධී පියවර ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව, චීනය, සෞදි අරාබිය, ගල්ෆ් කලාපීය රටවල් සහ යුරෝපා සංගමය ඇතුළු රටවල් රැසක් පියවර ගෙන තිබේ. එවැනි ආරක්ෂිත ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවන රටවල් කිහිපය අතර ශ්‍රී ලංකාව ද පසුවන අතර, ඒ මඟින් සදාචාරාත්මක නොවන වෙළෙඳ ක්‍රමවේදයන් හමුවේ දේශීය නිෂ්පාදකයන් අවදානමට ලක් කරයි.
පවතින රේගු ප්‍රකාශන අගයන් සංශෝධනය කර යාවත්කාලීන කරමින් අදාළ තීරුබදු ක්‍රියාත්මක කරන ලෙස මෙන්ම ආනයනික නිෂ්පාදන සඳහා ප්‍රපාතන විරෝධි බදු (Anti-Dumping Tax) හඳුන්වා දෙන ලෙස ‘දේශීය ටයිල් සහ නාන කාමර උපකරණ සංවිධානය’ රජයෙන් ඉල්ලා සිටියි. තවද, ආනයනකරුවන් සම්බන්ධයෙන් පවතින වැට් බදු සහ ආදායම් බදු ප්‍රතිපත්තීන් තවදුරටත් ශක්තිමත් කිරීම, ආනයන සඳහා ඇති ප්‍රමිතිකරණ වැඩපිළිවෙළ දියුණු කිරීම ආදී කරුණුවල වැදගත්කම ද මෙහිදී ඔවුන් අවධාරණය කරයි.
ගෝලීය මට්ටමේ ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන ශ්‍රී ලංකාවේ ටයිල් සහ නාන කාමර උපාංග කර්මාන්තය තුළ නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා උපායමාර්ගික ප්‍රතිපත්තිවල සහාය අවශ්‍ය වේ. එමඟින් ආනයන මත යැපීම අඩු කරමින් රටේ ආර්ථික වර්ධනයට සැලකිය යුතු ලෙස දායකත්වයක් ලබාදීමට ද හැකියාව උදා වේ.ඒ සඳහා කඩිනම් පියවර ගැනීම දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ දිගුකාලීන තිරසාරභාවයට ඉවහල් වේ.
සාධාරණ වෙළෙඳ ප්‍රතිපත්ති සහ තිරසාර කර්මාන්ත වර්ධනය වෙනුවෙන් ‘දේශීය ටයිල් සහ නාන කාමර උපාංග සංවිධානය’ පෙනී සිටින අතර ඔවුන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නිෂ්පාදකයන් නියෝජනය කරයි. ඔවුන් සදාචාරාත්මක ආනයනයන්ට සිය සහයෝගය ලබා දෙන අතර, දේශීය කර්මාන්ත, බදු ආදායම් සහ පාරිභෝගික ආරක්ෂාවට ගැටලු ඇති කරන අසාධාරණ ආනයන වෙළෙඳාමට විරුද්ධව කටයුතු කරයි.