
මුහුදු බෙල්ලා යනු ශ්‍රී ලංකාවේ වෙරළ තීරවල සුන්දරත්වය මැනැවින් පිළිබිඹු කරන ස්වභාවධර්මයේ වර්ණවත් නිර්මාණයකි. ඒ මනස්කාන්ත නිර්මාණය මෙවර, එනම් 2026 වසරේ SLT‑MOBITEL දින දර්ශනයේ තේමාව බවට පත් වී තිබේ. ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වශයෙන් ශ්‍රී ලංකාවේ ස්වාභාවික උරුමයන් ආරක්ෂා කිරීමට කැප වී සිටින SLT-MOBITEL රටේ සමුද්‍ර පරිසර පද්ධතිවල සුවිශේෂීත්වය ලොවට පෙන්වා දීමට සෑම විටම උත්සාහ කරයි. ‘Seashells of Sri Lanka’ යන තේමාව යටතේ SLT-MOBITEL සිය නවතම දින දර්ශනය එළිදක්වා ඇත්තේ එම කැපවීමෙහි තවත් පියවරක් වශයෙනි.
දශක දෙකකට අධික කාලයක් තිස්සේ SLT‑MOBITEL මේ ආකාරයට රටේ පාරිසරික හා සංස්කෘතික උරුමයන් සිය දින දර්ශනයට ඇතුළත් කරමින්, එම උරුමයන්හි වැදගත්කම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ. මෙවැනි පියවර ඔස්සේ දේශීය උරුමයන්හි සැබෑ අගය හඳුනා ගැනීමට සහ එම උරුමයන් ආරක්ෂා කිරීමට ජනතාව යොමු කරවමින්, පරිසරය සම්බන්ධයෙන් තමන් සතු යුතුකම් හා වගකීම් මැනැවින් ඉටුකිරීමට සමාගම සෑම විටම උත්සාහ දරයි.
සාගර මොලුස්කාවන් (Marine Molluscs) ගේ පිටත සැකිල්ල ඉතා ඈත අතීතයේ පටන් මිනිසුන්ගේ ආකර්ෂණයට ලක් වී තිබේ. ඒවා විසිතුරු නිර්මාණ සඳහා මෙන්ම මුදල්වලට ආදේශකයක් ලෙසද යොදාගත් බවට ඓතිහාසික සාක්ෂි ඇත. මෑත කාලයේදී සුරතල් මසුන් කර්මාන්තය සහ මුහුදු බෙල්ලන්ගෙන් සිදුකරන කලාත්මක නිර්මාණ ආදිය නිසා මේවාට ඉහළ ඉල්ලුමක් ඇති වී තිබේ.
සංස්කෘතික හා ආර්ථික ප්‍රයෝජනවලට අමතරව සාගර මොලුස්කාවන්ගෙන් වැදගත් පාරිසරික කාර්යභාරයක් ඉටු වේ. වෙරළ තීරයන්හි සහ ගල්පරවල වාසය කරන මුහුදු බෙල්ලෝ කුඩා මුහුදු සත්ත්වයන් සහ මුහුදු පැලෑටි ආහාරයට ගනිති. මට්ටි හෙවත් මුහුදු බෙල්ලන් සාගර ජලයෙන් ප්ලවාංග පෙරා ඉවත් කරයි. මෙම ජීවීහු තවත් සත්ත්ව වර්ග විශාල සංඛ්‍යාවක් සඳහා නවාතැන්, ආහාර සහ වාසස්ථාන සපයමින්, සාගර පද්ධතිවල සියුම් සමතුලිතතාව ආරක්ෂා කරමින්, එම පරිසර පද්ධති පවත්වා ගෙන යාම සඳහා සුවිශාල කාර්යභාරයක් ඉටුකරති.
SLT‑MOBITEL 2026 දින දර්ශනයෙහි අතිශය කලාත්මකව නිරූපණය කර ඇති මුහුදු බෙල්ලන්, ස්වභාවධර්මය සමඟ පවතින සහසම්බන්ධතාවන් අලුත් කිරීම හා රැකගැනීම සංකේතවත් කරයි. එමෙන්ම එය රටේ ජෛව විවිධත්වයේ අගය ජනතාවට පෙන්වා දෙමින් එය රැකගැනීම ඔවුන්ගේ වගකීමක් බව අවධාරණය කරයි.
මෙය පාරිසරික දැනුවත්භාවය සම්බන්ධයෙන් SLT‑MOBITEL සතු කැපවීමෙහි කලාත්මක පිළිබිඹුවක් ලෙසද හැඳින්විය හැකි වේ. එය මුහුදු බෙල්ලන්ගේ සුන්දරත්වය සහ පාරිසරික වැදගත්කම මෙන්ම, සාගර ජීවීන්ගේ වාසස්ථානයන් විනාශ වීම, සාගර දූෂණය සහ පමණ ඉක්මවා මුහුදු බෙල්ලන් එකතු කිරීම ආදිය මඟින් ඇති වන හානිකර බලපෑම් අවම කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරනු ඇත. දැනටමත් Gastropod ගොලුබෙල්ලන් වර්ග 12 ක් සහ Bivalve මුහුදු බෙල්ලන් ශ්‍රී ලංකාවේ නීතිය යටතේ සංරක්ෂිත ජීවීන් ලෙස නම් කර තිබේ.
ශ්‍රී ලංකාවේ මුහුදු බෙල්ලන් තවමත් ප්‍රමාණවත් අධ්‍යයනයකට ලක් වී නොමැත. මෙම ජීවීන් කාණ්ඩ 73 ක Gastropod විශේෂ 494 ක් ලේඛනගත කරන ලද ඇස්තමේන්තුගත පිරික්සුම් ලැයිස්තුවක් 2020 දී ප්‍රකාශයට පත් කරන ලද නමුත් එය අවම ගණනයක් ලෙස සැලකේ. මෙවැනි තත්ත්වයක් යටතේ, සිය 2026 දින දර්ශනය මඟින් මෙම විවිධත්වයෙන් අනූන සහ අවදානමට ලක් වීමට බොහෝ සෙයින් ඉඩ ඇති සමුද්‍ර උරුමය පිළිබව ජනතාව වැඩි වැඩියෙන් දැනුවත් කිරීම SLT‑MOBITEL හි ඉලක්කය වී ඇත.
සමුද්‍ර ස්වභාව විද්‍යාඥයෙකු සහ MBChB (බ්‍රිස්ටල්) උපාධිධාරියෙකු මෙන්ම ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමයේ (Wildlife and Nature Protection Society) සමුද්‍රීය උපකමිටුවේ සාමාජිකයෙකු වන ආචාර්ය මලික් ප්‍රනාන්දුගේ මඟපෙන්වීම යටතේ පුලස්ති එදිරිවීර සහ නලින් ජයරත්න යන කලාකරුවන් විසින් නිර්මිත ආකර්ෂණීය සිතුවම් පෙළක් SLT-MOBITEL 2026 දින දර්ශනයට ඇතුළත් වී තිබේ. එහි පිටු සැකසුම සිදුකරන ලද්දේ සංජීවන් සත්‍යජිත් විසිනි. මෙහි එක් එක් මාසවලට අයත් පිටු මඟින් ශ්‍රී ලංකාවේ මුහුදු බෙල්ලන්ගේ අපූර්වත්වය සහ විවිධත්වය මැනැවින් නිරූපණය වන අතර, එය මුහුදු බෙල්ලන්ගේ ලෝකයේ විස්මිත තතු ගවේෂණය කිරීමට සැමට ආරාධනා කරයි.
සාගර පර්යේෂණ සහ සංරක්ෂණ කටයුතු සඳහා SLT-MOBITEL ලබාදෙන පුළුල් සහයෝගය මඟින් මෙම දින දර්ශනයේ අධ්‍යාපනික මෙහෙවර තවදුරටත් ශක්තිමත් වේ. මීට පෙර SLT-MOBITEL විසින් සිය 2024 දින දර්ශනය ඔස්සේ මෙරට කඩොලාන ශාකවල වැදගත්කම පෙන්වා දෙන ලද අතර, තිරසාරත්වය පිළිබඳව ජනතාව දැනුවත් කරමින් ඒ සඳහා ප්‍රායෝගික මැදිහත් වීම් සිදුකිරීමේ වැදගත්කම පිළිබඳ සංවාදයකට මුලපිරීම එහි අරමුණ විය.
පරිසරයේ යහපත වෙනුවෙන් සිදු කරනු ලබන මෙම අඛණ්ඩ ක්‍රියාකාරකම් මාලාවෙහි කොටසක් වශයෙන් ඉදිරියේදී කඩොලාන ප්‍රතිසංස්කරණය සහ සංරක්ෂණය සම්බන්ධ පර්යේෂණ කටයුතු සිදුකරන විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට ශිෂ්‍යත්ව පිරිනැමීම ඇතුළු ප්‍රජා වැඩසටහන් රාශියක් ක්‍රියාවට නැංවීමට SLT-MOBITEL සැලසුම් කර තිබේ. මෙබඳු ප්‍රයත්නයන් හේතුවෙන් මෙරට තුළ දැනුම් හුවමාරුව, සංරක්ෂණය සහ සවිබල ගැන්වීම සම්බන්ධ අඛණ්ඩ ක්‍රියාදාමයක් නිර්මාණය වී ඇති අතර, ඒ ඔස්සේ වර්තමානයේදී ශ්‍රී ලංකාවේ සරුසාර ස්වභාවික උරුමය සුරකින අතරම අනාගතයේදී පාරිසරික සංරක්ෂණ මෙහෙවරට උරදෙන භාරකරුවන් පිරිසක් නිර්මාණය කිරීමට සහ දැනුමින් හා අත්දැකීම් තුළින් ඔවුන් පෝෂණය කිරීමට හැකි වී ඇත.
මෙවැනි පරිසර හිතකාමී ප්‍රයත්නයන් තුළින් නවෝත්පාදනය සහ පාරිසරික සහජීවනය සංකේතවත් කරමින්, ශ්‍රී ලංකාවේ ස්වභාවික උරුමයන් සංරක්ෂණය, තිරසාරත්වය සහ ජාතික අභිමානය ප්‍රවර්ධනය කිරීම සඳහා අඛණ්ඩව දායක වීම SLT-MOBITEL හි අරමුණ වී තිබේ.
දින දර්ශනයේ සෑම මාසයකටම අදාළව එක් මුහුදු බෙල්ලන් විශේෂයක සිතුවමක් සහ, එම මුහුදු බෙල්ලන් පිළිබඳ අසිරිමත් විද්‍යාත්මක තොරතුරු රැසක් දක්වා ඇත. මෙම විද්‍යාත්මක තොරතුරු සිතුවම්වල පසුපස සඳහන් කර තිබේ. Rose Branch Murex (ජනවාරි), Major Harp (පෙබරවාරි), Map Cowrie (මාර්තු), Winding Stair Shell (අප්‍රේල්), Geography Cone (මැයි), Persian Horse Conch (ජූනි), Reticulated Olive (ජූලි), Perry’s Triton (අගෝස්තු), Triton’s Trumpet (සැප්තැම්බර්), Red-Mouth Frog Shell (ඔක්තෝබර්), Clover’s Lyria (නොවැම්බර්) සහ Bull-Mouth Helmet Shell (දෙසැම්බර්) යන මුහුදු බෙල්ලන් වර්ග මෙලෙස මෙම දින දර්ශනයට ඇතුළත් කර ඇත. මෙය වසර පුරාම ශ්‍රී ලංකාවේ මනස්කාන්ත සමුද්‍රීය පාරිසරික උරුමය ඇගයීමට හා ඒ පිළිබඳව දැනුවත් වීමට ජනතාවට ලැබෙන මහඟු අවස්ථාවකි.


