අමානා බැංකුව පැවැත්වූ ‘My Future, My Dream’ රචනා තරඟාවලියේ විශිෂ්ටයන් ඇගයීමට ලක් කෙරේ.

Eassay Competition 2
  • තිරසාරත්වය වැළඳ ගනිමින් අනාගත සිහින හැඩගස්වා ගැනීමේ වැදගත්කමද අවධාරණය විය

අමානා බැංකුව මෙරට සිසු පරපුරේ අනාගත සිහින බලගැන්වීමේ අරමුණින් සංවිධානය කළ ‘My Future, My Dream’ දීපව්‍යාප්ත රචනා තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පවත්වන ලද එම උත්සවයේ ප්‍රධාන දේශනය, ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන සභාවේ අධ්‍යක්ෂ ජනරාල් චමීන්ද්‍රි සපරමාදු මහත්මිය විසින් සිදුකරන ලදි.

අමානා බැංකුවේ මෙහෙවර වන ‘සංවර්ධනයට අත්වැලක්, ඉසුරුමත් ජීවිතයක්’ යන තේමාව ඔස්සේ පවත්වන ලද මෙම රචනා තරගය, රටේ අනාගත පරපුරේ සිහින හා අපේක්ෂාවන් සමග ඔවුන් ඉදිරියේ ඇති අනන්තප්‍රමාණ වූ අවස්ථාවන්හි මහිමයත් ලොවට පෙන්වා දුන් සුවිශේෂී වැඩසටහනක් විය.

 



 

මෙහිදී සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යවලින් වයස් කාණ්ඩ දෙකක් යටතේ පළමු හා දෙවැනි ස්ථාන සඳහා සම්මාන හා ත්‍යාග පිරිනමන ලද අතර, කුසලතා සහතිකද පිරිනමන ලදි. ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් 42 දෙනෙකු ඇතුළු ඔවුන්ගේ දෙමාපියන් හා ගුරුවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට පැමිණ සිටියහ. මෙම තරගය සඳහා දිවයින පුරා පාසැල්වලින් රචනා 3,500 කට අධික සංඛ්‍යාවක් ලැබිණි. මෙය ශ්‍රී ලංකාවේ වර්තමාන සිසු පරපුරේ සිහින හා අපේක්ෂාවන් නිරූපණය කළ කැඩපතක් බඳු විය.

තරගයේ සෑම කාණ්ඩයකම පළමු ස්ථානය සඳහා රු, 50,000 බැගින්ද, දෙවැනි ස්ථානය සඳහා රු. 30,000 බැගින්ද මුදල් ත්‍යාග පිරිනමන ලදි. එමෙන්ම සෑම කාණ්ඩයකින්ම තවත් විශිෂ්ට රචනා 5 බැගින් තෝරාගෙන ඒවා සඳහා රු. 10,000 බැගින් වූ සැනසිලි ත්‍යාග ද පිරිනැමිණි.

මෙම රචනා තරගයේ අරමුණු සම්බන්ධයෙන්, අමානා බැංකුවේ උප සභාපති (පාරිභෝගික බැංකුකරණ හා අලෙවිකරණ) සිද්දීක් අක්බාර් මහතා මෙසේ තම අදහස් පළකළේ ය. “මෙම වැඩසටහන මගින් දරුවන් සිහින දැකීමටත්, නවෝත්පාදනය මුල්කරගෙන සිතිවිලි මෙහෙයවීමටත්, තම සිහිනවලින් තම සමාජයට ඇතිකළ හැකි බලපෑම පිළිබඳව අවධානයට ලක් කිරීමට මෙම දරු දැරියන් පෙළඹවීමට අපට හැකි වුණා. මේ ආකාරයට තම සිහින අකුරුවලට හැරවීමටත්  ඔවුන්ට ලබා දුන් දිරිගැන්වීම මගින්, තම සිහින සැබෑ කරගැනීමේ ගමනේ මුල් පියවර තැබීමට ඔවුන්ට හැකි වූ බව මා විශ්වාස කරනවා.”

තිරසාරත්වය වැළඳගනිමින් අනාගත සිහින හැඩගස්වාගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන සභාවේ අධ්‍යක්ෂ ජනරාල් චමීන්ද්‍රි සපරමාදු මහත්මිය මෙහිදී සිය අදහස් දැක්වූවා ය. එහිදී ඇය එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක 17 පිළිබඳව මෙන්ම, එම ඉලක්ක මගින් ආවරණය වන ප්‍රධාන පැතිමානයන්, එනම් ජනතාව සහ ජීවන තත්ත්වය පිළිබඳව අවධානය යොමුකරන සමාජ පැතිමානය, ස්වාභාවික සම්පත් වගකීම්සහගත ලෙස පරිහරණය කිරීම ඉලක්ක කරගත් පාරිසරික පැතිමානය සහ, සමාජ හා පාරිසරික පැතිමානයන්ට අහිතකර බලපෑමක් ඇති නොවන ආකාරයට දීර්ඝකාලීන ආර්ථික වර්ධනය සාක්ෂාත් කරගැනීම ඉලක්ක කරගත් ආර්ථික පැතිමානය පිළිබඳවද විස්තර කළා ය. තම පෞද්ගලික ඉලක්ක සපුරා ගැනීමෙන් නොනැවතී, තිරසාර හා සාමකාමී ලෝකයක් නිර්මාණය කිරීමට දායක වන ලෙස දරුවන්ට ඇරයුම් කරමින්  එදිනෙදා ජීවිතයේදී තිරසාර පුරුදුවලට යොමු විය හැක්කේ කෙසේද යන්න පෙන්වා දුන් ඇයගේ දේශනයට පැමිණ සිටි පිරිසගෙන් උණුසුම් ප්‍රතිචාර හිමි විය.

වැඩසටහන සම්බන්ධයෙන් අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා මෙසේ අදහස් දැක්වී ය. “අද අප මේ ඇගයීමට ලක්කළේ සිහින, බලාපොරොත්තු සහ  අනාගතය හැඩගැස්වීම සඳහා වචනවලට තිබෙන හැකියාව පිළිබඳ සෑම පුද්ගලයෙකුටම තමන් දකින සිහින තුළින් තම ඉරණම හැඩගස්වා ගැනීමට  ශක්තියක් ඇති බවට අප සතු විශ්වාසය “My Future, My Dream” යන තේමාව මගින් නිරූපණය වනවා. නිරන්තරයෙන් වෙනස් වන සහ අභියෝග හා අවස්ථාවන් එකට පවතින ලෝකයක, අධිෂ්ඨානශීලී හා තෘප්තිමත් අනාගතයක් කරා කෙනෙකුට  මගපෙන්වනු ලබන්නේ ඔහුගේ හෝ ඇයගේ සිහින මගිනුයි. අද දවසේ මේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට හෘදයාංගම සුබපැතුම් එක්කරන අතරම, තම සිහින හඹා යාම සඳහා 3,500 කට අධික දරුදැරියන් පිරිසක් දිරිගැන්වීමට හැකි වීම පිළිබඳව මා බෙහෙවින් සතුටු වනවා.”

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.

අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව