SLT සමූහය 2025 ප්‍රථම අර්ධයේදී ලාභයේ කැපීපෙනෙන වර්ධනයක් සමගින් ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරගනී

Images - Sinhala (LBN)
  • 2025 ප්‍රථම අර්ධයේදී SLT සමූහය පෙර වසරේ පැවති අලාභ වාර්තා වීමේ ප්‍රවණතාව මුළුමනින්ම වෙනස් කරමින් රු. බිලියන 4.3 ක බදු පසු ලාභයක් වාර්තා කරයි.
  • සැලසුම් විධිමත් ලෙස ක්‍රියාවට නැංවීම සහ යහපත් මූල්‍ය ප්‍රවණතා හේතුවෙන් සමූහයේ මෙහෙයුම් ලාභය 2025 දෙවැනි කාර්තුවේදී 148% කින් වර්ධනය වේ.
  • සුපරීක්ෂාකාරී මූල්‍ය කළමනාකරණය හේතුවෙන් 2025 දෙවැනි කාර්තුවේදී සමූහයේ මූල්‍ය පහසුකම් පිරිවැය 18.9% කින් අඩු වේ.
  • SLT සමාගමේ 2025 පළමු අර්ධයේ බදු පසු ලාභය, පසුගිය වසරේ වාර්තා කළ රු. මිලියන 272 ට සාපේක්ෂව 873% කින් වර්ධනය වී රු. බිලියන 2.6 ක් ලෙස වාර්තා වේ.
  • Mobitel සමාගම පසුගිය වසරේ පළමු අර්ධයේදී වාර්තා කළ රු. බිලියන 1.1 ක අලාභයට සාපේක්ෂව මෙම වසරේ පළමු අර්ධයේදී රු. බිලියන 1.1 ක ලාභයක් වාර්තා කරයි.

2025 දෙවැනි කාර්තුවේදී සහ ප්‍රථම අර්ධයේදී ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරගනිමින්, ලාභදායීත්වය සහ පිරිවැය කළමනාකරණය සම්බන්ධයෙන් කැපීපෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කිරීමට SLT සමූහය සමත් විය.

2025 ජූනි 30 දිනයෙන් අවසන් වූ දෙවැනි කාර්තුවේදී SLT සමූහය රු. බිලියන 2.3 ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත් වූ අතර මෙය 2024 වසරේ දෙවැනි කාර්තුවේදී වාර්තා වූයේ රු. මිලියන 479 ක අලාභයක් වශයෙනි. සමාගම් මට්ටමින් ගත් විට අදාළ කාලසීමාව තුළ SLT සමාගම පෙර වසරේ වාර්තා කළ රු. මිලියන 14 ක අලාභයට සාපේක්ෂව පූර්ණ පරිවර්තනයක් පෙන්නුම් කරමින් රු. බිලියන 1.3 ක බදු පසු ලාභයක් පෙන්නුම් කර ඇත. 2024 දෙවැනි කාර්තුවේදී රු, මිලියන 610 ක අලාභයක් වාර්තා කළ Mobitel සමාගම 2025 දෙවැනි කාර්තුවේදී රු. මිලියන 587 ක බදු පසු ලාභයක් වාර්තා කරගෙන තිබේ.
 



 

2025 ප්‍රථම අර්ධය සඳහා සමූහය වාර්තා කරගෙන ඇති මූල්‍ය කාර්යසාධනයද ප්‍රශංසනීය මට්ටමක පවතී. 2024 ප්‍රථම අර්ධයේදී රු. මිලියන 323 ක අලාභයක් වාර්තා කළ SLT සමූහය මෙම වසරේ පළමු අර්ධයේදී රු. බිලියන 4.3 ක බදු පසු ලාභයක් වාර්තා කරගෙන තිබේ. සමාගම් මට්ටමින් ගත් විට, පෙර වසරේදී රු. මිලියන 272 ක බදු පසු ලාභයක් වාර්තා කළ SLT සමාගම මෙවර එය 873% කින් වර්ධනය කරගනිමින් රු. බිලියන 2.6 ක බදු පසු ලාභයක් වාර්තා කර තිබේ. Mobitel සමාගම ශක්තිමත් මූල්‍ය ප්‍රවණතාවක ලකුණු පෙන්නුම් කරමින්, පසුගිය වසරේ ප්‍රථම අර්ධයේදී වාර්තා වූ රු. බිලියන 1.1 ක අලාභයට සාපේක්ෂව මෙම වසරේ ප්‍රථම අර්ධයේදී රු. බිලියන 1.1 ක බදු පසු ලාභයක් වාර්තා කරගැනීමට සමත් වී ඇත.

මෙබඳු කැපීපෙනෙන කාර්යසාධනයක් වාර්තා කරගැනීමට හැකි වීම සම්බන්ධයෙන්, මෙම පරිවර්තනය තුළ පුරෝගාමී කාර්යභාරයක් ඉටු කළ SLT සමූහයේ සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා මෙසේ අදහස් දැක්වීය. “පසුගිය වසරේදී වාර්තා වූ අලාභයට සාපේක්ෂව මෙවර SLT සමූහය පෙන්නුම් කර ඇති ශක්තිමත් අර්ධ වාර්ෂික කාර්ය සාධනය තුළින්, අප සමූහයේ ඔරොත්තු දීමේ හැකියාව සහ සැලසුම් සාර්ථක ලෙස ක්‍රියාවට නැංවීමේ හැකියාව මනාව පෙන්නුම් කරනවා. මෙම ප්‍රගතිය සමූහය පුරාම ක්‍රියාත්මක වන නව ක්‍රමෝපායික දිශානතියේ සහ කාර්යක්ෂම ආයතනික පාලනයේ ප්‍රතිඵලයක් ලෙස හැඳින්වීමට පුළුවන්. මෙම සාර්ථකත්වය තුළින් අපට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය බලගන්වන ප්‍රධාන පාර්ශ්වකරුවෙකු ලෙස අඛණ්ඩව කටයුතු කරන අතරම, ජාතික සංවර්ධනයට අර්ථවත් ලෙස දායක වෙමින් සියලුම කොටස්කරුවන්ට ඉහළම වටිනාකම් තිළිණ කිරීමට හැකියාව ලැබේවි.”

 

ලාභ ලැබීමේ ප්‍රවණතාව අඛණ්ඩව ඉදිරියට

මෙහෙයුම් ලාභය අතින්ද සුවිශේෂී පරිවර්තනයක් පෙන්නුම් කරමින්, පෙර වසරට සාපේක්ෂව 2025 දෙවැනි කාර්තුවේදී මෙහෙයුම් ලාභය 148% කින් වර්ධනය කරගැනීමට SLT සමූහය සමත් විය. ඒ අතරින් SLT සමාගමේ මෙහෙයුම් ලාභය 61% කින් වර්ධනය වී ඇති අතර, Mobitel සමාගම දැවැන්ත වර්ධනයක් අත්පත් කරගනිමින් සිය මෙහෙයුම් ලාභය පෙර වසරට සාපේක්ෂව ආසන්න වශයෙන් 14050% කින් වර්ධනය කරගැනීමට සමත් වී තිබේ.

SLT සමූහය 2025 දෙවන කාර්තුව සඳහා රුපියල් බිලියන 27.3 ක ආදායමක් වාර්තා කරගෙන ඇති අතර එය පෙර වසරට සාපේක්ෂව 2.6% ක වර්ධනයකි. සමාගම් මට්ටමින් ගත් විට SLT සමාගමේ ආදායම රුපියල් බිලියන 17.7 ක් වූ අතර, එය පෙර වසරට සාපේක්ෂව 2.5% ක වර්ධනයක් ලෙස වාර්තා වේ. සමස්තයක් ලෙස ගත් විට, කාර්තුවේ ආදායමට මූලික වශයෙන් දායක වී ඇත්තේ 6.4% ක වර්ධනයක් සමගින් Mobitel වාර්තා කරගෙන ඇති ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයයි.

 

ඉලක්කගත වියදම් හා කාර්යක්ෂමතාව

2025 දෙවැනි කාර්තුවේදී සමූහයේ පරිපූර්ණ පිරිවැය ප්‍රශස්තකරණ වැඩසටහන් මගින් කැපීපෙනෙන ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි වූ අතර, එමගින් පෙර වසරට සාපේක්ෂව සමස්ත සෘජු පිරිවැය 13.5% කින් අවම කරගැනීමට හැකි විය. මීට සමගාමීව SLT සමාගමේ පිරිවැය 10.3% කින් පහළ ගිය අතර, Mobitel සමාගමේ පිරිවැය 4% කින් පහළ ගොස් ඇත.

ප්‍රධාන වශයෙන් SLT සමාගම වෙළඳපොළ පුළුල් කිරීමේ කටයුතු වෙනුවෙන් සිදු කළ ආයෝජන හේතුවෙන් එම සමාගමේ අලෙවිකරණ වියදම් 17% කින් ඉහළ යාමට සමගාමීව සමූහයේ විකුණුම් හා අලෙවිකරණ පිරිවැය පෙර වසරට සාපේක්ෂව 6.2% කින් ඉහළ ගොස් තිබේ. කෙසේ නමුත් Mobitel සමාගම තම අලෙවිකරණ පිරිවැය 9.1% කින් අඩු කරගැනීමට සමත් වීම හේතුවෙන් එහි බලපෑම අවම වී ඇත. ප්‍රධාන වශයෙන් SLT සහ Mobitel සමාගම්වල පරිපාලන වියදම් ඉහළ යාම හේතුවෙන් සමූහය මට්ටමින් පරිපාලන වියදම් 7.8% කින් ඉහළ ගොස් තිබේ.

මෙම වාර්තාවට අදාළ කාර්තුව තුළ සමස්ත සමූහයේ පොලී වියදම් සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇත. ප්‍රධාන වශයෙන් ණය ගැනීම් අඩු වීම නිසා SLT සමාගමේ මූල්‍ය පහසුකම් පිරිවැය 31% කින් අඩු වීම හේතුවෙන් සමූහයේ මූල්‍ය පිරිවැය 18.9% කින් පහළ ගොස් තිබේ. කෙසේ නමුත් කෙටිකාලීන ව්‍යාපෘති සහ කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවන් සඳහා මූල්‍ය පහසුකම් ලබාගැනීම හේතුවෙන් Mobitel සමාගමේ පොලී පිරිවැය 23.5% කින් ඉහළ ගොස් ඇත.

“2025 වසරේ පළමු අර්ධයේ අප වාර්තා කරගෙන තිබෙන සාර්ථක මූල්‍ය ප්‍රතිඵලවලට SLT සහ Mobitel යන සමාගම් දෙකේම සාර්ථකත්වය හේතු වී තිබෙනවා. මූලික වශයෙන් පිරිවැය ප්‍රශස්තකරණ වැඩසටහන් හේතුවෙන් මෙහෙයුම් ලාභය වර්ධනය වීම, මෙහෙයුම් විනය කෙබඳුද යන්න සනාථ කරන මනා සාක්ෂියක්. දිගින් දිගටම ජාල යටිතල පහසුකම් සහ ඩිජිටල් නවෝත්පාදනයන් සඳහා ආයෝජනය කරමින් තිරසාර වර්ධනයක් අත්කර ගන්නා අතරම දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රය තුළ ඉදිරියෙන්ම සිටීම අපගේ ඉලක්කයයි. මෙම සාර්ථක මූල්‍ය ප්‍රතිඵල මෙන්ම අපගේ අතිනවීන සම්බන්ධතා විසඳුම්, ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතයට බලගැන්වීමට මහෝපකාරී වේවි.“ SLT සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ මහතා පැවසීය.

මේ අතර Mobitel දිගින් දිගටම ශක්තිමත් මෙහෙයුම් සහ මූල්‍ය කාර්යසාධනයක් පෙන්නුම් කරමින් සිටී. දිගින් දිගටම දත්ත සේවාවන් සහ ජාල ප්‍රමිතිය උසස් කිරීමට ක්‍රමෝපායික අවධානයක් යොමු කිරීම හේතුවෙන් , ආදායම තිරසාර ලෙස වර්ධනය කරගැනීමට මෙන්ම වෙළඳපොළ තුළ තමන් සතු ස්ථානය තවදුරටත් ශක්තිමත් කරගැනීමට Mobitel සමාගමට හැකි වී ඇත.

“2024 වසරේ ප්‍රථම අර්ධයේදී වාර්තා කළ රුපියල් බිලියන 1.1 ක අලාභය 2025 පළමු අර්ධයේදී රුපියල් බිලියන 1.1 ක ශුද්ධ ලාභයක් බවට පරිවර්තනය කරගැනීමට Mobitel සමත් වීම අපගේ ක්‍රමෝපායික වැඩසටහන් සාර්ථක වී ඇති බවට මෙන්ම වෙළඳපොළ තුළ අප සතු ස්ථානය තවදුරටත් තහවුරු වී ඇති බවට මනා සාක්ෂියක්. වැඩිදියුණු කළ ජාල හැකියාවන් සහ දත්ත සේවාවන් ඔස්සේ වෙළඳපොළ අවස්ථා සාර්ථක ලෙස ග්‍රහණය කරගන්නා අතරම තිරසාර මෙහෙයුම් කාර්යක්ෂමතාවක් පවත්වා ගනිමින්, සමූහයේ සමස්ත ආදායම් වර්ධනයට රුපියල් බිලියන 1.6 ක දායකත්වයක් ලබාදීමට අපට හැකියාව ලැබුණා. මෙම යහපත් ප්‍රවණතා හේතුවෙන් දිගින් දිගටම ශ්‍රී ලංකාවේ තාක්ෂණික දියුණුවේ පෙරගමන්කරුවෙකු ලෙස ඉදිරියෙන්ම සිටීමට Mobitel සමත් වී තිබෙනවා.” Mobitel සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුදර්ශන ගීගනගේ මහතා පැවසීය.

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව