Uber, UNESCO සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්වී ගුරුවරුන් ඇතුළු පාසල් කාර්ය මණ්ඩලයට එන්නත්කරණය සඳහා ගමන් පහසුකම් සපයයි

image1

 




 

 

2021 සැප්තැම්බර් 08, කොළඹ: Uber, UNESCO සහ අධ්‍යාපන අමාත්‍යංශය එක්වී බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක වල පාසල් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ඇතුළු සියලුම අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් සඳහා එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත ගමන් වාර 25,000 ක් නොමිල් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. COVID-19 නොවන සෞඛ්‍ය අවශ්‍යතාවන් සඳහා වෛද්‍ය මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට වුවද මෙම ගමන් පහසුකම් භාවිතා කිරීමේ හැකියාව පවතී.

පහසුවෙන් භාවිතා කළ හැකි විශේෂ ප්‍රවර්ධන කේතයක් හරහා මෙම ගමන් පහසුකම් පිරිනැමීමට Uber කටයුතු යොදා ඇත. මේ යටතේ තමන්ට හිමි එන්නත් මාත්‍රා දෙක ලබාගැනීම සඳහා එන්නත් මධ්‍යස්ථාන වෙත යාමට සහ ඒමට ගමන් වාරයන් නොමිලේ ලබාගැනීමට අදාළ පුද්ගලයන්ට අවස්ථාව හිමි වේ. මෙම සහන ක්‍රමය යටතේ නොමිලේ ලබාදෙන ගමන් වාරයක උපරිම වටිනාකම රු. 300 ක් වන අතර, මෙම වැඩසටහන 2021 දෙසැම්බර් 31 දින දක්වා ක්‍රියාත්මක වනු ඇත.

COVID-19 හේතුවෙන් ලොව පුරා දරුදැරියන් බිලියන 1.6 කට අධික සංඛ්‍යාවකට 2020 වසරේ මාස ගණනාවක් පුරා පාසල් යාමට නොහැකි තත්ත්වයක් උදා විය. මෙම වසංගත රෝග තත්ත්වය හමුවේ ගුරුවරුන් මුහුණ දෙන අභියෝග සඳහා විසඳුම් ලබාදීමේ අවශ්‍යතාව මෙන්ම, විශේෂයෙන්ම අඩු පහසුකම්ලාභී ප්‍රජාවන්ට අයත් දරුවන් අධ්‍යාපනය සම්බන්ධයෙන් මුහුණ දෙන දුෂ්කරතා අවම කිරීම සඳහා නිසි නායකත්වය, නිර්මාණශීලීත්වය හා නවෝත්පාදනය ඔස්සේ විසඳුම් සොයාගැනීමේ වැදගත්කමද මේ වනවිට ලොවට අවබෝධ වී තිබේ.

ගුරුවරුන් ඇතුළුව පාසල් කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ට එන්නත් ලබාදීම මගින් පාසල් වඩාත් ඉක්මනින් විවෘත කිරීමට හැකියාව ලැබෙනු ඇත.

වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් UNESCO අධ්‍යක්ෂ සහ ශ්‍රී ලංකාව, භූතානය සහ මාලදිවයින සඳහා UNESCO නියෝජිත එරික් ෆෝල්ට් මහතා මෙසේ පැවසී ය. “Uber සමග මෙලෙස අත්වැල් බැඳගෙන, එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත ආරක්‍ෂිත ගමනාගමන පහසුකම් සැලසීමේ ජාත්‍යන්තර උත්සාහයට දායක වීමට හැකිවීම අපට මහත් සතුටක්. මෙම කාලෝචිත පියවර ඔස්සේ, දැනට පවතින COVID-19 රැල්ල පාලනය කිරීමට ශ්‍රී ලංකාව ගන්නා උත්සාහය තුළ, අධ්‍යාපන පද්ධතියට ඇතුළත් ගුරුවරුන් ඇතුළු අනෙකුත් සාමාජික සාමාජිකාවන්ට එන්නත්කරණයේදී ප්‍රමුඛත්වය ලබාදීමට අත්වැලක් වීමට අපට හැකියාව ලැබේවි. එමෙන්ම මෙය වඩාත් ඉක්මනින් පාසල් විවෘත කරමින් නැවතත් ‘සාමාන්‍ය ක්‍රමයට’ අධ්‍යාපනය ලබාදීම ආරම්භ කිරීමටත්, ගුරුවරුන් හා දරුවන් ඇතුළුව සියලුම දෙනාගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් මහෝපකාරී වනු ඇතැයි කියා අප සිතනවා.”

Uber South Asia සභාපති ප්‍රබ්ජීත් සිං මහතා අදහස් දැක්වූයේ මෙසේ ය. “UNESCO සමග ඇතිකරගත් ගෝලීය හවුල්කාරීත්වය මෙලෙස ශ්‍රී ලංකාවටත් ව්‍යාප්ත කිරීමට හැකිවීම අපට මහත් සතුටක්. මෙමගින් ගුරුවරුන් ඇතුළුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු වෙත එන්නත්කරණ මධ්‍යස්ථාන සහ අනෙකුත් සෞඛ්‍ය සේවා ආයතන වෙත ගමන් පහසුකම් සලසමින්, වඩාත් ඉක්මනින් පාසල් විවෘත කිරීමේ උත්සාහය සඳහා දායක වීමට අපට අවස්ථාව ලැබේවි.  එන්නත්කරණය සම්බන්ධයෙන් ඇති ප්‍රවාහන බාධාවන් ඉවත් කරමින්, ජීවිත බේරාගැනීමටත්, රට පෙරටත් වඩා ශක්තිමත් ලෙස නගාසිටුවීමටත් රජයට අත්වැලක් වීමට Uber කැපවී සිටිනවා.”

UNESCO ගෝලීය අධ්‍යාපන සන්ධානයේ (Global Education Coalition) සාමාජිකයෙකු ලෙස, COVID-19 ප්‍රථම රැල්ල අතරතුර UNESCO සහ එහි හවුල්කරුවන් සමග එක්වී අධ්‍යාපනයේ අයිතිය තහවුරු කිරීම සඳහා Uber කටයුතු කළේ ය. පසුගිය මාර්තු මාසයේදී ලොව පුරා ගුරුවරුන්ට එන්නත් ලබාගැනීමේදී ගමනාගමනය සම්බන්ධයෙන් ඇතිවන බාධාවන් ඉවත් කිරීම සඳහා UNESCO වෙත ගමන් වාර මිලියනයක් නොමිලේ ලබාදීමට Uber ප්‍රතිඥා දුන්නේ මෙහි ඉදිරි පියවරක් වශයෙනි. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සාමාජික සාමාජිකාවන් සඳහා ගමන් වාර 25,000 ක් නොමිලේ ලබාදීමද මෙම ප්‍රතිඥාව ඉටුකිරීමේ උත්සාහයේ එක් අදියරකි.

මෙම පියවර මගින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සාමාජික සාමාජිකාවන්ට නොමිලේ ගමන් පහසුකම් හිමිවීමට අමතරව, Uber රියදුරන්ට මෙම දුෂ්කර කාලපරිච්ඡේදයේදී වැඩි ආදායමක් ඉපයීමට අවස්ථාවක්ද උදාවනු ඇත.

 

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව