SLT-MOBITEL වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා රෝහල්වලට රු. මිලියන 8 ක ඖෂධ ප්‍රදානය කරයි

Image 01 (LBN)

 



 

 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙවර වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා රෝහල්වලට රු. මිලියන 8 කට වැඩි වටිනාකමකින් යුත් ඖෂධ පරිත්‍යාග කිරීමට පියවර ගෙන තිබේ. SLT-MOBITEL හි පාරිසරික, සමාජයීය හා ආයතනික පාලන (ESG) වැඩසටහන්වල කොටසක් වශයෙන් ක්‍රියාත්මක වන ‘සබැඳියාවේ දැහැමි සත්කාරය’ ව්‍යාපෘතිය යටතේ මෙම පරිත්‍යාගය සිදුකර ඇත.

තවද, ශ්‍රී ලංකාවේ විශාලතම ඩ්ජිටල් චැනලින් සේවාව වන eChannelling සේවාව ද මෙම වැඩසටහන පුරාවට අත්‍යවශ්‍ය ඖෂධ බෙදා හැරීමට සහ අවශ්‍ය සියලුම සෞඛ්‍ය සේවාවන් සැපයීමෙන් සිය දායකත්වය ලබා දී තිබේ.

මෙහි පළමු ඖෂධ තොගය පසුගියදා රත්නපුර ශික්ෂණ රෝහල වෙත පරිත්‍යාග කරන ලද අතර, එම අවස්ථාවට SLT-MOBITEL සමූහ සභාපති, රොහාන් ප්‍රනාන්දු, SLT සාමාන්‍යාධිකාරී (අලෙවි සේවා) අනුරුද්ධ සූරියාරච්චි, රත්නපුර ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ, වෛද්‍ය අනෝජ රුද්‍රිගු, රත්නපුර ශික්ෂණ රෝහල් සහය අධ්‍යක්ෂ, වෛද්‍ය ශ්‍රියානි රණසිංහ ඇතුළු SLT-MOBITEL නිලධාරීන් පිරිසක් සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් පිරිසක් සහභාගී වූහ.

ඉන් අනතුරුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහල, මහනුවර ජාතික රෝහල, බදුල්ල පළාත් මහ රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල, යාපනය ශික්ෂණ රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල සහ කුරුණෑගල ශික්ෂණ රෝහල යන රෝහල්වලටද මෙලෙස අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රදානය කරනු ලබයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, SLT-MOBITEL සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පැවසුවේ, මෙවර වෙසක් මංගල්‍යය නිමිත්තෙන්, රටේ ජනතාව පොදුවේ මුහුණ දෙන ප්‍රධාන ගැටලු කිහිපයකට පිළියම් යෙදීමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නංවා ඇති බවයි. “අධිරුධිර පීඩනයට ලබාදෙන ඖෂධ සහ ප්‍රතිජීවක ඖෂධ ඇතුළුව අත්‍යවශ්‍ය ඖෂධවල මෙන්ම සැත්කම් උපකරණවල හිඟයක් මේ වනවිට රට තුළ ඇති වී තිබෙනවා. මෙම තත්ත්වය හමුවේ, වගකිව යුතු සමාගමක් වශයෙන් රටේ ජනතාවට අත්වැලක් වීමට SLT-MOBITEL ඉදිරිපත් වුණා. ඕනෑම සමාජයක හා ආර්ථිකයක වැදගත්ම අංශය වන්නේ සෞඛ්‍ය සේවයයි.  එම නිසා බෞද්ධ දර්ශනයේ හරය අනුව කටයුතු කරමින්, පුරවැසියන්ගේ යහපත වෙනුවෙන් මෙවැනි සත්ක්‍රියාවක නිරත වීමට අප පියවර ගත්තා.” රොහාන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසී ය.

“ඖෂධ යනු ජනතාව වෙනුවෙන් අප ලබාදෙන සෞඛ්‍ය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය දෙයක්. ඖෂධ නොමැති නම් අපට ජීවිත බේරාගැනීමට හෝ වසංගත තත්ත්වයන් පාලනය කිරීමට හැකි වන්නේ නැහැ. පූජනීය වෙසක් මංගල්‍යය සමරන මේ මොහොතේ සිදුකළ මෙම වටිනා පරිත්‍යාගය වෙනුවෙන් මා SLT-MOBITEL ආයතනයට ස්තූතිවන්ත වනවා. මෙය රටත් ජනතාවත් වෙනුවෙන් සිදුකළ මහඟු සේවයක් ලෙස හැඳින්වීමට පුළුවන්.” වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය එච්. එම්. කේ. වික‍්‍රමනායක මහතා පැවසී ය.

රටේ පවතින ඖෂධ හිඟය පිටුදැකීමේ අරමුණින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය මගින් ලබාදෙන ලද තොරතුරුවලට අනුව, රටේ පළාත් 8 ක රෝහල් වෙත මෙලෙස අත්‍යවශ්‍ය ඖෂධ පරිත්‍යාග කිරීමට SLT-MOBITEL කටයුතු කළේ ය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව