SLT-MOBITEL ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට AI මූලික කරගත් ‘Hello AI’ පැකේජය හඳුන්වා දෙයි

Image - SLT-MOBITEL introduces ‘HELLO AI’ Sri Lanka’s first revolutionary AI-based package to empower youth (LBN)

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL විසින් පසුගියදා මෙරට තරුණ පරපුරට වඩාත් පහසුවෙන් කෘත්‍රිම බුද්ධි තාක්ෂණය (AI) සහ මාර්ගගත අධ්‍යාපනික සේවා භාවිතා කිරීමට අවස්ථාව සලසා දීම සඳහා විශේෂයෙන් සැලසුම් කළ ජංගම දුරකථන පැකේජයක් වන ‘Hello AI’ නිල වශයෙන් හඳුන්වා දෙන ලදී. AI මූලික කරගත් මෙවැනි පැකේජයක් ශ්‍රී ලංකාව තුළ හඳුන්වා දුන් ප්‍රථම අවස්ථාව මෙයයි. මෙම ඓතිහාසික පැකේජය නිසා මෙරට අනාගත පරපුට අධික ලෙස පුද්ගල-කේන්ද්‍රීය වූ ලෝකයක් තුළ සාර්ථක වීම සඳහා වැදගත් වන AI ඉගෙනුම් මෙවලම් භාවිතා කිරීම වඩාත් පහසු වනු ඇත.

 



 
මෙම අවස්ථාවට එක්වෙමින් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා මෙසේ අදහස් දැක්වීය: “SLT-MOBITEL මගින් හඳුන්වා දී ඇති Hello AI පැකේජය, ඩිජිටල් පරිවර්තනය සහ AI භාවිතය සම්බන්ධයෙන් රජය සතු ජාතික දැක්ම සහ ඉදිරි ගමන සමග මැනවින් සමපාත වනවා. ශ්‍රී ලංකාව ගෝලීය ඩිජිටල් ආර්ථිකය තුළ ඉදිරියට යාමට උත්සාහ කරමින් සිටින මේ මොහොතේ, කිසිදු භේදයකින් තොරව කාටත් උසස් තාක්ෂණයන් භාවිතා කිරීමට අවස්ථාව සලසා දෙන මෙබඳු වැඩසටහන් මගින් ඉටුවන භූමිකාව අතිශයින් වැදගත්. සහනදායී ගාස්තු යටතේ AI මෙවලම් සහ අධ්‍යාපනික පදනම් භාවිතා කිරීමට තරුණ තරුණියන්ට අවස්ථාව ලබාදීම තුළින්, ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික වර්ධනය සඳහා වැදගත් වන ඩිජිටල් කුසලතා සහිත ශ්‍රම බලකායක් නිර්මාණය කරගැනීමට අවශ්‍ය පදනම සකස් කිරීමට අපට හැකි වේවි.”

මෙම පුරෝගාමී ‘Hello AI’ පැකේජයේ මිල රු. 799/- කි. ChatGPT, Deepseek, Claude, Copilot, Coursera, Udemy සහ Canva ඇතුළු ප්‍රමුඛතම AI සහ අධ්‍යාපනික පදනම්වලට ප්‍රවේශ වීම සඳහා අමතර 10GB සමඟින් පෙර නොවූ විරූ 40GB ඩේටා (ඕනෑම වේලාවක 20 GB සහ රාත්‍රී 20 GB) මෙමගින් පිරිනමනු ලබයි. විනාඩි 200 ක නොමිලේ ඇමතුම් කාලයක්ද ඇතුළත් කර ඇති මෙම පැකේජය, තරුණ තරුණියන්ට තම කුසලතා වැඩිදියුණු කරගනිමින් අනාගතය ජයගැනීමට උපකාරී වනු නිසැක ය.

මෙම පැකේජය විශේෂයෙන්ම සැලසුම් කර ඇත්තේ AI මගින් බලගැන්වුණු මෙවලම් සඳහා ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ තරුණ වෘත්තිකයන් අතර ඇති ඉල්ලුම සපුරාලීමේ අරමුණිනි.  AI සහ අධ්‍යාපනික පදනම් සඳහා 10GB දත්ත ප්‍රමාණයක් වෙන්කර තිබීම නිසා මෙම පැකේජය භාවිතා කරන්නන්ට සාමාන්‍ය දත්ත භාවිතයට ගැටලුවක් ඇති නොවන පරිදි සිය අධ්‍යාපන සහ ගවේෂණ කටයුතු සිදුකළ හැකි වේ. විශේෂයෙන්ම රාත්‍රී කාලය සඳහා වෙන්කර ඇති දත්ත ප්‍රමාණය නිසා කාර්යබහුල වේලාවන්ගෙන් පසුව වුවද ඔවුන්ට ඉතාමත් පහසුවෙන් තම අධ්‍යාපනික කටයුතු සිදුකළ හැකි වනු ඇත.

උත්සව සභාව අමතමින් SLT-MOBITEL සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා මෙසේ අදහස් දැක්වීය: “Hello AI පැකේජය හඳුන්වා දීම යනු SLT-MOBITEL සාම්ප්‍රදායික දුරකථන සේවාවන්ගෙන් ඔබ්බට යමින් ඩිජිටල් පරිවර්තනය බලගැන්වීමේ භූමිකාවකට පිවිසීමක් ලෙස හැඳින්වීමට පුළුවන්. ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට සහනදායී ගාස්තු යටතේ උසස් AI මෙවලම් සහ අධ්‍යාපනික පදනම් භාවිතා කිරීමට අවස්ථාව සලසා දීම මගින් SLT-MOBITEL කුසලතා සංවර්ධනය සහ නවෝත්පාදනය සඳහාද අවස්ථා උදාකර දෙමින් සිටිනවා. මෙම වැඩසටහන ගෝලීය ඩිජිටල් ආර්ථිකය තුළ තරග කිරීමට සහ සාර්ථක වීමට අනාගත පරපුරට හැකියාව ඇති බව සහතික කරමින්, AI මත පදනම් වූ අනාගතයක් සඳහා ඔවුන් සූදානම් කරවීමට අප දක්වන උනන්දුවට හා කැපවීමට මනා සාක්ෂියක්.”

‘Hello AI’ සමගින් ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 16 ත් 25 ත් අතර තරුණ තරුණියන්ට අධ්‍යාපනයේ හා නවෝත්පාදනයේ හෙට දිනය උදෙසා පැහැදිලි ප්‍රවේශයක් ලබාදීම SLT-MOBITEL හි අරමුණ වී තිබේ. මේ ආකාරයට ශ්‍රී ලංකාව තුළ AI පදනම් වෙනුවෙන් විශේෂයෙන් දත්ත වෙන්කළ පැකේජයක් හඳුන්වා දුන් ප්‍රථම සමාගම SLT-MOBITEL වන අතර, ඒ ඔස්සේ තම කුසලතා ඔපමට්ටම් කරගැනීම සහ AI තාක්ෂණය මුල්කරගත් ලෝකයක තරගකාරීව සිටීම සඳහා අනාගත පරපුර සවිබලගැන්වීම SLT-MOBITEL හි බලාපොරොත්තුව වී තිබේ.

තම අධ්‍යාපනික ව්‍යාපෘති සඳහා AI මෙවලම් ගවේෂණය කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්, තම කුසලතා වැඩිදියුණු කරගැනීමට බලාපොරොත්තු වන වෘත්තිකයන්, AI තාක්ෂණයෙන් බලගැන්වුණු නිර්මාණ මෙවලම් භාවිතා කරන නිර්මාණශීලී පුද්ගලයන්, මෘදුකාංග නිර්මාණකරුවන් සහ පොදුවේ තාක්ෂණය පිළිබඳව උනන්දුවක් දක්වන්නන් ඇතුළු කාටත් SLT-MOBITEL හි ‘Hello AI’ පැකේජය බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත. මෙම නව පැකේජය මගින් තරුණ පාරිභෝගික කාණ්ඩවලට සහනදායී ගාස්තු යටතේ උසස් අධ්‍යාපනික මෙවලම් භාවිතා කිරීමට අවස්ථාව හිමි වේ.

මෙම පැකේජය හඳුන්වා දීම, විශේෂයෙන්ම රටේ ඩිජිටල් අනාගතය හැඩගස්වන තරුණ පරපුර අතර ඩිජිටල් තාක්ෂණ භාවිතාව සහ නවෝත්පාදනය ප්‍රචලිත කිරීම සඳහා SLT-MOBITEL දරන ප්‍රයත්නය සමගද මැනැවින් සමපාත වේ.

‘Hello AI’ පැකේජය පිළිබඳව වැඩිදුර තොරතුරු සහ එය සක්‍රීය කරගන්නා ආකාරය දැනගැනීම සඳහා #170# ඩයල් කරන්න. නැතිනම් www.sltmobitel.lk වෙත පිවිසෙන්න.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව