Star Garments සමූහය ජාතික අපනයන සම්මාන උළෙලේදී රනින් බැබළෙයි

1- Star gold award (LBN)

ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ දැවැන්තයෙකු මෙන්ම කාබන් ශූන්‍යතා සහතිකලත් මෙරට එකම ඇඟලුම් කර්මාන්තශාලා ජාලයවන Star Garments සමූහය, පසුගියදා පැවැති 32 වැනි ජාතික අපනයනය වාණිජ මණ්ඩල සම්මාන උළෙලේදී මහා පරිමාණ කාණ්ඩය යටතේ රෙදිපිළි සහ ඇඟලුම් අංශයේ රන් සම්මානය දිනාගැනීමට සමත්විය.

ජාතික අපනයන වාණිජ මණ්ඩලය වාර්ෂිකව සංවිධානය කරන මෙම සම්මාන උළෙලේ මෙවර තේමාව වූයේ, ‘නවෝත්පාදනය සහ ඩිජිටල්කරණය වැළඳගැනීම‘ ය. සම්මාන ප්‍රදානෝත්සවය දෙසැම්බර් 6 වැනිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වුණී.
 



 
2023 වසරේදී ගෝලීය වෙළෙඳපොළ තුළ සිදුවූ විවිධ වෙනස්වීම් හමුවේ මතුවුණු නොයෙක් අභියෝග මධ්‍යයේ Star Garments සමූහය මෙවන් ජයග්‍රහණයක් අත්කරගැනීම විශේෂයෙන් කැපීපෙනේ. එහිදී අභියෝග හමුවේ වුව ද ශ්‍රී ලංකාව තුළ තම ආයෝජන තවත් පුළුල් කළ Star Garments සමූහය, කොළොන්න මැනුෆැක්චරින් පුද්ගලික සමාගම මිලදීගැනීමත් සමඟ මෙරට තුළ සිය ඇඟලුම් කර්මාන්තශාලා ජාලය 12ක් දක්වා වර්ධනය කරගැනීමට සමත්විය.

ආචාරධාර්මික සහ ඉහළ ගුණාත්මකභාවයකින් යුතු ඇඟලුම් නිෂ්පාදන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කරමින් ලොව සුප්‍රකට සන්නාම රැසක් වෙනුවෙන් Star Garments තම ඇඟලුම් අපනයන සිදුකරයි. 2023 වසරේදී ශ්‍රී ලංකාව ඇඟලුම් අපනයන තුළින් ඩොලර් බිලියන 4.5කට වැඩි අපනයන ආදායමක් උපයාගත් අතර, ඉන් දැවැන්ත පංගුවක හිමිකාරීත්වය Star Garments සමූහය සතුය.

දිවයින පුරා විසිරුණු කර්මාන්තශාලා 12කින් සමන්විත Star Garments සමූහය, දස දහසකට වැඩි පිරිසකට රැකියා අවස්ථා ද හිමිකරදී තිබේ. මේ අනුව, මාසයකට ඇඟලුම් නිෂ්පාදන මිලියන 1.6ක් පමණ නිෂ්පාදනය කිරීමේ ධාරිතාව සමූහය සතු ය. තව ද, අන්තර්ජාතික මූල්‍ය සංස්ථාවේ අනුග්‍රහය යටතේ බටහිර අප්‍රිකානු ටෝගෝ කලාපය තුළ ද මහා පරිමාණ ඇඟලුම් කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට Star Garments සමූහය සැලසුම් සකස් කර තිබේ.

සූර්ය බලශක්ති භාවිතය සහ අපද්‍රව්‍ය බලශක්තිය බවට පරිවර්තනය කිරීමේ තාක්ෂණය යොදාගනිමින් තම සියලු කර්මාන්තශාලා ආශ්‍රිතව කාබන් ශූන්‍යතාව ළඟාකරගැනීමට ද Star Garments සමූහය සමත්ව සිටියි. කටුනායක පිහිටි එහි නවෝත්පාදන මධ්‍යස්ථානය, සමස්ත දකුණු සහ අග්නිදිග ආසියානු කලාපයේම LEED version 4 සහතිකය යටතේ ‘Passive House Design’ තත්ත්වය හිමිකරගත් එකම ගොඩනැගිල්ල වීම ද තවත් විශේෂත්වයකි. තිරසර ඇඟලුම් කර්මාන්තයක් වෙනුවෙන් ගෝලීය පුරෝගාමීත්වයක් වෙනුවෙන් Star Garments සමූහයේ කැපවීම ඉන් මනාව පිළිබිඹු වේ.

ඇඟලුම් නිෂ්පාදනය වෙනුවෙන් සමූහය භාවිත කරන නවීන තාක්ෂණය හේතුවෙන් අමුද්‍රව්‍ය නාස්තිය අවම වී ඇති අතර, ඇඟලුම් නිෂ්පාදන චක්‍රය සියයට 30කින් පමණ අඩු කරගැනීමට ද හැකිවී තිබේ. වඩාත් පරිසර හිතකාමී සහ අවශ්‍යතාව ප්‍රමුඛ කරගත් ඇඟලුම් නිෂ්පාදන කෙරෙහි උනන්දු නව පාරිභෝගිකයින් ආකර්ෂණය කරගැනීමට ද එමගින් හැකිවී තිබේ. තව ද සමූහයේ පර්යේෂණ සහ සංවර්ධන අංශය මගින් ස්වභාවිකව දිරාපත්වන ඇඟලුම් ලේබල් නිෂ්පාදනය කිරීමට මෙන්ම පරිසර හිතකාමී ඇඟලුම් වර්ණ ගැන්වීමේ තාක්ෂණ විධි ක්‍රම භාවිත කිරීමට ද පියවර ගෙන තිබේ.

Komar සමූහයට අයත් Star Garments සමූහයේ අභිප්‍රාය වන්නේ කලාපයේ සෙසු ඇඟලුම් නිෂ්පාදකයින්ට සාපේක්ෂව ඉහළ වටිනාකම් පෙළක් සමඟින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන වර්ධනය කිරීමයි. ඊට සමගාමීව පාරිසරික, සමාජ සහ ආර්ථික ප්‍රතිලාභ ශ්‍රී ලාංකික ජන සමාජය වෙත සමීප කිරීමේ අදිටනින් කඩොලාන සංරක්ෂණය ඇතුළු විවිධ ආයතනික සමාජ සත්කාර ව්‍යාපෘති ද Star Garments සමූහය ක්‍රියාවට නංවා තිබේ. Great Place to Work ශ්‍රේණිගත කිරීම යටතේ ශ්‍රී ලංකාවේ කර්මාන්ත අංශ ආයතන අතරින් සේවය කිරීමට සුදුසුම ආයතන අතරට ද සමාගම දිගින් දිගටම නම් වී ඇත. මේ අනුව, ශ්‍රී ලංකාව තුළත් ජාත්‍යන්තර වශයෙනුත් අඛණ්ඩව වර්ධනය වීමේ තිරසර සැලැස්මක් Star Garments සතු ය.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව