අමානා බැංකුව කඩොලාන පරිසර පද්ධති ප්‍රතිසංස්කරණය සඳහා Biodiversity Sri Lanka සමග අත්වැල් බැඳගනී

Amana Bank joins hands with Biodiversity Sri Lanka to restore Mangrove Ecosystems (LBN)

Biodiversity Sri Lanka (BSL) සංවිධානය විසින් පුත්තලම දිස්ත්‍රික්කයේ ක්‍රියාවට නංවා ඇති “Life to Mangroves” ව්‍යාපෘතිය සමග අත්වැල් බැඳගැනීමට අමානා බැංකුව පසුගියදා කටයුතු කළේ ය. මෙය තිරසාරත්වය සහ පරිසර සංරක්ෂණය වෙනුවෙන් අමානා බැංකුව දක්වන නිරන්තර කැපවීම තවදුරටත් ශක්තිමත් කරන පියවරකි. වෙරළ තීරය සහ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා මෙන්ම දේශගුණික විපර්යාසයන් මගින් ඇතිවන අහිතකර බලපෑම් අවම කිරීම සඳහා කඩොලාන පරිසර පද්ධති අතිශයින් වැදගත් වන අතර, එම පරිසර පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම සහ ආරක්ෂා කිරීම මෙම ව්‍යාපෘතියෙහි ප්‍රධානතම අරමුණ වේ.
 



 

වෙරළ ඛාදනයට එරෙහිව ස්වාභාවික බාධක ලෙස ක්‍රියා කරන කඩොලාන පරිසර පද්ධති, සාගර ජීවීන්ට සුරක්ෂිත වාසස්ථාන සපයන අතර, අවට පරිසරයේ ඇති කාබන්ඩයොක්සයිඩ් අවශෝෂණය කරගැනීමද සිදුකරයි. “Life to Mangroves” ව්‍යාපෘතිය හරහා මෙම පරිසර පද්ධති ආරක්ෂා කිරීම මෙන්ම, ඒවායෙහි වැදගත්කම පිළිබඳව ප්‍රදේශවාසීන් දැනුවත් කිරීම අමානා බැංකුවේ සහ Biodiversity Sri Lanka සංවිධානයේ අරමුණ වී තිබේ. මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ රැම්සාර් සම්මුතිය යටතේ සංරක්ෂිත තෙත්බිම් 6 අතරින් එකක් වන ආනවිලුන්දාව තෙත්බිමේ ඇති, දැනට බොහෝ දුරට විනාශ වී ගොස් තිබෙන කඩොලාන වනාන්තරය ප්‍රතිනිර්මාණය කිරීමට පියවර ගැනෙනු ඇත. මෙය දේශගුණ විපර්යාස මගින් රටට ඇතිවන බලපෑම් අවම කිරීමට මහෝපකාරී වනු නිසැක ය.

ආනවිලුන්දාව යනු ඓතිහාසික වැව් පද්ධතියකින් සැදුණු රක්ෂිත අභය භූමියකි. එහි තර්ජනයට ලක් වූ මත්ස්‍යයන්, උභයජීවීන්, පක්ෂීන්, ක්ෂීරපායින් සහ උරග විශේෂ කිහිපයක් ජීවත් වෙයි. එමෙන්ම එය සංක්‍රමණික පක්ෂීන්ට මෙන්ම, ආවේණික මත්ස්‍ය වර්ග 3 ක් ඇතුළුව මිරිදිය මත්ස්‍ය වර්ග රැසකටද වාසභූමියක් බවට පත් වී ඇත. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම වයඹ විශ්ව විශ්ව විද්‍යාලයේ සහ International Union for Conservation of Nature (IUCN) හි විශේෂඥයෝ පිරිසක්ද මෙම ව්‍යාපෘතිය සමග අත්වැල් බැඳගෙන සිටිති.

“අමානා බැංකුව පරිසරයට සහ ප්‍රජාවන්ට යහපත් ලෙස බලපාන තිරසාර වැඩසටහන්වලට සහය වීමට දැඩි ලෙස කැප වී සිටිනවා. ‘Life to Mangroves’ ව්‍යාපෘතිය, අපගේ මානුෂ-හිතවාදී බැංකුකරණ ආකෘතියේ පරිසර හිතකාමීත්වය සහ වගකීම්සහගතභාවය සම්බන්ධ මූලික වටිනාකම්වලට සමගාමී ව්‍යාපෘතියක්. අපගේ ඉලක්කය වන්නේ ශ්‍රී ලංකාවේ සුවිශේෂී පරිසර පද්ධති ආරක්ෂා කරමින් සහ ප්‍රතිසංස්කරණය කරමින්, දේශගුණ විපර්යාසවලට ඔරොත්තු දීමට රටට ඇති හැකියාව වර්ධනය කිරීමයි. Biodiversity Sri Lanka සමග ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය මගින්, අපගේ අනාගත පරම්පරාවන් උ‌දෙසා මෙම ස්වාභාවික පාරිසරික උරුමයන් ආරක්ෂා කිරීමේ මෙහෙවර අපට වැදගත් කාර්යභාරයක් රැසක් ඉටුකිරීමට හැකි වේවි.” අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා පැවසී ය.

“අමානා බැංකුව  ‘Life to Our Mangroves’ ව්‍යාපෘතිය සමග අත්වැල් බැඳගැනීම අපට මහත් සතුටක්. මෙම හවුල්කාරීත්වය, ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සහ වෙරළබඩ ප්‍රජාවන් සවිබල ගැන්වීම යන පොදු අරමුණු ඉටුකර ගැනීම සඳහා තබන ලද වැදගත් ඉදිරි පියවරක් ලෙස අප දකිනවා. තිරසාර සංවර්ධනය වෙනුවෙන් අමානා බැංකුව දක්වන කැපවීම නිසා එම බැංකුව අපට වටිනා බැංකුකරණ සහකරුවෙකු බවට පත් වී සිටින අතර, ඔවුන් සමග එක්ව කටයුතු කරමින් අපගේ වටිනා කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කිරීමට සහ ප්‍රතිසංස්කරණය කිරීම අපගේ අරමුණයි.” Biodiversity Sri Lanka අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති දිල්හාන් සී. ප්‍රනාන්දු මහතා පැවසී ය.

අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 100 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.

අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව