SLT-MOBITEL 2025 පළමු කාර්තුවේදී ප්‍රගතියේ භූමිකාව යළි තහවුරු කරයි

Image - Dr. Mothilal de Silva, Chairman of SLT-MOBITEL

 ක්‍රමෝපායික පුනර්ජීවනයක සලකුණු මැනැවින් පිළිබිඹු කරමින් 2025 ප්‍රථම කාර්තුව තුළ තම මූල්‍ය ප්‍රතිඵල පූර්ණ පරිවර්තනයකට ලක්කර ගැනීමට SLT-MOBITEL සමත් වී තිබේ. එම කාර්තුව තුළ සමූහයේ බදු පසු ලාභය රු. මිලියන 2,001 ක් වූ අතර, මෙය 2024 වසරේ පළමු කාර්තුවේදී වාර්තා වූ රු. මිලියන 156 ට සාපේක්ෂව දැවැන්ත වර්ධනයකි. මෙය සමාගමේ මෙහෙයුම්වල ඔරොත්තු දීමේ හැකියාවට මනා උදාහරණයක් වන අතරම, ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය බලගන්වන ජාතික සම්පතක් ලෙස සමාගම ඉටුකරන භූමිකාව තවදුරටත් තහවුරු කරන සාධකයක්ද වේ.
 



 

“මෙය හුදෙක් මූල්‍යමය සන්ධිස්ථානයක් පමණක් නොවෙයි. මෙය ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය තුළ අභියෝගවලට මුහුණ දිය හැකි සහ කිසිසේත්ම බැහැර කළ නොහැකි බලවේගයක් ලෙස අප සතු භූමිකාව යළි තහවුරු වීමක් ලෙස හැඳින්වීමට පුළුවන්,” SLT-MOBITEL සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා පැවසීය.

SLT සමූහය වාර්තා කළ මෙම විශිෂ්ට මූල්‍ය ප්‍රතිඵල සඳහා එහි ප්‍රධාන සමාගම් දෙකම කැපීපෙනෙන දායකත්වයක් ලබා දී තිබේ. SLT PLC හි බදු පසු ලාභය 369.9% කින් ඉහළ ගොස් රු. මිලියන 1,344 ක් ලෙස වාර්තා වී ඇති අතර, බදු පෙර ලාභය 380% කින් සහ මෙහෙයුම් ලාභය 60.3% කින් ඉහළ ගොස් ඇත. ආයතනික, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සහ බ්‍රෝඩ්බෑන්ඩ් යන සේවා කාණ්ඩවලින් ලැබුණු ආදායම වර්ධනය වීම, පිරිවැය කළමනාකරණ විධිවිධාන සාර්ථක ලෙස ක්‍රියාවට නැංවීම සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු වීම මීට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.

මේ අතර Mobitel (SLT-MOBITEL Mobile) කැපීපෙනෙන කාර්යසාධනයක් පෙන්නුම් කරමින් රු. බිලියන 11.8 ක ආදායමක් වාර්තා කර ඇති අතර, ජංගම දත්ත සේවාවන් සඳහා ඇති ඉල්ලුම ඉහළ යාම මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. එහි මෙහෙයුම් ඉපැයුම් ලාභය (EBITDA) 28.5% කින් ඉහළ ගොස් ඇති අතර මෙහෙයුම් ඉපැයුම් ලාභාන්තිකය 30% ක් ලෙස වාර්තා වී තිබේ. 2024 වසරේ පළමු කාර්තුවේදී ශුද්ධ අලාභයක් වාර්තා කළ Mobitel මෙම වසරේදී එය පූර්ණ පරිවර්තනයකට ලක්කර ගනිමින්, 392% ක වර්ධනයක් පෙන්නුම් කරමින්, රු. මිලියන 477 ක ශුද්ධ ලාභයක් වාර්තා කර ඇත. එමෙන්ම 2024 වසරේදී ශ්‍රී ලංකාවේ වේගවත්ම 4G ජාලය ලෙස Ookla® වෙතින් ලැබුණු ඇගයීම මගින් මෙරට ජංගම දුරකථන සේවා ක්ෂේත්‍රය තුළ SLT-MOBITEL Mobile සතු නායකත්වය තවදුරටත් තහවුරු විය.

කලකට ඉහත විකිණීම සඳහා සැලසුම් කර තිබූ SLT-MOBITEL සම්පූර්ණ පුනර්ජීවනයක් ලබමින්, රටේ ඩිජිටල් පරිවර්තනය තුළ කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකරන සමාගමක් ලෙස නැවත ඉදිරියට පැමිණ ඇති අතර, වැදගත් ජාතික සම්පතක් ලෙස එයට නව රජයේ පිළිගැනීම හිමි වී ඇත. සමාගමේ මෙම පුනර්ජීවනය, ක්‍රමෝපායික නායකත්වය, මෙහෙයුම් ශික්ෂණය සහ පාර්ශ්වකරුවන්ගේ එකඟතාව තුළින් ජාතික වටිනාකම් නිර්මාණය කළ හැකි ආකාරය සම්බන්ධ මනා උදාහරණයක් ලෙස හැඳින්විය හැකි වේ.

සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵල

සමූහය අත්කරගත් මෙම සාර්ථකත්වය, සමස්ත සමූහය ආවරණය වන පරිදි ක්‍රියාවට නැංවුණු අතිශය පුළුල් සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයකි.

සමූහයේ මෙහෙයුම් තුළදී එහි ඉංජිනේරුවන්, කාර්මික ශිල්පීන්, පාරිභෝගික සේවා අංශයේ සාමාජිකයන් සහ සහය සේවා කාර්ය මණ්ඩලය ඇතුළු සියලුම දෙනා මෙම පරිවර්තනය වැළඳගනිමින් එය ප්‍රවේගවත් කිරීමට දායක වූහ. නව තාක්ෂණයන්ට අනුගත වෙමින් සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා ඔවුන් ලබා දුන් දායකත්වය, පාරිභෝගික තෘප්තිය එලෙසින්ම රඳවා ගැනීමට උපකාරී විය. බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම් පුළුල් කිරීමේ සිට ආයතනික සේවාදායකයන්ට අවශ්‍ය සහයෝගය ලබාදීම දක්වාම ඔවුන්ගෙන් ලද දායකත්වය සමූහයේ වර්ධනයට සුවිශාල පිටුබලයක් විය.

මෙම පරිවර්තනය තුළ සමාගමට නායකත්වය දෙමින් අධ්‍යක්ෂ මණ්ඩලය විසින්ද සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන ලදී. දීර්ඝකාලීන තිරසාරත්වය කෙරෙහි අවධානය යොමු කරමින් ඔවුහු ප්‍රතිසංස්කරණ ඇතිකිරීමට පිටුබලය සැපයූ අතර, ඩිජිටල් යටිතල පහසුකම් වෙනුවෙන් ආයෝජන කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබාදෙමින් සමාගමේ වර්ධනය ජාතික ප්‍රමුඛතා සමග සමපාත වන බව සහතික කරගැනීමට පියවර ගත්හ. මෙම ක්‍රමෝපායික නායකත්වය හේතුවෙන් සමූහයට සිය මූල්‍ය ශික්ෂණය පවත්වාගන්නා අතරම නවෝත්පාදන වෙත යොමුවීමට හැකියාව ලැබී ඇත.

SLT-MOBITEL හි තාක්ෂණික හවුල්කරුවන්ගෙන්ද මෙම සාර්ථකත්වය උදෙසා ලැබුණේ නොමඳ දායකත්වයකි. දේශීය හා ජාත්‍යන්තර නවෝත්පාදකයන් සමග එක්ව කටයුතු කිරීම හේතුවෙන් AI තාක්ෂණය මූලික කරගත් විසඳුම්, Cloud පදනම් සහ අතිනවීන සම්බන්ධතා සේවාවන් හඳුන්වා දීමට සමාගමට හැකියාව ලැබිණි. මෙම හවුල්කාරීත්වයන් නිසා සමාගමට ක්ෂේත්‍රය තුළ ඉදිරියෙන්ම සිටිමින්, ජාත්‍යන්තර තලයේ ඩිජිටල් සේවාවන් පිරිනැමීම පිළිබඳ සිය ප්‍රතිඥාව ඉටු කිරීමට හැකි විය.

එමෙන්ම SLT-MOBITEL කෙරෙහි සිය නොසැලෙන විශ්වාසය රඳවමින්මේ සියල්ලට ධෛර්ය හා ශක්තිය ලබාදුන් මිලියන ගණනක් ශ්‍රී ලාංකිකයන්ද ඉටුකළේ ප්‍රශංසනීය කාර්යභාරයකි. ඔවුන්ගේ ළබැඳියාව මෙන්ම ප්‍රතිචාර, ජංගම දත්ත සේවාවන්හි සිට ආයතනික සම්බන්ධතා දක්වාම සමාගමේ සේවාවන් වැඩිදියුණු කිරීමට මහෝපකාරී විය.

“මෙය සැමට අයිති ජයග්‍රහණයක්. උපරිම කැපවීමෙන් රාජකාරි කරන අපගේ කාර්ය මණ්ඩලය, අපට මගපෙන්වන අධ්‍යක්ෂ මණ්ඩලය, අප සවිබල ගන්වන අපගේ තාක්ෂණික හවුල්කරුවන් සහ අප කෙරෙහි නිරතුරුව විශ්වාසය තබන අපගේ පාරිභෝගිකයන් ඇතුළු සියලුම දෙනාට අප බෙහෙවින් ස්තූතිවන්ත වනවා. SLT-MOBITEL හි ඉදිරි ගමනට ධෛර්යය හා ශක්තිය ලැබෙන්නේ ඔවුන් සැමදෙනාගේම සාමූහික ශක්තිය තුළිනුයි.” ආචාර්ය මොතිලාල් ද සිල්වා වැඩිදුරටත් පැවසීය.

අනාගතය: පැහැදිලි අරමුණක් සහිත නවෝත්පාදනය

පළමු කාර්තුව තුළ වාර්තා කරගත් මෙම සාර්ථක ප්‍රතිඵල ශක්තිමත් පදනමක් බවට පත්කර ගනිමින්, පරිවර්තනීය තාක්ෂණයන් උදෙසා සිදුකරන ආයෝජන වේගවත් කිරීමට SLT-MOBITEL කටයුතු කරමින් සිටී. සමූහය මේ වන විට සිය ෆයිබර් සහ 5G යටිතල ව්‍යුහයන් පුළුල් කිරීම, AI මූලික කරගත් පාරිභෝගික විසඳුම් ක්‍රියාවට නැංවීම සහ වෙනස් වන පාරිභෝගික අවශ්‍යතා සපුරාලන නව ඩිජිටල් සේවාවන් හඳුන්වා දීමේ හැකියාවන් ගවේෂණය කිරීම ඇතුළු පියවර රැසක් ගෙන තිබේ.

“ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තලයේ සම්බන්ධතා පහසුකම් හිමි විය යුතුයි. එම අරමුණ ඔස්සේ SLT-MOBITEL හුදෙක් දුරකථන සේවා සම්පාදකයෙකු නොව ජාතික දියුණුවේ සංකේතයක් බවට පත් වන අනාගතයක් ගොඩනැංවීමට අප කටයුතු කරමින් සිටිනවා.” ආචාර්ය මොතිලාල් ද සිල්වා අවධාරණය කළේය.

මේ සියල්ල දෙස බලන විට පෙනී යන්නේ SLT-MOBITEL හුදෙක් යථා තත්වයට පත්වෙමින් සිටිනු පමණක් නොව, අධිෂ්ඨානය හා කාර්යසාධනය ඔස්සේ ජනතාවගේ යහපතට මුල්තැන දෙමින් සෞභාග්‍යමත් අනාගතයක් කරා ගමන් කරමින් සිටින  බවයි.

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව