SHMA සංචාරක නිපුණතා සහ සංවර්ධන වැඩසටහනේ පළමු පාඨමාලා සහතික ප්‍රදානය පැවැත්වෙයි

2- SHMA

ස්විට්සර්ලන්ත රජය, ස්විස් සංවර්ධන සහ සහයෝගිතා ආයතනය හා බවර් සමාගම එක්ව ක්‍රියාවට නැංවූ ‘තිරසාර වර්ධනය සඳහා වූ නිපුණතා (Skills for Sustainable Growth -SSG) වැඩසටහන‘ යටතේ සංචාරක පුහුණුව ලබාගත් පළමු ශිෂ්‍ය කණ්ඩායමේ පාඨමාලා සහතිකපත් ප්‍රදානෝත්සවය ඉකුත් ජුනි 4 වැනිදා උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණි.

 



 

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ පවතින විවිධ රැකියා අවස්ථා වෙනුවෙන් මෙරට තරුණ පරපුර විධිමත් ලෙස සූදානම් කිරීමේ අරමුණින් මෙම SSG වැඩසටහන වැඩසටහන දියත් කර තිබේ. මාස නමයක මෙම පුහුණු වැඩසටහනට මාස 4ක පන්ති කාමර දේශන සහ මාස 5ක වැටුප් සහිත ආධුනිකත්ව පුහුණු කාලසීමාවක් අයත්විය.

ස්විස් වෘත්තීය නිපුණතා සංවර්ධන විෂම මාලාව පදනම් කරගනිමින් නිර්මාණය කරන ලද SSG වැඩසටහන හරහා මෙරට සංචාරක කර්මාන්තයටත් පොදුවේ රටේ ආර්ථිකයටත් දැවැන්ත දායකත්වයක් ලබාදීමට අපේක්ෂිතය. දැනට සංචාරක කර්මාන්තය තුළ ඇති කුසලතා හිඟය මඟහරවාගැනීමටත්, ක්ෂේත්‍රය තුළ ගුණාත්මක අධ්‍යාපන ප්‍රමිතීන් ගොඩනැගීමටත්, සංචාරක කර්මාන්තයේ කාන්තා නියෝජනය ඉහළ නැංවීමටත්, ශ්‍රී ලංකාව ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස දියුණු කිරීමටත් මෙම වැඩසටහන අරමුණු කරයි.

පාඨමාලා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය පැවැත්වුණේ මහනුවර ග්‍රෑන්ඩ් කැන්ඩියන් හෝටලයේදී ය. එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්විස් තානාපති සිරි වෝල්ට් මහතා ද, තානාපති කාර්යාලයේ පළමු ලේකම් (සංක්‍රමණ) ඩොරිස් මැනර් මහතා ද බවර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ රොල්ෆ් බ්ලාසර් මහතා ද, ජාතික යොවුන් සේනාංක අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුජීව රත්නායක මහතා සහ එහි නිලධාරීන් ද, ව්‍යාපෘතියට සම්බන්ධ හෝටල්වල සාමාන්‍යාධිකාරීවරුන් ද, ස්විස් හොස්පිටැලිටි ඇන්ඩ් මැනේජ්මන්ට් ඇකඩමි (Swiss Hospitality & Management Academy- SHMA) ආයතනයේ කාර්යමණ්ඩල සාමාජිකයින් ද ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

The SSG වැඩසටහනේ පළමු පුහුණු මධ්‍යස්ථාන දෙක මාතලේ සහ මහනුවරදී පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ආරම්භ විය. ඉකුත් දෙසැම්බර් මාසයේදී නුවරඑළිය පුහුණු මධ්‍යස්ථානයෙ විවෘත කිරීමත් සමඟ සමස්ත මධ්‍යම පළාතම ආවරණය කිරීමට වැඩසටහනට හැකිවිය. 2023 වර්ෂයේදී වැඩසටහනට එක්වූ ශිෂ්‍ය සංඛ්‍යාව 206ක් වූ අතර ඉන් 54ක් ශිෂ්‍යාවෝ වූහ.  එම සෑම පුහුණු මධ්‍යස්ථානයකම 26%ක කාන්තා නියෝජනයක් ළඟා කරගැනීමට ද වැඩසටහන ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් විය. මෙම වැඩසටහන වෙනුවෙන් ජාතික යොවුන් සේනාංකය ද SHMA සමඟ එක්වූ අතර පුහුණු මධ්‍යස්ථාන ද ජාතික යවුන් සේනාංක පරිශ්‍රවල ස්ථාපිත කර තිබේ.

SSG වැඩසටහනට අනුග්‍රහය දක්වන්නේ බවර් සමාගමට අනුබද්ධිත SHMA ආයතනයයි. SHMA යනු ඉහළ ගුණාත්මකබවින් යුත් හෝටල් වෘත්තීකයින් බිහිකිරීම අරමුණු කරගනිමින් ජාත්‍යන්තර ප්‍රමිතියේ උසස් අධ්‍යාපනයක් ලබාදෙන ආයතනයකි. එය වර්ෂ 1893 සිට සංචාරක කර්මාන්ත අධ්‍යාපනයේ ප්‍රමුඛයෙකුවන EHL වෘත්තීය ඩිප්ලෝමා පිරිනැමීමේ අවසරලත් අධ්‍යාපන ආයතනයකි. EHL වෘත්තීය ඩිප්ලෝමා සතුව ලොව පුරා රටවල් 120ක 25,000කට වැඩි සිසුන් ජාලයක් පැවතීම කැපීපෙනේ.

නාඋල සහ මහනුවර පුහුණු මධ්‍යස්ථානවලදී සිව් මාසික දේශන සාර්ථකව අවසන් කළ සිසුන් 73 දෙනෙකු වැටුප් සහිත ආධුනිකත්ව පුහුණු අවස්ථාවලට යොමු කරන ලදී. ඒ අනුව ඔවුහු, මහනුවර හෝටල් සංගමයේ සහ සංස්කෘතික ත්‍රිකෝණ හෝටල් සංගමයේ සාමාජිකත්වය සහිත සහ SSG වැඩසටහනට සහයෝගීතාව ලබාදෙන හෝටල් 13ක තම පුහුණු අවස්ථා ලබාගත්හ. ඒ නවාතැන් පහසුකම්, ආහාරපාන සහ දීමනා ද සමඟිනි. ඒ අතුරින් 60 දෙනෙක් පුහුණුව සාර්ථකව නිම කළේ සියයට 82ක සාර්ථකත්ව ප්‍රතිශතයක් ද ළඟාකරගනිමිනි. පුහුණුව අවසානයේ ඔවුන්ට ‍එම හෝටල් ආශ්‍රිතවම රැකියා අවස්ථා ද හිමිව තිබුණි.

මෙම ව්‍යාපෘතිය හරහා ජාතික යොවුන් සේනාංකය, සංචාරක කර්මාන්තය සහ සමස්තයක් ලෙස රටේ ආර්ථිකයට ස්විස් වෘත්තීය නිපුණතා සංවර්ධන විෂය මාලාව තුළින් ප්‍රතිලාභ සැලසීම අපේක්ෂා කෙරේ. ඒ අනුව තරුණ ප්‍රජාව කුසලතා පූර්ණ අනාගත වෘත්තිකයින් බවට පත්කිරීම වෙනුවෙන් SHMA හි පුහුණුව ලබාදෙන ප්‍රවීණ වෘත්තිකයෝ මෙම වැඩසටහනට සිය දායකත්වය ලබාදෙති.

මේ වසරේ මාර්තු මාසයේදී SSG වැඩසටහනේ වීරවිල පුහුණු මධ්‍යස්ථානය ද ඇරඹුණු අතර, මහනුවර, නුවරඑළිය සහ නාඋල මධ්‍යස්ථානවල දෙවැනි ශිෂ්‍ය බඳවාගැනීම ද සිදුකෙරුණි. මේ වසරේ ජූලි සහ අගෝස්තු මාසවලදී වැඩසටහන යටතේ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, ගම්පහ දිස්ත්‍රික්කයේ කටුනායක, මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චේනෙයි, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කුච්චවේලි සහ අම්පාර මධ්‍යස්ථාන ද ආරම්භ කිරීමට නියමිත ය. වසර අවසානය වනවිට සමස්ත පුහුණු මධ්‍යස්ථාන සංඛ්‍යාව 10ක් දක්වා වැඩිකිරීමටත්, 2025 වසර අවසන් වනවිට සිසුන් 2240ක් පුහුණු කිරීමටත් වැඩසටහන අපේක්ෂා කරයි.

මහනුවර මධ්‍යස්ථානයේ ශිෂ්‍ය බඳවාගැනීම් මේ දිනවල සිදුවන අතර, ජූලි මාසයේදී බුලත්සිංහල, කටුනායක, රාජගිරිය, කුච්චවේලි, වාලච්චේනෙයි මධ්‍යස්ථානවල සිසුන් ලියාපදිංචිය ද, අගෝස්තු මාසයේදී නාඋල, නුවරඑළිය සහ වීරවිල මධ්‍යස්ථානවල සිසුන් ලියාපදිංචි කරගැනීම ද සිදුකෙරේ. ඉංග්‍රීසි භාෂාවට සී සාමාර්ථයක් සමඟින් අපොස සාමාන්‍ය පෙළ විභාගය සම්පූර්ණ කළ සහ සංචාරක කර්මාන්තය පිළිබඳ ලැදියාවක් ඇති යෞවන යෞවනියන්ට ඉහත සඳහන්කළ පුහුණු මධ්‍යස්ථානවලදී වැඩසටහනට ලියාපදිංචි විය හැක. ssg@baurs.com ඊමේල් ලිපිනය හෝ www.baurs.com/shma වෙබ් අඩවිය හරහා වැඩිදුර තොරතුරු ලබාගත හැක.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව