Uber ශ්‍රී ලංකාවේ සත්වැනි වසර සපුරයි: ගමන් වාර වල මුළු දුර කිලෝමීටර් මිලියන 55 පසුකරයි

uber 1 (LBN)

 



 

 

පෘථිවියේ සිට චන්ද්‍රයා වෙත වාර 725 ක් යාමට හා ඒමට සමාන දුර ප්‍රමාණයක්!

2022 දෙසැම්බර් 20, කොළඹ: Uber ශ්‍රී ලංකාවේ වසර 7 ක කාලයක් සම්පූර්ණ කිරීම නිමිත්තෙන් මෙතෙක් අත්කරගත් ප්‍රගතිය සම්බන්ධයෙන් විශේෂ වැදගත්කමකින් යුත් සංඛ්‍යාලේඛනමය තොරතුරු කිහිපයක් පසුගියදා අනාවරණය කළේ ය. එම වාර්තා වලට අනුව, ශ්‍රී ලංකාවේ Uber ගමන් වාර වල මුළු දුර කිලෝ මීටර් මිලියන 55 පසුකර ඇති අතර, මෙය පෘථිවියේ සිට චන්ද්‍රයා වෙත වාර 725 ක් යාමට හා ඒමට සමාන වේ.

මේ වනවිට රියදුරන් 150,000 කට අධික පිරිසක් Uber සමග අත්වැල් බැඳගෙන සිටින අතර, Uber සේවාවන් භාවිතා කර ඇති මගීන් සංඛ්‍යාව මිලියන 2 කට අධික ය. 2015 වසරේදී තම සේවාවන් මෙරටට හඳුන්වා දීමෙන් අනතුරුව ශ්‍රී ලාංකිකයන් ගමනාගමනයේ යෙදෙන ආකාරය පූර්ණ පෙරළියකට ලක්කිරීමට Uber සමත් වූ අතර, මේ වනවිට නගර අතර ගමන් කිරීම සඳහා ‘Intercity’ සේවාව, ස්ථාන කිහිපයක නවතිමින් පැය කිහිපයක් ගමනේ යෙදීම සඳහා ‘Rentals’ සේවාව, සහනදායී ලෙස ගමන් බිමන් යාම සඳහා ‘Tuk’ හා ‘Moto’ සේවාවන්, සහ පාර්සල් යැවීම සඳහා ‘Connect’ සේවාව වැනි විශේෂ සේවාවන් රැසක්ද හඳුන්වා දී ඇත.

මෙම සන්ධිස්ථානයක් සැමරීමක් වශයෙන්, තම සාර්ථකත්වයට දායක වූ රියදුරන් පිරිසක් ඇගයීමට ලක්කිරීමට Uber කටයුතු කළේ ය. ඒ අනුව Uber සේවාවට වැඩිම දායකත්වයක් ලබාදුන් රියදුරන් 7 දෙනෙකුට කුසලාන සහ රු, 35,000 ක් වටිනා තෑගි කට්ටලයක් බැගින් පිරිනමන ලදි.

“ශ්‍රී ලංකාවේ වසර 7 ක සේවා කාලයක් සම්පූර්ණ කිරීමට හැකි වීම පිළිබඳව අප ආඩම්බර වනවා. Uber මෙරට මගීන්ගේ සහ රියදුරන්ගේ ප්‍රියතම තේරීමක් බවට පත්වීම අපට මහත් සතුටක්. Uber දොරින් දොර කියවෙන නාමයක් බවට පත්කිරීම සඳහා අප සමග අත්වැල් බැඳගෙන සිටින රියදුරන් ඉටුකළ මෙහෙවර සුළුපටු නැහැ. ඉදිරියටත් නවීනතම තාක්ෂණයන් සමගින් විශිෂ්ටතම පහසුකම් හා සේවාවන් ශ්‍රී ලාංකිකයන් වෙත සමීප කරවීමට අප සූදානම්.” Uber Rides මෙරට ප්‍රධාන කළමනාකාරිනී තනුෂිකා සිවනාදන් මහත්මිය පැවසුවා ය.

මෙම රියදුරන් 7 දෙනා අතරට මෝටර් රථ රියදුරන් 3 දෙනෙකු, ත්‍රිරෝද රථ රියදුරන් 3 දෙනෙකු සහ එක් යතුරුපැදි ධාවකයෙකු ඇතුළත් විය.

ලලිත් පී. (මෝටර් රථ) – වසර 6 කට වැඩි කාලයක පටන් ලලිත් මහතා Uber සේවාව සමග එක්ව කටයුතු කරමින් සිටී. මේ වනවිට ඔහු ගමන් වාර 18,000 කට අධික සංඛ්‍යාවක් සම්පූර්ණ කර, 4.85 ක ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණයක් හිමිකරගෙන ඇත. පාරිභෝගිකයන් වෙත සපයන සේවාව වෙනුවෙන් ඔහු පාරිභෝගිකයන්ගෙන් නිතර පැසසුම් ලබන අතර, Uber වෙතින් ලැබෙන නම්‍යශීලී ආදායම් ඉපයීමේ අවස්ථාවන් පිළිබඳ ඔහු බෙහෙවින් තෘප්තිමත් ය.

නලින් එස්. (මෝටර් රථ) – Uber ශ්‍රී ලංකාව තුළ තම සේවාවන් දියත් කළ කාලයේ පටන්ම නලින් මහතා රියදුරෙකු ලෙස ඒ හා සම්බන්ධ වී කටයුතු කර ඇත. ගමන් වාර 16,500 කට වැඩි සංඛ්‍යාවක් සම්පූර්ණ කර ඇති ඔහු ලබා ඇති ශ්‍රේණිගත කිරීම් මට්ටම 4.93 කි. ඔහු Uber සමග සම්බන්ධ වන ලෙස අනෙක් රියදුරන්ද දිරිමත් කරන අතර, COVID-19 රෝග ව්‍යාප්තිය පැවති කාලය තුළ සමාගම ලබාදුන් සහයෝගය විශේෂයෙන් සිහිපත් කරයි. ඔහු පවසන ආකාරයට, තම රාජකාරි ජීවිතයේ ඔහු කැමතිම දෙය වන්නේ දිනපතා අලුත් පුද්ගලයන් මුණගැසීමට අවස්ථාව ලැබීම ය.

මංජුල එස්. (මෝටර් රථ) – මංජුල මහතා වසර 6 කට අධික කාලයක් තිස්සේ Uber සමග ධාවනයෙහි යෙදෙන රියදුරෙකි. ගමන් වාර 17,500 ක් සම්පූර්ණ කර ඇති ඔහුගේ ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 4.94 ක් වේ. මුලින්ම Uber සමග සම්බන්ධ වූ කාලයේ කුලී පදනම යටතේ ලබාගත් මෝටර් රථයක් භාවිතා කළ ඔහු පසුව Uber සේවාවන්ගෙන් ලැබූ ආදායමෙන් මෝටර් රථයක් මිලදී ගැනීමට සමත් විය. මගීන්ගේ ලැබෙන ගෞරවය තමන් වැඩියෙන්ම ප්‍රියකරන දෙය බව ඔහු පවසයි.

මුරුගන් එස්. (ත්‍රිරෝද රථ) – වසර 4 ක කාලයක් තිස්සේ Uber සේවාව තුළ ධාවනයේ යෙදෙන මුරුගන් මහතා ගමන් වාර 19,500 ක් සම්පූර්ණ කර 4.93 ක ශ්‍රේණිගත ලකුණු මට්ටමක් ලබා ඇත. Uber සේවාවන් ඔස්සේ ලැබූ ආදායම තුළින් මූල්‍ය ස්වාධීනත්වය ළඟා කරගත් ඔහු දැන් නිතිපතා, තම ගම් ප්‍රදේශයේ වෙසෙන තම පවුලේ සාමාජිකයන් වෙත මුදල් යවයි.

සුසන්ත ඩී. (ත්‍රිරෝද රථ) – වසර 4 කට අධික කාලයක් තුළ Uber ගමන් වාර 18,500 කට අධික සංඛ්‍යාවක් සම්පූර්ණ කර ඇති සුසන්ත මහතා හිමිකරගෙන ඇති ශ්‍රේණිගත ලකුණු මට්ටම 4,98 කි. මුල් කාලීනව සතියේ දින කිහිපයක් පමණක් ධාවනයෙහි යෙදුණු ඔහු දැන් සෑම දිනකම Uber වෙනුවෙන් තම ත්‍රිරෝද රථය ධාවනය කරයි. Uber නිතිපතා ලබාදෙන සහයෝගය මෙන්ම, ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන සමාගම සිදුකළ පරිත්‍යාගයන්ද ඔහු බෙහෙවින් අගය කරයි. මෝටර් රථයක්, ත්‍රිරෝද රථයක් හෝ යතුරුපැදියක් සමග සමාර්ට් දුරකථනයක් හිමි ඕනෑම අයෙකු Uber සමග සම්බන්ධ වීම පිළිබඳව සලකා බැලිය යුතු බව ඔහුගේ අදහස වේ.

සංජීව ඩී. (ත්‍රිරෝද රථ) – වසර තුනහමාරක කාලයක් පුරා Uber සමග ධාවනයේ යෙදෙන සංජීව සම්පූර්ණ කර ඇති ගමන් වාර සංඛ්‍යාව 19.500 කට අධික වන අතර ඔහුට හිමි ශ්‍රේණිය 4.95 කි. දුෂ්කර අවස්ථා වලදී තමන් වෙත ලබාදුන් සහයෝගය නිසා ඔහු Uber සම්බන්ධයෙන් බෙහෙවින් පැහැදී සිටී. COVID-19 රෝග ව්‍යාප්තිය පැවති කාලයේදී Uber කුලී ගමන් යාමට නොහැකි වූ විට ඔහු Uber Eats වෙත යොමු වූ අතර, මම සේවාවන්හි නම්‍යශීලීත්වය ඔහු බෙහෙවින් අගය කරයි.

රිස්වි එම්. (යතුරුපැදි) – UberMoto සේවාව ආරම්භ වූ කාලයේ පටන්ම රිස්වි මහතා Uber සමග එක්ව ධාවනයේ යෙදී තිබේ. ගමන් වාර 7,000 කට අධික සංඛ්‍යාවක් සම්පූර්ණ කර ඇති ඔහු හිමිකරගෙන ඇති ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 4.92 කි. Uber සේවාවේ නම්‍යශීලීත්වය සහ කිසිවෙකුටත් යටත් නොවී ජීවනෝපාය මාර්ගයක යෙදීමට අවස්ථාව ලැබීම නිසා ඔහු Uber අතිශයින් ප්‍රියකරයි. නම්‍යශීලීත්වය, භාවිතා කිරීමේ පහසුව සහ තිරසාර ලෙස ආදායම් ඉපයීමේ හැකියාව යනාදිය නිසා ගින් දිගටම Uber සමග එක්ව ධාවනයේ යෙදීම ඔහුගේ බලාපොරොත්තුව වී තිබේ

එක්සත් රාජධානිය පදනම් කරගත් සමීක්ෂණ සමාගමක් වන Public First මගින් මෑතකදී සිදුකරන ලද සමීක්ෂණයකින් පෙනී ගියේ, ශ්‍රී ලාංකික මගීන් අතරින් 91% ක්ම, Uber භාවිතා කිරීමේදී වඩාත්ම වැදගත් සාධකය ලෙස සලකන්නේ එමගින් ලැබෙන පහසුව බවයි. Uber නිසා මගීන්ට වසරකට පැය මිලියන 3.7 ක තරම් කාලයක් ඉතිරි වන බවට ගණන් බලා ඇත.

පසුගිය දශකය තුළ ශ්‍රී ලංකාව ප්‍රවාහනය සම්බන්ධයෙන් අත්විඳි දැවැන්තම පෙරළිය වන්නේ Ridesharing ක්‍රමවේදයයි. 2021 වසරේදී පමණක් Uber මෙරට ආර්ථිකය වෙනුවෙන් නිර්මාණය කළ වටිනාකම රු. බිලියන 81 ක් පමණ වේ. මීට Uber සමග එක්ව ධාවනයේ යෙදෙන්නෙන් උපයන මුදල් මෙන්ම, සමාගමේ ව්‍යාපාරික කටයුතු සමග සම්බන්ධ වන අනෙකුත් පාර්ශ්වයන්ගේ ආර්ථික ක්‍රියාකාරකම්ද ඇතුළත් වී තිබේ.

ශ්‍රී ලංකාවේ Ridesharing ක්‍රමවේදයේ පුරෝගාමියෙකු වන Uber, මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් විශේෂාංග රැසක්ද හඳුන්වා දී ඇත. ‘Share my trip’ ඔස්සේ මගීන්ගේ GSP location වෙනත් පුද්ගලයන් වෙත දැන්වීමට අවස්ථාව සලසා දීම, ‘RideCheck’ ඔස්සේ ගමන් වල අසාමාන්‍යතා හඳුනා ගැනීම, පෞද්ගලිකත්වය ආරක්ෂා කරගැනීම සඳහා ‘phone anonymization’ හරහා පෞද්ගලික දුරකථන අංක  ආවරණය කිරීම සහ, ‘split fare’ ඔස්සේ ගමන් ගාස්තුව බෙදාගැනීමට මගීන්ට අවස්ථාව සලසා දීම ආදිය ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − 11 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව