
ජනාධිපති අපනයන සම්මාන උළෙලකදී ‘වසරේ විශිෂ්ටතම අගය එකතු කළ අපනයනකරු’ සම්මානය දිනූ ප්‍රථම සේවා සමාගම බවටද පත්වෙයි.
පසුගියදා පැවති 2023/24 ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී, Sysco LABS ජාතික ආර්ථිකයට ලබාදෙන අඛණ්ඩ දායකත්වය වෙනුවෙන් එම සමාගමට ‘වසරේ තොරතුරු හා සන්නිවේදන සේවා අපනයනකරු’ සම්මානය හිමි විය. මීට අමතරව තමන්ට මෙන්ම සමස්ත තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයටම සුවිශේෂී වූ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ‘වසරේ විශිෂ්ටතම අගය එකතු කළ අපනයනකරු’ සම්මානය හිමිකර ගැනීමටද Sysco LABS සමාගමට හැකියාව ලැබිණි. මෙම සම්මානය ශ්‍රී ලංකාවේ සේවා අපනයන සමාගමක් වෙත හිමි වූ ප්‍රථම අවස්ථාව මෙයයි.
ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද 26 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙල 2025 පෙබරවාරි 07 දින බණ්ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්විණි. ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවණීය අපනයන සම්මාන උළෙල ලෙස සැලකෙන මෙය, අපනයනකරුවන්ගේ කාර්යසාධනය මෙන්ම ඔවුන්ගෙන් රටේ ආර්ථිකයට ලැබෙන දායකත්වය ඇගයීම සඳහා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකරයි.
“වසරේ විශිෂ්ටතම අගය එකතු කළ අපනයනකරු සම්මානය මෙන්ම අඛණ්ඩව තුන්වන වරටත් වසරේ තොරතුරු හා සන්නිවේදන සේවා අපනයනකරු සම්මානය හිමි වීම අපට මහත් සතුටක්. Sysco සමාගමේ ඩිජිටල් පරිවර්තනයට මහෝපකාරී වන විසඳුම් ලබා දීම සඳහා ලෝක මට්ටමේ ප්‍රමිතීන්ට අනුකූලව අඛණ්ඩව තම රාජකාරිය ඉටුකරන අපගේ කණ්ඩායමේ සියලුම දෙනාගේ කැපවීම හා කාර්යසාධනය මෙම ජයග්‍රහණය මගින් මැනැවින් පිළිබිඹු වනවා. මේ ආකාරයට ශ්‍රී ලංකාවේ තාක්ෂණික ක්ෂේත්‍රයේ සහ ආර්ථිකයේ දියුණුව වෙනුවෙන් දායක වීමට හැකි වීම අපට මහත් ගෞරවයක්.” Sysco LABS Sri Lanka කළමනාකාර අධ්‍යක්ෂ රසික කරුණාතිලක මහතා පැවසී ය.
වසරේ අපනයනකරු සම්මානය පිරිනැමීමේදී Sysco LABS සමාගම කෘත්‍රිම බුද්ධි (AI) සහ යන්ත්‍ර ඉගෙනුම් (Machine Learning) තාක්ෂණයන් භාවිතා කරන ආකාරය මෙන්ම එහි මානව සම්පත්, ඉගෙනුම් හා සංවර්ධන ක්‍රමවේදයන්, තිරසාරත්වය, ආයතනික ප්‍රජා සත්කාර සහ පර්යේෂණ හා සංවර්ධන කටයුතු ඇතුළු අංශ රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු විය. එමෙන්ම වසරේ විශිෂ්ටතම අගය එකතු කළ අපනයනකරු සම්මානය හිමි වීම යනු, Sysco හි Global In-House මධ්‍යස්ථානය වන Sysco LABS සමාගම සිය මවු සමාගමේ ගෝලීය ව්‍යාපාරික මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා නවෝත්පාදන හැකියාවන් සාර්ථක ලෙස භාවිතා කරන බවට මනා සාක්ෂියකි.
“Sysco LABS Sri Lanka සෑම විටම සිය ගෝලීය පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතාවන් හා අපේක්ෂාවන් සපුරාලන ආකාරයට උසස්ම ප්‍රමිතියකින් යුතුව සේවා සම්පාදනය හා නවෝත්පාදනය සිදුකරනවා. දැනුම හුවමාරු කරගැනීම, වැඩිදියුණු කිරීම සහ සමාජ යහපත ඉලක්ක කරගත් අපගේ විවිධාකාර වූ වැඩසටහන් හරහා තාක්ෂණික හා අධ්‍යාපන ක්ෂේත්‍රයන්ට මෙන්ම ප්‍රජාවන්ට වටිනාකමක් එක් කිරීමට තම කාලය කැප කරන අපගේ සාමාජික සාමාජිකාවන් සියලුම දෙනා අපට ආඩම්බරයක්. මේ සාර්ථකත්වය ඔස්සේ ඉදිරියටම ගමන් කරමින් අඛණ්ඩව රටේ අපනයන ආදායම ඉහළ නැංවීමට දායක වන අතරම ආයතනික පුරවැසියෙකු ලෙස අපගේ වගකීම් ඉටුකරලීම අපගේ අරමුණයි.” රසික කරුණාතිලක මහතා වැඩිදුරටත් පැවසී ය.