SLISB ප්‍රතිව්‍යුහගත කිරීමෙන් රු. බිලියන 45ක පාඩුවද දරමින් කොමර්ෂල් බැංකුව 2024 වසරේදී විශිෂ්ඨ කාර්යසාධනයක් පෙන්වයි

Commercial Bank Chairman Mr Sharhan Muhseen & Managing Director and CEO Mr Sanath Manatunge (LBN)

ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව සහ එහි අනුබද්ධ සමාගම් වලින් සමන්විත කොමර්ෂල් බැංකු සමූහය, කොළඹ කොටස් වෙළඳපොළ (CSE) වෙත සිය වාර්ෂික මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ දී 2024 වසර සඳහා ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කර ඇත. හානි පූර්ණ ගාස්තු සහ අනෙකුත් පාඩු සඳහා විචක්ෂණශීලීව ප්‍රතිපාදන වෙන් කිරීම, ඵලදායී ශේෂ පත්‍ර කළමනාකරණය සහ ණය දීමේ කටයුතු වල ශක්තිමත් වර්ධනය, නිසාවෙන් බැංකුව සතු වූ ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර (SLISB) ප්‍රතිව්‍යුහගතකරණයෙන් සිදු වූ පාඩුව දරා ගැනීමට හැකි වී ඇත.
 



 
SLISB ප්‍රතිව්‍යුහගතකරණය හේතුවෙන් සමූහයට සිදු වූ රුපියල් බිලියන 45.11 ක මුළු ශුද්ධ අලාභය වසරේ අවසන් කාර්තුවේදී හදුනාගත් අතර එමගින් 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මාස 12 සඳහා දළ ආදායම රුපියල් බිලියන 274.98 ක් දක්වා 19.50% කින් අඩු විය. කෙසේ වෙතත්, මූලික වශයෙන් SLISB සම්බන්ධ ප්‍රතිපාදන ආපසු හැරවීම හේතුවෙන් හානි පූර්ණ ගාස්තු සඳාහා කළ රුපියල් බිලියන 62.30 ක ප්‍රතිපාදන ආපසු හැරවීමක් සිදු වූ අතර එමගින් ද සමස්ත බලපෑම සැලකිය යුතු ලෙස සමනය විය. අඩු පොලී අනුපාත හේතුවෙන් පොලී ආදායම 7.54% කින් රුපියල් බිලියන 275.22 ක් දක්වා අඩු වීම ද සමූහයේ දළ ආදායම අඩු වීමට බලපෑ බව සමූහය පවසයි.

තැන්පතු වල කාලානුරූප ප්‍රතිමිලකරණය සහ බැංකුවේ ශක්තිමත් CASA පදනම හේතුවෙන් සමස්ත පොලී වියදම් රුපියල් බිලියන 157.08 ක් දක්වා 25.63% කින් අඩු වූ අතර එමගින් ශුද්ධ පොලී ආදායම 2023 දී තිබූ රුපියල් බිලියන 86.41 ට සාපේක්ෂව මෙම වසරේ රුපියල් බිලියන 118.13 දක්වා එනම් 36.71% ක ඉතා හොඳ වර්ධනයක් අත්කර ගත්තේය. මේ අතර, ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම ද රුපියල් බිලියන 23.65 දක්වා 5.62% කින් වර්ධනය වී ඇත.

සලකා බලන මූල්‍ය වසර තුළදී සමූහයේ ශුද්ධ මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 169.35 ක් දක්වා 103.61% කින් ඉහළ ගොස් තිබේ. සම්පූර්ණ වසර සඳහා මෙහෙයුම් වියදම් 17.04% ක මධ්‍යස්ථ අනුපාතයකින් වර්ධනය වී රුපියල් බිලියන 51.84 ක් වී ඇති අතර, සමූහයේ මූල්‍ය සේවා සඳහා බදු ගෙවීමට පෙර මෙහෙයුම් ලාභය රුපියල් බිලියන 117.52 ක් විය. එය පෙර වසරට වඩා 202.21% ක වැඩි වීමකි.

මූල්‍ය සේවා මත පැනවූ බදු 297.20% කින් එනම් රුපියල් බිලියන 19.71 දක්වා ඉහළ ගොස් ඇති අතර මාස 12 සඳහා ආදායම් බදු ගෙවීමට පෙර ලාභය රුපියල් බිලියන 97.81 ක් විය. එය පෙර වසරට සාපේක්ෂව 188.29% ක වර්ධනයකි. වසර සඳහා ආදායම් බදු ගාස්තුව රුපියල් බිලියන 42.12 ක් දක්වා 250.22% කින් ඉහළ ගොස් ඇති අතර එමගින් 2024 වර්ෂය සඳහා බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභය රුපියල් බිලියන 55.69 ක් විය. එය 154.28% ක වර්ධනයකි.

වසර සඳහා සමූහයේ මුළු බදු ගාස්තුව රුපියල් බිලියන 61.83 ක් වූ අතර එය පෙර වසරේ බදු ගාස්තුව වූ  රුපියල් බිලියන 16.99 මෙන් තුන් ගුණයකටත් වඩා වැඩි අගයකි.

වෙන වෙනම ගත් විට, සලකා බලන මූල්‍ය වසර සඳහා කොමර්ෂල් බැංකුවේ බදු ගෙවීමට පෙර ලාභය රුපියල් බිලියන 95.53 ක් වූ අතර, ශුද්ධ ලාභය රුපියල් බිලියන 54.07 ක් ලෙස වාර්තා කර ඇත. ඒ පිළිවෙලින් 199.67% ක් සහ 164.28% ක් වූ වර්ධන අගයන් වලිනි. සමාගමේ කොටසක මූලික ඉපැයීම රුපියල් 37.74 දක්වා ඉහළ ගොස් ඇති අතර එය 2023 වසරේදී රුපියල් 14.89 ක් විය.

මෙම ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ සභාපති, ෂාර්හන් මුෂීන් මහතා මෙසේ පැවසීය: “රටේ සාර්ව ආර්ථික පරිසරය තුළ වැඩි ස්ථාවරත්වයක් අත්කර ගෙන තිබීම හා ස්වෛරී බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ධනාත්මක පියවර අපි අගය කරන නමුත් එහි අවසාන ඵලය වූයේ බොහොමයක් බැංකු වලට සැළකිය යුතු මට්ටමේ පාඩු සිදු වීමයි. එම සන්දර්භය තුළදී, අපගේ 2024 ප්‍රතිඵල මගින් පිළිබිඹු වන්නේ බාහිර අභියෝග මධ්‍යයේ තම මූලික බැංකු ක්‍රියාවලි කළමනාකරණය කිරීම සඳහා කොමර්ෂල් බැංකුව ක්‍රියාත්මක කළ විචක්ෂණශීලී ප්‍රවේශයේ වටිනාකම සහ දුෂ්කර කාලවලදී මෙහෙයුම් නොකඩවා පවත්වාගෙන යාමේ හැකියාවයි.”

කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී, සනත් මනතුංග මහතා පෙන්වා දුන්නේ, 2023 දී බැංකුව විසින් කල් ඇතුව ම ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර වලින් සිදුවිය හැකි පාඩු සඳහා වන ප්‍රතිපාදන ආවරණය 35% සිට 52% දක්වා වැඩි කළ බවත්, පසුව 2024 දෙවන කාර්තුවේ දී එම ආවරණය 54% දක්වා තවදුරටත් වැඩි කළ බවයි. එමගින් මෙම බැඳුම්කරවල බලපෑම පිලිගැනීම අත්හිටවූ දිනය දක්වා වූ SLISB සඳහා සමුච්චිත හානි ප්‍රතිපාදනය රුපියල් බිලියන 92.86 ක් බවට පත් විය. මෙම පියවර ක්‍රියාත්මක කිරීම බැංකුවට මෙම බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ඇති වූ ශුද්ධ පාඩු දරා ගැනීමට රුකුලක් විය.

සලකා බලන ලද වසරේ අවසාන කාර්තුවේ දී ණය දීම මෙතෙක් වාර්තා කළ ඉහළම අගයට ළඟා වූ අතර ණය පොත රුපියල් බිලියන 108.69 කින් සැළකිය යුතු ලෙස වර්ධනය වී ඇත්තේ මාසිකව රුපියල් බිලියන 36.23 ක සාමාන්‍ය අගයක් වාර්තා කරමිනි. මේ නිසා දළ ණය සහ අත්තිකාරම් රුපියල් ටි්‍රලියන 1.53 දක්වා ඉහළ ගිය අතර එය 17.73% ක වර්ධනයකි. තැන්පතු වර්ධනය ද වේගවක් වී ඇත්තේ සිව්වන කාර්තුවේ දී පමණක් රුපියල් බිලියන 26.52 ක මාසික සාමාන්‍ය අගයක් සමඟ රුපියල් බිලියන 79.56 කින් වැඩි වීමෙනි. වසර සඳහා මුළු තැන්පතු අගය රුපියල් ටි්‍රලියන 2.31 ක් දක්වා වැඩි වී ඇත්තේ පසුගිය වසරට සාපේක්ෂව 7.36% ක වර්ධනයක් පෙන්නුම් කරමිනි. එහි ප්‍රතිඵලයක් ලෙස, මාස 12 තුළදී සමූහයේ මුළු වත්කම් රුපියල් බිලියන 220.39 කින් වැඩි වී 2024 දෙසැම්බර් 31 වන දිනට රුපියල් ටි්‍රලියන 2.876 ක් වූයේ 8.30% ක යහපත් වර්ධනයක් පෙන්නුම් කරමිනි.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව