Women in Tech සංවිධානය විද්‍යා, තාක්ෂණ, ඉජිනේරු සහ ගණිත ක්ෂේත්‍රයේ කාන්තා නියෝජනය නැංවීමට Mark and Comm සමඟ සහයෝගීතාවකට එළඹෙයි

Untitled design - 1

ඒකාබද්ධතාව, විවිධත්වය සහ සමානාත්මතාව වෙනුවෙන් පුරෝගාමී දායකත්වයක් ලබාදෙන ලොව ප්‍රමුඛතම සංවිධානයක්වන Women in Tech සංවිධානය පසුගියදා කොළඹ කේන්ද්‍ර කරගත් මහජන සබඳතා ආයතනයක්වන Mark and Comm ආයතනය සමඟ විශේෂ ගිවිසුමකට අත්සන් තැබීය. ඒ අනුව, වර්ෂ 2030 වනවිට විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත ක්ෂේත්‍රයන්ට අදාළව කාන්තාවන් මිලියන 5ක් සවිබල ගැන්වීමේ අරමුණකින් ක්‍රියාත්මක වන Women in Tech සංවිධානයේ දේශීය ක්‍රමෝපායික සන්නිවේදන සහකරු ලෙස Mark and Comm සමාගම කටයුතු කරනු ඇත.

 



 

අගෝස්තු 26 වැනිදා කොළඹ උගා රෙසිඩන්සීස්හිදී Women in Tech සංවිධානයේ මෙරට ප්‍රධාන තානාපතිනි සහ Typefi Systems සමාගමේ මෙරට ප්‍රධානී සහ මානව සම්පත් අංශ උප සභාපතිනී චතිනි උඩවන මහත්මිය සහ Mark and Comm සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තන්සිල් තජුඩීන් මහතා අදාළ ගිවිසුම හුවමාරු කරගත් අතර, Women in Tech සංවිධානයේ මෙරට සහයෝගීතා අධ්‍යක්ෂ ජෙස්ලා ලාරිෆ් සහ Mark and Comm සමාගමේ අධ්‍යක්ෂිකා චමනි නානායක්කාර යන අය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කොළඹදී සිය සෙසු අනුග්‍රාහකයින් ද සමඟ පැවැති පුළුල් සාකච්ඡා මණ්ඩපයකින් අනතුරුව ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදී Women in Tech සංවිධානය ශ්‍රී ලංකාව තුළ තම මෙහෙයුම් ආරම්භ කරන ලදී. එම සංවිධානය මේ වනවිට ලොව මහාද්වීප හයක් පුරා රටවල් 48ක ක්‍රියාත්මකවන අතර, එහි සාමාජිකයින් සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවයි.

″උපායමාර්ගික සන්නිවේදන ක්ෂේත්‍රය තුළ විවිධ පාර්ශ්වකරුවන් සමඟ කටයුතු කිරීමේ අත්දැකීම් සමුදායක් ඇති Mark and Comm ආයතනය සමඟ මෙම සහයෝගීතාවට එළඹීමට හැකිවීම අපට මහත් සතුටක්. ඒ හරහා අපට ඉහළ මහජන අවධානයක් ලබාගැනීමට මෙන්ම අපගේ දැක්ම ඉදිරියට ගෙනයන සාමාජිකත්වයකින් සැදුම්ලත් සාර්ථක සංවිධානයක් ගොඩනැඟීමටත් අපට හැකිවනු ඇත″, යනුවෙන් Women in Tech සංවිධානයේ මෙරට ප්‍රධාන තානාපතිනි චතිනි උඩවන පැවසුවාය.

Women in Tech සංවිධානය ශ්‍රී ලංකාවට ගෙනඒමේ කාර්යභාරයට දැවැන්ත දායකත්වයක් ලබාදුන් තන්සිල් තජුඩීන් එම සංවිධානයේ නිර්මාතෘ සහ ගෝලීය ප්‍රධාන විධායක නිලධාරිනී අයුමි මූර් අඔකි සමඟ මාස කිහිපයක් පුරා මූලික සාකච්ඡා පැවැත්වූයේය. ශ්‍රී ලංකාව තුළ විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත ක්ෂේත්‍රයන්ට අදාළ කාන්තා නියෝජනය වර්ධනය කිරීමට තජුඩීන් මහතා අඛණ්ඩව ක්‍රියාකර තිබේ.

″විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත ක්ෂේත්‍රයන්හි දක්ෂතාව සහිත ඉහළ කාන්තා නියෝජනයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව සතුව විශාල විභවයක් පවතිනවා. එවන් පසුබිමක Women in Tech සංවිධානය සමඟ සහයෝගීතාවයෙන් විද්‍යා, තාක්ෂණ,ඉංජිනේරු සහ ගණිත අධ්‍යාපනය පිළිබඳ දැනුවත්භාවය වැඩිකිරීමටත්, අනාගත පරපුරට මාර්ගෝපදේශනය සැපයීමට සහ ධාරිතා නැංවීමටත් අවස්ථාව ලැබීම ගැන අපි සතුටට පත්වෙනවා. එමෙන්ම එම අරමුණ ළඟාකරගැනීමට අවශ්‍ය නිසි සංශෝධන සහ ක්‍රමවිධි පිළිබඳ සමාජය දැනුවත් කිරීමත් අපගේ අපේක්ෂාවක්″, යනුවෙන් Mark and Comm සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තන්සිල් තජුඩීන් මහතා ප්‍රකාශ කළේය.

2018 වසරේදී ආරම්භ වූ Women in Tech සවිධානය මේ වනවිට විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත ක්ෂේත්‍රයන්හි කාන්තා දායකත්වයට විශාල ශක්තියක් සපයයි. ලොව ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට දැවැන්ත ශක්තියක් සපයා ඇති Women in Tech සංවිධානය තිරසර සංවර්ධන ඉලක්කවලට ද අනුගතව ක්‍රියාකරයි. වැඩිදුර තොරතුරු සඳහා www.women-in-tech.org වෙබ් අඩවියට පිවිසෙන්න.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව