
ශ්‍රී ලංකාවේ අංක එකේ සාමාන්‍ය රක්ෂණ සමාගම මෙන්ම ජාතික රක්ෂණකරු වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් ලිමිටඩ් (SLIC General) විසින්, 2026 සැප්තැම්බර් මස 21 දින සිට එහි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ලෙස ආසිරි වික්‍රමාරච්චි මහතා FCII (UK), පත් කර තිබේ.
රක්ෂණ ක්ෂේත්‍රය තුළ වසර 19 කට අධික සේවා පළපුරුද්දක් සතු වික්‍රමාරච්චි මහතා, ප්‍රමුඛ පෙළේ දේශීය හා බහුජාතික රක්ෂණ සමාගම් රැසක සේවය කර ඇති අතර, ඔහු අවදානම් තක්සේරුකරණය, රක්ෂණ හිමිකම්, ප්‍රතිරක්ෂණ සහ තාක්ෂණික මෙහෙයුම් යන ක්ෂේත්‍ර ගණනාවක විශේෂඥ දැනුමක් සහිත නිලධාරියෙකි. SLIC General හි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී තනතුරට පත්වීමට ප්‍රථමයෙන් ඒ මහතා, එහි සාමාන්‍ය රක්ෂණ අංශයේ ප්‍රධාන නිලධාරියා ලෙස ප්‍රධාන තාක්ෂණික මෙහෙයුම් කටයුතු අධීක්ෂණය කළේය.
ඒ මහතා රක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම වෘත්තීය සුදුසුකම ලෙස පිළිගනු ලබන එක්සත් රාජධානියේ වරලත් රක්ෂණ ආයතනය (Chartered Insurance Institute – CII, UK) මඟින් පිරිනමනු ලබන ගෞරව සාමාජිකත්වය ද (Fellow of the Chartered Insurance Institute – FCII) හිමි කර ගෙන ඇත. 2011 වසරේදී ඔහු වරලත් රක්ෂණ ආයතනයේ සහකාර සාමාජිකත්වය (Associate of the Chartered Insurance Institute – ACII) සහ වරලත් රක්ෂණකරු (Chartered Insurer) යන සුදුසුකම් ද හිමි කර ගත් අතර, එම සුදුසුකම් අත්කර ගනු ලැබූ ලාබාලතම ශ්‍රී ලාංකිකයන්ගෙන් එක් අයෙකු වීමද ඔහුගේ විශේෂත්වයකි. ඉන් අනතුරුව 2011 වසරේ ඉහළම දක්ෂතා දැක්වූ ACII සුදුසුකම් ලත් පුද්ගලයා වෙනුවෙන් පිරිනමන විශිෂ්ටතම ශිෂ්‍යයාට හිමි සම්මානය 2012 වසරේ කොළඹදී පැවැත්වුණු රක්ෂණ සමුළුවේදී ඒ මහතා වෙත පිරිනමන ලදී.
මෙම නව පත්වීම පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් (SLIC) හි සභාපති නුසිත් කුමාරතුංග මහතා මෙසේ අදහස් ප්‍රකාශ කළේය.”SLIC General ආයතනයේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ලෙස ආසිරි වික්‍රමාරච්චි මහතා පත් කිරීම පිළිබඳව අපි සතුටු වෙනවා. ඔහු සතුව තිබෙන තාක්ෂණික විශේෂඥතාව, ක්ෂේත්‍රයේ පළපුරුද්ද සහ අපගේ ව්‍යාපාරය පිළිබඳව ඇති මනා අවබෝධය, වර්තමානයේදී අපගේ සමාගමේ ඉදිරි ගමනට විශාල ශක්තියක් වෙනවා. සාමාන්‍ය රක්ෂණ අංශයේ ප්‍රධාන නිලධාරියා ලෙස කටයුතු කර ඇති ආසිරි මහතා, අපගේ SLIC General ආයතනය තවදුරටත් අඛන්ඩව ඉදිරියට ගෙනයාම සඳහා මේ මොහොතේදී නායකත්වය ලබා දීම ගැන අප අගය කොට සලකනවා.”
SLIC General ආයතනය, පාරිභෝගිකයින් මත පදනම් වූ සංස්කෘතියක් කරා අඛණ්ඩව ඉදිරියට ගමන් කරමින් සිටින මොහොතක මෙම නව පත්වීම සිදු කිරීම විශේෂත්වයක් වන අතර, පාරිභෝගික අත්දැකීම වැඩිදියුණු කිරීම, සේවා විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ තිරසර වර්ධනය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් අනාගත ගමන් මඟ තවදුරටත් ශක්තිමත් කිරීමට ආයතනය කටයුතු කරයි.
SLIC General යනු ශ්‍රී ලංකාවේ අංක 1 සාමාන්‍ය රක්ෂණ සමාගම වන අතර, රටේ වඩාත් වටිනාම සාමාන්‍ය රක්ෂණ සන්නාමය ලෙසද පිළිගැනීමට ලක්ව ඇත. එමෙන්ම, 2026 වසරේ ශ්‍රී ලංකාවේ අංක 1 වඩාත්ම ආදරයට පාත්‍ර වූ සාමාන්‍ය රක්ෂණ සන්නාමය ලෙසද SLIC General නම් කර ඇති අතර, Fitch A+ ශ්‍රේණිගත කිරීම් හි ශ්‍රී ලංකාවේ ඉහළම Fitch ශ්‍රේණිගත සාමාන්‍ය රක්ෂණ සමාගම ලෙසද SLIC General තම ස්ථානය තහවුරු කරගෙන ඇත.
දශක හයකට අධික කාලයක් පුරා විහිදී ගිය අභිමානවත් උරුමයකට හිමිකම් කියන SLIC General, දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන පුළුල් සේවා ජාලයක් සමගින් පුද්ගලයන්, පවුල්, ව්‍යාපාර සහ ජාතික අවශ්‍යතාවයන් සඳහා පුළුල් රක්ෂණ ආවරණ පිරිනමයි. මෝටර් රථ, දේපළ, නාවික, වෛද්‍ය, පුද්ගල හදිසි අනතුරු, සංචාරක රක්ෂණය ඇතුළු සාමාන්‍ය රක්ෂණ විසඳුම් රැසක් හරහා තම පාරිභෝගිකභවතුන් හට විවිධ වූ අවශ්‍යතා සපුරාලීමට SLIC General කැපවී කටයුතු කරයි.
SLIC General – පුළුල් රක්ෂණ ආවරණයක් සඳහා වූ විශ්වසනීයම තේරීමයි.


