PickMe ‘නැණ පහන’ තුළින් රියැදුරු සාමූහිකයේ දරු දැරියන්ට අධ්‍යාපන කටයුතු සඳහා සහන

PickMe_Nena Pahana_COO - Isira Perera giving away vouchers (LBN)

ඩිජිටල් මොබිලිටි සොලුයුෂන්ස් ලංකා පොදු සීමාසහිත සමාගමට අයත් PickMe ප්‍රවාහන මෘදුකාංග සේවයට අනුබද්ධිත ස්වාධීන තුන්වන පාර්ශවීය රියැදුරන්ගේ දරුවන් වෙනුවෙන් සංවිධානය කරන ‘නැණ පහන’ වාර්ෂික උත්සවය 2025 පෙබරවාරි 12 වන දින, BMICH හි ලෝටස් ශාලාවේදී පවත්වන ලදී. මෙය, සමාගම විසින් 2018 වසරේ දියත් කරන ලද ‘නැණ පහන’ සුබසාධන වැඩසටහනේ 8 වැනි අදියර වේ.

වැඩසටහන ආරම්භයේ සිට මේ දක්වා PickMe සමග ස්වාධීනව සම්බන්ධ වී විශිෂ්ට සේවයක් ඉටු කරන රියැදුරන්ගේ සිසු දරුවන් 4,150 කට අධික පිරිසක් ‘නැණ පහන’ වැඩසටහන තුළින් ප්‍රතිලාභ ලබා ඇත. මේ වසරේදී ද  අධ්‍යාපනික කටයුතු සඳහා අවශ්‍ය පාසල් උපකරණ ලබා ගැනීම පිණිස සිසුන් 650 කට අධික සංඛ්‍යාවකට PickMe සමාගම වවුචර බෙදා දෙන ලදී. එමෙන්ම මේ වන තෙක් සුභසාධන වැඩකටයුතු වෙනුවෙන් සිදුකර ඇති රුපියල් මිලියන 20ක සමස්ත ආයෝජනය සහ 2025 වසර සඳහා වෙන් කර ඇති අතිරේක රුපියල් මිලියන 7.5කුත් සමගින්, PickMe සමාගම සිය ස්වාධීන තුන්වන පාර්ශවීය රියැදුරු ප්‍රජාව දිරිගන්වීමට කැපව සිටී.

 



 
රියැදුරු සුභසාධනයට ප්‍රමුඛ ස්ථානයක් දෙන PickMe සමාගම, තම රියැදුරු App එකෙහි ඇති  ‘මයි ෆිනෑන්ස්’ (My Finance) මෙවලම හරහා රියැදුරන්ගේ ඉපැයීම් පහසුවෙන් සහ වේගයෙන්, යාවත්කාලීන කරමින් ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත ලැබෙන්නට සලස්වන අතර එම සේවාව සඳහා  කිසිම අමතර අයකිරීමක් සිදු නොකරයි. රියැදුරන් සඳහා පැය 24, දින 7 පුරාම ක්‍රියාත්මක  ඇමතුම් මධ්‍යස්ථාන පහසුව ලැබෙන අතර, අමතර සුබසාධන සේවාවන් සහ විශේෂ වට්ටම් සහිත රක්ෂණ පැකේජද ලබා ගැනීමට පහසුකම් ලබාදෙයි.

එමෙන්ම දිවයින පුරා ව්‍යාප්ත වන  PickMe ශාඛාවන්, රියැදුරු-හවුල්කරුවන් හට තවත් විශේෂ සහායක් වේ. එය රියැදුරන්ගේ කටයුතු තවත් සුවපහසු කර, විශ්වසනීය සබඳතාවන් ගොඩනංවා සේවාලාභීන්හට උසස් සේවාවක් ලබා දීමට ඉවහල් වනු ඇත.

PickMe හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ජිෆ්‍රි සුල්ෆර් මහතා, මෙම වැඩසටහනේ වැදගත්කම  ගැන සඳහන් කරමින් පවසන්නේ “රියැදුරු සුබසාධන වැඩසටහන් හුදෙක් මූල්‍යමය ප්‍රතිලාභ වලින් ඔබ්බට යායුතුයි. ‘නැණ පහන’ වැඩසටහන මගින් අපි සමාජයේ අනාගත ප්‍රගතිය වෙනුවෙන් දායක වන අතරම රියැදුරන්ට ඔවුන්ගේ පාරිභෝගිකයන් හට, ගුණාත්මක සේවාවක් ලබා දෙන්නටත් දිරිගන්වනවා.”

‘නැණ පහන’ වැඩසටහන පමණක් නොව, ඉන් ඔබ්බට ගිය තවත් සුබසාධන ප්‍රතිලාභ රැසක් PickMe වෙතින් රියැදුරු ප්‍රජාව වෙත ලැබෙන්නට සලස්වන අතර, සමූපකාර රක්ෂණ සමාගම වෙතින් ලබා දෙන රුපියල් මිලියන 3 ක් දක්වා ජීවිත රක්ෂණයක්ද ඊට ඇතුළත් වේ. එමෙන්ම ගුණාත්මක සේවාවන් අගය කරමින් දෛනික, සතිපතා සහ මාසික දිරි දීමනාද ඒ අතර වෙයි. පහ වසර ශිෂ්‍යත්වයෙන්, අ.පො.ස සාමාන්‍යපෙළ සහ උසස්පෙළ විභාග වලින් විශිෂ්ට ප්‍රථිපල ලබන තෝරාගනු ලබන රියැදුරන්ගේ දරුවන්හට වවුචර ලබාදීමත් සිදුකෙරේ. රියැදුරන් වෙත වෙනත් තුන්වන පාර්ශවීය ආයතන සහයෝගිතා හරහා පිරිනැමෙන වාහන නඩත්තුව, ඉන්ධන සඳහා වන විශේෂ වට්ටම් මෙන්ම ජංගම දුරකථන සේවා සඳහා වන විශේෂ වට්ටම්, අඩු වියදම් සහිත සෞඛ්‍ය සේවා ආදියත් සුබසාධන ප්‍රතිලාභ වලට ඇතුළත් වෙයි.

‘නැණ පහන’ වැඩසටහනෙන් ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබන්නේ PickMe හි ප්ලැටිනම් කාණ්ඩයට අයත් තොරාගනු ලබන රියැදුරන් පමණක් වන අතර ගුණාත්මක සේවාවක් සැපයීම, සේවාලාභීන්ගේ ප්‍රතිචාර ආදී  කරුණු රැසක් මත තෝරාගැනීම සිදුකෙරේ.

සිසු දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීමට ප්‍රමුඛත්වය දෙන ‘නැණ පහන’ වැනි වැඩසටහන් ඔස්සේ රියැදුරු ප්‍රජාවේ සහ ඔවුන්ගේ පවුල්වල ප්‍රගතිය වෙනුවෙන් ඇප කැප වෙමින්, ශ්‍රී ලංකාවේ අනාගතය ඔප් නැංවීමේ කර්තව්‍යට දායක වන PickMe, ස්වාධීන තුන්වන පාර්ශවීය රියැදුරු ප්‍රජාවගේ සුභසාධනයට ප්‍රමුඛත්වය දෙන අතරම රියැදුරන් සහ සේවාලාභීන් යන දෙපිරිසටම ගුණාත්මක උසස් සේවාවක් ලබාදීමට කටයුතු කරයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව