Q+ ගෙවීමේ ඇප් පහසුකම දැන් සියළුම බැංකුවල ගනුදෙනුකරුවන් සඳහා විවෘතයි

Q+ integrates with JustPay (LBN)

ශ්‍රී ලංකාවේ ජාතික ජංගම ගෙවීම් ජාලය වන LankaPay විසින් හඳුන්වා දුන් ‘JustPay’ ඩිජිටල් වේදිකාව සමඟ ඒකාබද්ධ වීමත් සමඟ ම කොමර්ෂල් බැංකුව මගින් බලගැන්වෙන Q+  ගෙවීම් යෙදුම දැන් අනෙකුත් බැංකුවල ගනුදෙනුකරුවන්ට ද භාවිතා කිරීමේ හැකියාව ලැබී ඇත.

මෙම ඒකාබද්ධ කිරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් කොමර්ෂල් බැංකුව ප්‍රකාශ කලේ JustPay වේදිකාව භාවිතා කරන ඕනෑම දේශීය බැංකුවක ගනුදෙනුකරුවන්ට Q+  ගෙවීම් යෙදුම බාගත කරගෙන, ඒ හරහා QR කේත සඳහා ගෙවීම්, බිල්පත් ගෙවීම්, අරමුදල් හුවමාරු කිරීම සහ වෙනත් ගෙවීම් වර්ග සිදු කළ හැකි බවයි. තවද, එම යෙදුම හරහා වසර පුරාවට ම ලබා දෙන  ප්‍රතිලාභ සහ දීමනා රැසක් භුක්ති විඳීමට ද ඔවුන්ට අවස්ථාව ලැබේ.
 



 
Lanka QR  විසින් සහතික කරන ලද ශ්‍රී ලංකාවේ පළමු ජංගම ගෙවීම් යෙදුම වන Q+ ගෙවීම් යෙදුම, ශ්‍රී ලාංකික ව්‍යාපාර සඳහා LankaQR” VisaQR” MastercardQR” UnionPayQR” IndianUpiQR සහ AliPay QR ආදී QR කේත වර්ග හයක් භාවිතා කිරීමේ හැකියාව ලබා දෙන එකම QR ගෙවීම් පහසුකමයි. JustPay වේදිකාව සමඟ සම්බන්ධ වීම මගින් මෙම යෙදුම භාවිතා කළ හැකි පාරිභෝගික පිරිස වඩාත් පුළුල් වන අතර එමගින් පාරිභෝගික පහසුකම් තවත් වැඩි වනවා සේම වඩාත් අන්තර්ගත වූ මූල්‍ය පරිසර පද්ධතියක් පෝෂණය කිරීමට හැකියාව ලැබී ඇති බව බැංකුව පවසයි.

“ඩිජිටල් ගෙවීම් පහසුකම් ගොඩනැඟීමේ පුරෝගාමියා ලෙස කොමර්ෂල් බැංකුව මෙම ක්ෂේත්‍රය තුළ අඛණ්ඩ වර්ධනය, නව්‍යෝත්පාදනය සහ සේවාවන් පුළුල් කිරීම කෙරෙහි දැඩි අවධානය යොමු කරන්නේ ගෝලීය වර්ධනයන් සමඟ ශ්‍රී ලංකිකයන්ට කරට කර වේගයෙන් ගමන් කළ හැකි බව සහතික කිරීම සඳහා යි,” යනුවෙන් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා පැවසීය. අනෙකුත් බැංකුවල ගනුදෙනුකරුවන්ට ද භාවිතා කිරීමට හැකි වන අයුරින් මෙම යෙදුමේ සේවාවන් පුළුල් කිරීම මගින් පරීශීලකයින් සඳහා බාධාවකින් තොරව, වඩාත් ආරක්ෂිත සහ කාර්යක්ෂම ගෙවීමේ අත්දැකීමක් ලබා දෙන අතර මූල්‍ය ක්‍රියාකාරකම් සඳහා යොමු වීම සහ පාරිභෝගිකයාගේ පහසුව වැඩි වීම සඳහා එය පිටුවහලක් වන බව ද ඔහු පැවසීය.

JustPay වේදිකාව තුළට Q+ ගෙවීම් යෙදුම පහසුකම ඇතුළත් වීම පිළිබඳ LankaPay හි ප්‍රධාන විධායක නිළධාරී චන්න ද සිල්වා මහතා මෙසේ පැවසීය: “ශ්‍රී ලංකාව පුරා සිටින ගනුදෙනුකරුවන් මූල්‍ය ක්‍රියාකාරකම් සඳහා යොමු වීම සහ ඔවුන්ට පහසුව වර්ධනය කිරීමට JustPay ජාලයට සම්බන්ධ වන 29 වැනි යෙදුම ලෙස Q+ ගෙවීම් යෙදුම සාදරයෙන් පිළිගනිමු. භාවිතයේ සැළකිය යුතු වර්ධනයක් ඇති කිරීම සඳහා විභවයක් නිර්මාණය කරමින් මෙම ඒකාබද්ධ කිරීම මගින් ඕනෑම බැංකුවක ගනුදෙනුකරුවන්ට කොමර්ෂල් බැංකුවේ ඩිජිටල් ගෙවීම් වේදිකාව වන Q+ ගෙවීම් යෙදුම භාවිතා කිරීමට ඉඩ සලසා දී තිබේ. වැඩි පාරිභෝගික කොටසක් වෙත මෙම යෙදුමේ ප්‍රවේශය ලබා දීමටත්, දැනට සම්බන්ධිත ව්‍යාපාරවලට අත්වන ප්‍රතිලාභ වැඩි කිරීමටත් නව ව්‍යාපාරවලට Q+ ගෙවීම් යෙදුම සමඟින් එකතු වීමට ද මෙය දිරිමත් කිරීමකි. එමගින් මූල්‍ය ක්‍රියාකාරකම් සඳහා යොමු වීම වර්ධනය වන මූල්‍ය පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම පමණක් නොව නව්‍යෝත්පාදනයන් මෙහෙයවීම හා විශ්වසනීයත්වය ලබා දීම වෙනුවෙන් වූ අපගේ සාමූහික ප්‍රයත්නයන් ශක්තිමත් වීම ද සිදු වේ.”

පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 974 ක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව