Omega Line සමාගම විශිෂ්ට කළමනාකරණ භාවිතයේ ඉහළම සම්මාන දිනයි

Omega Line (LBN)

පසුගියදා පැවැති විශිෂ්ට කළමනාකාරණ භාවිතා සහිත සමාගම් සම්මාන උළෙලේදී සමස්ත රිදී සම්මානය ඇතුළු ගෞරව සම්මාන 9කින් පිදුම්ලැබීමට Omega Line සමාගම සමත්විය. ඒ සියලු කර්මාන්ත අතුරින් ඉහළම කාර්යසාධනයක් පෙන්නුම් කළ සමාගම බවට පත්වෙමිනි.

Oniverse සමූහයට අයත් Omega Line සමාගම ඇඟලුම් සහ රෙදිපිළි අංශයේ සම්මානය දිනාගත් අතර, සෙසු අංශ හතරක ද සම්මාන දිනාගැනීමට සමත්විය. ඒවා නම්, සමාගමේ මූලික මෙහෙයුම් සඳහා තිරසරභාවය එක්කරගැනීම හරහා හිමිවන පාරිසරික නියාමන සම්මානය, තම කාර්යමණ්ඩලයේ සුබසාධනය, ආචාර ධාර්මික භාවිතාවන් සහ විනිවිදභාවයෙන් යුතු කළමනාකරණ ආකෘතිය සඳහා හිමිවන සේවක සහ මානව සම්පත් නියාමන සම්මානය, කාන්තාවන්ට නායකත්ව භූමිකා පිරිනැමීම සහ ඔවුන් සවිබලගැන්වීම වෙනුවෙන් හිමිවන කාන්තා නායකත්ව සහ කාන්තා කේන්ද්‍රී ක්‍රියාකාරකම් සම්මානය සහ මහා පරිමාණ අපනයන කාණ්ඩයේ අපනයන සම්මානය වේ.



මීට  අමතරව මෙරට විශිෂ්ටතම සමාගම් 40 අතරට ද නම් කෙරුණු Omega Line සමාගම, හොඳම කළමනාකරණ භාවිතාවන් ඇති සමාගම් 10 සඳහා පමණක් පිරිනැමෙන කළමනාකරණ භාවිතා විශිෂ්ටතා සම්මානයෙන්ද පිදුම් ලැබීය. තව ද සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී  සහ කළමනාකාර අධ්‍යක්ෂ ෆීලික්ස් ඒ. ප්‍රනාන්දු මහතාට ද නායකත්ව විශිෂ්ටතාව වෙනුවෙන් වූ සම්මානය හිමිවිය.

මෙම සම්මාන 9ත් සමඟ 2024/2025 කාලයේදී සමාගම දිනාගෙන ඇති සමස්ත සම්මාන සහ ගෞරව බුහුමන් ප්‍රමාණය 35 ඉක්මවයි. එම සම්මාන අතර 2024/25 ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී දිනාගත් සම්මාන හතර විශේෂ වේ. එහිදී වසරේ අපනයනකරු සම්මාන දිනාගැනීමට ද Omega Line සමාගමට හැකිවිය. ඊට අමතරව නිෂ්පාදන විවිධාංගීකරණය අනුව හොඳම අපනයනකරු, අපනයන සැපයුම් දාමයට ග්‍රාමීය ප්‍රදේශවල දායකත්වය සැපයීම, සහ මහා පරිමාණ කාණ්ඩයේ හොඳම ඇඟලුම් අපනයනකරු යන ජාතික සම්මාන හතර ද සමාගමට හිමිවිය. එමෙන්ම Great Place to Work ශ්‍රේණිගතකිරීම ද, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විශිෂ්ටතම අපනයනකරු- වෙළෙඳ භාණ්ඩ සම්මානය ද සමාගම දිනාගෙන තිබේ.

″මෙය අපේ සමස්ත කාර්යමණ්ඩලයේම කැපවීම වෙනුවෙන් හිමිවූ සම්මානයක්. වගකීම් සහගත ව්‍යාපාර භාවිතාවන් සහ ශක්තිමත් වාණිජ කාර්යසාධනය එකවිට ළඟාකළ හැකිබව අපි සෑමවිටම විශ්වාස කළ දෙයක්. මෙම සම්මාන තුළින් එම විශ්වාසය තවත් තහවුරු වෙනවා″, යනුවෙන් සම්මාන පිළිබඳ අදහස් දක්වමින් ෆීලික්ස් ඒ. ප්‍රනාන්දු මහතා පැවසුවේය.

Calzedonia, Intimissimi, සහ Tezenis වැනි යුරෝපීය ඇඟලුම් සන්නාම අතර උසස් තත්ත්වයේ ඇඟලුම් නිෂ්පාදකයෙක් ලෙස Omega Line නමක් දිනාගෙන සිටී. එහිදී ජපානය, චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවලින් උසස් තාක්ෂණය මෙන්ම තාක්ෂණික සහයෝගීතාවන් ද ලබාගනිමින් ගෝලීය ඇඟලුම් කර්මාන්තය තුළ උසස් තත්ත්වයේ නිෂ්පාදන ඉදිරිපත් කිරීමට සමාගම පියවර ගැනීම ඊට පාදක වී තිබේ.

සමාගමේ සේවා සංස්කෘතිය තුළ ද අන්තර්කරණයට සහ විවිධත්වයට ඉහළ තැනක් හිමිවේ. එතුළින් සේවා ස්ථානය තම දෙවැනි නිවහන ලෙස සළකන කාර්යමණ්ඩලයක් නිර්මාණය කරගැනීමටත්, සේවකයින් අතර සහයෝගීතාව වැඩිකරගැනීමටත් සමාගමට හැකිවී ඇත.

Omega Line සමාගමේ තවත් විශේෂත්වයක් වන්නේ එහි සමස්ත කාර්යමණ්ඩලයෙන් සියයට 90කට වඩා වැඩි පිරිස කාන්තාවන් වීම ය. තව ද සේවකයින් වෙනුවෙන් සෞඛ්‍ය, ප්‍රවාහන පහසුකම් මෙන්ම නිසි වෘත්තීය සංවර්ධන වැඩසටහන් ක්‍රියාවට නැංවීමට ද සමාගම කටයුතු කර ඇත්තේ, සිය වගකීම් සහගත ව්‍යාපාර භාවිතාවන් සහ ව්‍යාපාර අභිවෘද්ධිය අතර ශක්තිමත් පාලමක් ගොඩනඟමිනි.

මේ අතර සමාගම නියෝජනය කරන පැසිපන්දු සහ දැල්පන්දු කණ්ඩායම් ද විවිධ තරගාවලි ජයග්‍රහණ රැසක් දිනාගැනීමට සමත්ව තිබේ. වර්ෂ 1999දී ආරම්භ වූ Omega Line ටෝස්ට්මාස්ටර් සමාජය ද සේවකයින්ගේ සන්නිවේදන සහ නායකත්ව කුසලතා වැඩිදියුණු කිරීමට සමත්ව තිබේ. ටෝස්ට්මාස්ටර් සමාජය තුළ Omega Lineහි දායකත්වයේ ඇති ශක්තිමත් බව තවදුරටත් පෙන්නුම් කරමින් සේවක අභිවෘද්ධිය සහ ටෝස්ට්මාස්ටර් සමාජයට ඇති දායකත්වය වෙනුවෙන් විශේෂ සමාගම් ගෞරව සම්මානයක් දිනාගැනීමට ද සමාගමට හැකිවිය. මෙතෙක් එවැනි සම්මානයක් දිනාගෙන ඇත්තේ තවත් එක් සමාගමක් පමණි.

වර්තමානයේදී Omega Line සමාගම වාර්ෂිකව ඇඟලුම් මිලියන 100කට වඩා නිෂ්පාදනය කරන අතර ඒ යටතේ ඇති Sirio, Alpha, සහ Benji සමාගම් හරහා ශ්‍රී ලංකාව තුළ අමෙරිකානු ඩොලර් මිලියන 450කට වැඩි ආයෝජනයක් සිදුකර තිබේ. පසුගිය වසරේ පමණක් සමාගම අපනයනය කළ ඇඟලුම් ප්‍රමාණය මිලියන 200 ඉක්මවූ අතර, එතුළින් ශ්‍රී ලංකාව ලබාගත් අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 500කට ආසන්න ය.

ශ්‍රී ලංකාවේ උතුරු පළාත තුළ ඇති විශාලතම පෞද්ගලික අංශ ආයෝජනය වන්නේ ද Omega Line වව්නියා කර්මාන්තශාලාවයි. Omega Line හි මව් සමාගමවන Oniverse සතු රටවල් 55ක ඇඟලුම් සාප්පු 5,700කට සැපයෙන ඇඟලුම්වලින් 75%කට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාව අපනයනය කිරීම ද විශේෂත්වයකි.


ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව