අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ මගපෙන්වීම යටතේ ‘‘DIGIECON 2030’ – Sri Lanka Digital Framework 2030” ප්‍රදර්ශනය පැවැත්වීමට තාක්ෂණ අමාත්‍යාංශය මේ වනවිට සැලසුම් කර තිබේ. මෙය ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමන වේගවත් කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර ප්‍රදර්ශනයකි.
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, තාක්ෂණ අමාත්‍යාංශය ඇතුළු අනෙකුත් හවුල්කරුවන් සමග එක්ව බලගන්වන මෙම ප්‍රදර්ශනය 2023 ඔක්තෝබර් මස මැද සිට 2023 නොවැම්බර් මස මැද දක්වා පැවැත්වෙනු ඇත. ජාත්‍යන්තර සම්මන්ත්රණ, සමුළු හා ප්‍රදර්ශන ඉසව් ඇතුළත් වන DIGIECON 2030 තුළදී විවිධ ක්ෂේත්රවලට අදාළ නවතම තාක්ෂණික ප්රවණතා ප්‍රදර්ශනය කෙරේ.
DIGIECON 2030 හි ප්‍රධානතම අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් ප්‍රතිපත්තිමය රාමුව පිළියෙල කර ප්‍රකාශයට පත්කිරීම ය. මීට අමතරව දේශීය කර්මාන්තකරුවන්ට ගෝලීය තාක්ෂණයන් පිළිබඳ නවතම තොරතුරු ලබාදීම, ශ්‍රී ලංකාවේ නිෂ්පාදකයින්ට ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත පිවිසීමට ඇති අවස්ථා පුළුල් කිරීම, ශ්‍රී ලංකාව තුළ උසස් තාක්ෂණික නිෂ්පාදන කර්මාන්ත ආරම්භ කිරීම, සෘජු විදේශ ආයෝජන අවස්ථා ආකර්ෂණය කරගැනීම, ශ්‍රී ලංකාව නිෂ්පාදන හා සේවා අපනයන මධ්‍යස්ථානයක් බවට පත් කිරීම, දේශීය කර්මාන්ත සඳහා නවතම ජාත්‍යන්තර ක්‍රමවේදයන් හඳුන්වා දීම, ගෝලීය කර්මාන්ත සමග සමීප සම්බන්ධතා ගොඩනංවාගැනීම, තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීම සහ නවතම 4.0 තාක්ෂණික ප්රවණතා ඔස්සේ ශ්‍රී ලංකා ඩිජිටල් ආර්ථිකයක් කරා යන ගමන වේගවත් කිරීම එහි අනෙකුත් ඉලක්ක වේ.
මෙහි සමාරම්භක උළෙල පසුගියදා අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, තානාපතිවරුන්, කැබිනට් අමාත්‍යවරුන්, ලේකම්වරුන්, රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, කර්මාන්ත ප්‍රමුඛයන්, සංවර්ධන නියෝජිතායතනවල නියෝජිතයන්, දේශීය හා ජාත්‍යන්තර ව්‍යාපාර නියෝජිතයන්, විද්වතුන්, පර්යේෂකයන්, ආයෝජකයන්, ව්‍යවසායකයන් සහ ජනමාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක්ද ඊට සහභාගී වූහ.
ආර්ථිකයේ සංවර්ධනය මෙන්ම ජනතාවගේ සුභසාධනය වෙනුවෙන් ඩිජිටල් අන්තර්කරණය අතිශයින් වැදගත් බව, ශ්‍රී ලංකා රජයේ ජාතික ඩිජිටල් සහකරු වන SLT-MOBITEL හොඳින් අවබෝධ කරගෙන සිටී.
DIGIECON 2030 ප්‍රදර්ශනය, ලොව නවතම තාක්ෂණික ප්රවණතා සහ එම ප්රවණතා තුළින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ඉදිරි ගමනට ඇතිවන සාධනීය බලපෑම් සාකච්ඡා කිරීම සඳහා අගනා වේදිකාවක් බවට පත්වනු නිසැක ය.