
දිට්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාවට බලපෑ පසුව ඉන් විපතට පත් ජනතාව සහ දේපළ මුදාගැනීම සඳහා පොලිස් නිලධාරීන්ගෙන් ඉටු වූයේ අමිල මෙහෙවරකි. එහෙත් ඔවුන් අතරින් බොහෝ දෙනෙකුගේ පවුල්ද මෙම ව්‍යසනයෙන් පීඩාවට පත්වූහ. බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු නොවූ මෙම ගැටලුව කෙරෙහි අවධානය යොමු කරමින්, විපතට පත් පොලිස් නිලධාරීන්ගේ දරුවන්ට සහන සැලසීමේ දීපව්‍යාප්ත වැඩසටහනක් ‘PRIME සෙනෙහසේ දෑත’ නමින් දියත් කිරීමට PRIME සමූහ ව්‍යාපාරය පියවර ගත්තේය. එම වැඩසටහන යටතේ අදාළ දරුවන්ට බාධාවකින් තොරව සිය අධ්‍යාපන කටයුතු කරගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාග කරන ලදි.
මෙය එම දරුවන්ට නැවතත් ගෞරවාන්විත ලෙස සහ ආත්ම විශ්වාසයෙන් යුතුව තම අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම සඳහා ලැබුණු මහඟු අත්වැලක් ලෙස හැඳින්විය හැකි වේ. දිවයින පුරා දරුවන් 1,000 කට ‘PRIME සෙනෙහසේ දෑත’ හිමි වූ අතර, ඒ සඳහා PRIME සමූහය විසින් සිදුකරන ලද ආයෝජනය රු. මිලියන 10 කට අධිකය.
කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවත්වන ලද විශේෂ උත්සවයකදී මෙම පාසල් උපකරණ භාරදෙන ලදි. මෙම අවස්ථාවට ගරු මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමන්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පොලිස්පතිතුමන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, පොලිස් පවුල් සුභසාධන සංගමයේ සහ පොලිස් සේවා වනිතා ඒකකයේ නියෝජිතයන් සහ පොලිස් නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්වූහ. PRIME සමූහය නියෝජනය කරමින් එහි සභාපතිතුමන්, සම සභාපතිනිය, ප්‍රධාන විධායක නිලධාරීතුමන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජික සාමාජිකාවන් ඇතුළු පිරිසක් ඊට සහභාගී වූහ. අරුණ ප්‍රසාද් ලේකම්ගේ සහ ආචාර්ය ක්‍රිශාන්ත පතිරාජ යන මහත්වරුන්ගේ සම්බන්ධීකරණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.
“මේ දුෂ්කර අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් රට වෙනුවෙන් ඉටුකරන ලද මෙහෙවරට කෘතගුණ සැලකීමක් වශයෙන් මේ ආකාරයට ඔවුන්ගේ දරුවන්ට සහ පවුල්වලට අත්වැලක් වීමට හැකි වීම අපට මහත් සතුටක්. සුළි කුණාටුව හේතුවෙන් තමන්ට මුහුණ දීමට සිදු වූ අහිමි වීම් හා දුෂ්කරතා පවා නොතකා මේ පොලිස් නිලධාරීන් රටට සේවය කිරීමට කැප වුණා. මෙවැනි බරපතළ අභියෝගකාරී අවස්ථාවක පවා රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් ඉටු කළ මෙහෙවරට අපගේ හද පත්ලෙන්ම නැගෙන ගෞරවය ඔවුන් වෙත හිමි විය යුතුයි.” PRIME සමූහ ව්‍යාපාරයේ සම සභාපතිනිය වන සඳමිණි පෙරේරා මහත්මිය පැවසුවාය.
වසර 30 ක් පුරා ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ පෙරමුණ ගෙන සිටින PRIME සමූහ ව්‍යාපාරය අභියෝගවලට සාර්ථක ලෙස මුහුණ දිය හැකි ප්‍රජාවන් නිර්මාණය කිරීමට සහ, ව්‍යාපාර කටයුතුවලින් ඔබ්බට ගොස් රටේ යහපත වෙනුවෙන් සිය සහයෝගය ලබාදීමට සෑම විටම කැප වී සිටී. මෙම සමාජ සත්කාරය, රටේ පවුල්වල යහපැවැත්ම වෙනුවෙන් කැපවීම සහ රටට සේවය කරන්නන්ට සහයෝගයක් අවශ්‍ය මොහොතක ඒ සඳහා නොපැකිළ ඉදිරිපත් වීම සම්බන්ධයෙන් PRIME සමූහය සතු දීර්ඝකාලීන දැක්ම මැනැවින් නිරූපණය කරන්නකි.


