
කොළඹ 07 රාජකීය විද්‍යාලයීය බෞද්ධ ශිෂ්‍ය සහෝදර සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘අරණ්‍යාභිධාන’ 2026 ව්‍යාපෘතිය මෙවර දෙවන වරටත් සැප්තැම්බර් 24 වැනිදා මීගොඩ මෙත්තාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාව පුරා පිහිටි ආරණ්‍ය සේනාසන හා විහාරස්ථාන සඳහා තිරසාර හා අර්ථවත් සහයෝගයක් ලබාදීම අරමුණු කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. ආධ්‍යාත්මික ජීවිතයට කැපවී ආරණ්‍ය සේනාසනවල වැඩවසන මහා සංඝරත්නයේ සුබසාධනය සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමද මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණකි.
මෙවර ව්‍යාපෘතිය යටතේ මීගොඩ මෙත්තාරාම විහාරස්ථානයේ වැඩවසන භික්ෂූන් වහන්සේලා වෙත වියළි ආහාර ද්‍රව්‍ය සහ සනීපාරක්ෂක භාණ්ඩ පූජා කිරීම සිදුකෙරිණි. එමෙන්ම විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය ටයිල් ද පූජා කරමින් විහාරස්ථානයේ භෞතික සංවර්ධනයටද සහයෝගය ලබාදෙන ලදී.
මෙම සත්කාර්යය රාජකීය විද්‍යාලයීය බෞද්ධ ශිෂ්‍ය සහෝදර සංගමයේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් හා කැපවීමෙන් සංවිධානය කර තිබූ අතර, ආගමික හා සමාජීය වගකීම් ඉටුකරමින් තරුණ පරපුර තුළ කරුණාව, දානමය සිතිවිලි සහ සමාජ සේවා ආකල්ප වර්ධනය කිරීමද මෙහි අරමුණකි.
රාජකීය බෞද්ධ ශිෂ්‍ය සහෝදර සංගමයේ සභාපති ලෙස ජනිදු සිල්වා කටයුතු කරන අතර, ‘අරණ්‍යාභිධාන’ 2026 ව්‍යාපෘතියේ සභාපති ලෙස කෙනුල් අදිකාරි කටයුතු කරයි. සංගම් භාර ආචාර්යවරිය ලෙස උජාලා රාමනායක ගුරු මෑණියන් කටයුතු කරන අතර, රාජකීය බෞද්ධ ශිෂ්‍ය සහෝදර සංගමයේ ප්‍රධාන අනුශාසක ලෙස දෙනගම සුධම්ම තෙරණුවෝ කටයුතු කරති.
‘අරණ්‍යාභිධාන’ ව්‍යාපෘතිය ඉදිරියේදීද ශ්‍රී ලංකාව පුරා පිහිටි ආරණ්‍ය සේනාසන හා විහාරස්ථාන වෙත අර්ථවත් සහ තිරසාර සහයෝගයක් ලබාදීමේ අරමුණින් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රාජකීය විද්‍යාලයීය බෞද්ධ ශිෂ්‍ය සහෝදර සංගමය අපේක්ෂා කරයි.


