SLINTEC, මාස 12 ක් තුළ වාර්තාගත පේටන්ට් සහ නවෝත්පාදන 8 ක් වාණිජකරණය කරයි

2 (3)
  • 2024 වසරේදී වාණිජකරණය කෙරුණු වැඩිම පේටන්ට් ප්‍රමාණය
  • ග්‍රැෆයිට් පදනම්කර ගත් SLINTEC පේටන්ට් බලපත්‍රය මගින් අබුඩාබි සමුද්‍රිය පිරිසිදු කිරීමේ ක්‍රියාවලියට නවෝත්පාදනයක් 
  • SLINTEC ස්වභාවික සායම් පේටන්ට්, ඇඟලුම් කර්මාන්තයේ අපනයන වර්ධනයට දායක වෙයි

දෙසැම්බර් 24, කොළඹ– – පේටන්ට් නිෂ්පාදන 4ක් වාණිජකරණය කරමින් සහ තවත් නවෝත්පාදන 4 ක් උසස් වාණිජකරණයට ලක් කරමින් ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC) සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන්කර ඇත.

 



 
2022 සැප්තැම්බර් මස සිට, ආයෝජන බැංකුකරුවෙකු සහ රාජ්‍ය-පුද්ගලික හවුල්කාරිත්වයන් (Public-Private Partnerships) හෙවත් PPPs පිළිබඳ විශේෂඥයෙකු වන තිලාන් විජේසිංහ මහතා SLINTEC ආයතනයේ සභාපති ධුරයට පත්වූ අතර, ඇමරිකා එක්සත් ජනපදයේ Pfizer Inc., ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙකු මෙන්ම MAS සමාගමේ නවෝත්පාදන සෞඛ්‍ය විද්‍යා සහ තාක්ෂණ අංශයේ අධ්‍යක්ෂවරයෙකු ද වූ වෛද්‍ය තුෂාර වජිර පෙරේරා මහතා ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත් වූයේය. එතැන් සිට එම ආයතනය, ගෝලීය ඇගයීමට සහ තිරසාර මුල්‍යමය පදනමක් දක්වා වේගයෙන් ගමන් කරමින් මෙරට කර්මාන්ත නවෝත්පාදනය සඳහා අවශ්‍ය කැපීපෙනෙන දායකත්වයන් රැසක් ලබා දීමට සමත් වී තිබේ.

2023 වසරේ SLINTEC ආයතනයේ නායකත්වයේ සිදු වූ වෙනස්කම්වලට පෙර, එම ආයතනයේ වසර 16 ක ඉතිහාසය තුළ වාණිජකරණය කර ඇත්තේ පේටන්ට් නිෂ්පාදන සහ නවෝත්පාදන 07 ක් පමණි. එය සාමාන්‍යයක් ලෙස වසරකට 02 කට ද අඩු ප්‍රමාණයකි. තවද, 2022 වසර දක්වාම SLINTEC ආයතනය දැවැන්ත අභියෝගය රැසකට මුහුණ දුන්නේය. වසරක් හතරක් වැනි ඉතා කෙටි කාලයක් තුළ විද්‍යාඥයින් 80 කට අධික ප්‍රමාණයක් එම ආයතනය හැර ගිය අතර මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමේ අපහසුතා ආදි අභියෝග රැසක් අතර ප්‍රමුඛ වේ.

අදවන විට, වෛද්‍ය පෙරේරා මහතාගේ  නායකත්වය යටතේ නව විද්‍යාඥ කණ්ඩායමක්, එම ආයතනය හරහා නවෝත්පාදන නිෂ්පාදන වඩාත් ප්‍රායෝගික සහ වෙළෙඳපොළට සරිලන නිෂ්පාදන ලෙස සකස් කිරීමේ කාර්යයෙහි නිරතව සිටිති.

“2024 වසරේදී SLINTEC ආයතනය වාර්තාගත ආදායමක් ඉපයීමට සමත් වූ අතර, 2025 වසරේදී එය තවදුරටත් ඉහළ යාමට නියමිතයි. වර්තමානයවන විට, පුනරාවර්තන වියදම් සඳහා රජයේ මුදල් මත නොයැපෙන එකම ආයතනය SLINTEC ආයතනයයි. ජාතික විද්‍යා පදනම 50% ක කොටස් හිමිකාරිත්වය ද, MAS, LOLC, බ්‍රැන්ඩික්ස් සහ හේලීස් වැනි පුද්ගලික සමාගම් ඉතිරි 50% ක කොටස් හිමිකාරිත්වය ද දරන ආයතනයක් ලෙස SLINTEC ආයතනය, මෙරට විද්‍යාත්මක නවෝත්පාදන වැඩිදියුණු කිරීම සඳහා රාජ්‍ය සහ පුද්ගලික හවුල්කාරිත්ව (PPPs) වල වැදගත්කම මනාව විදහා පානවා,” යනුවෙන් SLINTEC ආයතනයේ සභාපති තිලාන් විජේසිංහ මහතා සඳහන් කළේය.

ස්වභාවික සායම් නිෂ්පාදනය වෙනුවෙන් සිදු කෙරුණු පර්යේෂණ සහ සංවර්ධන කටයුතු මගින් ආයතනය තිරසාරත්වය වෙනුවෙන් දක්වන කැපවීම පිළිබිඹු කරයි. එය, SLINTEC ආයතනය එම ක්ෂේත්‍රය තුළ ගෝලීය ප්‍රමුඛයෙකු ලෙස ස්ථානගත කිරීමත්, මෙරට ඇඟලුම් කර්මාන්තයේ වර්ධනයට සහ නවෝත්පාදනයට සහයෝගය ලබා දීමත් ඉලක්කකර ගත් ක්‍රමෝපායකි. මෙම ක්ෂේත්‍රය යටතේ, පොල් ලෙලි සහ පාම් තෙල් අපද්‍රව්‍ය පදනම්කර ගත් සායම් සඳහා පේටන්ට් බලපත්‍ර දෙකක් ද, ඉරිඟු ලෙලි ආදී කෘෂි අපද්‍රව්‍ය භාවිතයෙන් නිමැවෙන ඇසුරුම්කරණ අමුද්‍රව්‍ය සඳහා එක් පේටන්ට් බලපත්‍රයක් ද වාණිජකරණය කිරීමට එම ආයතනය සමත්ව සිටී.

SLINTEC ආයතනයේ සාර්ථකත්වය පිළිබඳ අදහස් පළ කරමින් එම ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය තුෂාර පෙරේරා මහතා ප්‍රකාශ කළේ, පර්යේෂණ සහ සංවර්ධන කටයුතු ක්‍රමවත්ව වාණිජකරණය කරමින් SLINTEC ආයතනය ශ්‍රී ලංකාවේ වටිනාම විද්‍යා ආයතනය බවට පත් කිරීම අපගේ දැක්මයි. “ඛනිජ සම්පත්, කෘෂිකර්මාන්තය සහ අපනයන නිෂ්පාදනය ආදී විවිධ අංශ ආවරණ කරමින්, කර්මාන්ත, දෙස්-විදෙස් විශ්වවිද්‍යාල සහ පර්යේෂණ හා සංවර්ධන ආයතන සමග ඵලදායී හවුල්කාරිත්වවලට එළඹෙමින් SLINTEC ආයතනය නවීන පර්යේෂණ සහ තිරසර නවෝත්පාදන සඳහා කේන්ද්‍රයක් බවට පත් කිරීමට අප බලාපොරොත්තු වනවා,” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව