Omega Line හි ආර්ථික දායකත්වය හොඳම ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වෙයි

1- Omega Line BCCS Award (LBN)

ඉතාලිය කේන්ද්‍ර කරගත් Calzedonia (Oniverse  ලෙස ප්‍රකට) සමූහයට අයත් මෙරට ප්‍රමුඛතම ඇඟලුම් අපනයන සමාගමක්වන Omega Line ආයතනය, ලංකා වාණිජ මණ්ඩලය විසින් පසුගියදා සංවිධානය කරන ලද හොඳම ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙලේදී ‘ආර්ථික දායකත්වය වෙනුවෙන් කාණ්ඩ ජයග්‍රාහකයෙකු ලෙස නම් කෙරුණි.

 



 

කාන්තා යට ඇඳුම් සහ පිහිනුම් ඇඟලුම් නිෂ්පාදනය වෙනුවෙන් විශේෂත්වයක් උසුළන Omega Line ආයතනය වාර්ෂිකව මිලියන 100කට වැඩි ඇඟලුම් ප්‍රමාණයක් අපනයනය කරයි. ඒ සඳහා 4,500කට වැඩි සේවක පිරිසක් දායකවන අතර ඉන් සියයට 90කටත් වැඩි පිරිස කාන්තාවන් වීම ද කැපීපෙනෙයි. දේශීය සැපයුම්කරුවන් සමඟ සහයෝගීතාවයෙන් තම දේශීය රෙදි නිෂ්පාදන ධාරිතාව ද නංවාගැනීමට Omega Line ආයතනය සමත්ව ඇති අතර ඒ හරහා වඩාත් ශක්තිමත් සහ විචලතාවන්ට ගැලපෙන සැපයුම් දාමයක් බිහිකරගැනීමට අපේක්ෂිත ය.

මෙම ඇගයුම හරහා අපගේ දක්ෂ කාර්යමණ්ඩලයේ නොපසුබට කැපවීම පිළිබිඹු වෙනවා. අපට ඉදිරියට යාමේදී ඔවුන්ගෙන් ලද දායකත්වය විශිෂ්ටයි. ඒ වගේම නවෝත්පාදනය සහ බලපෑම් සහගත නව විසඳුම් වෙනුවෙන් අපගේ කැපවීම හරහා දේශීය ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් සපයා තිබෙනවා, යනුවෙන් Omega Line සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂ ෆීලික්ස් ප්‍රනාන්දු මහතා පැවසුවේය.

Omega Line ආයතනය යනු 15,500කට අධික සේවක සංඛ්‍යාවකින් යුතු සහ, ඉකුත් වසරේදී ඇඟලුම් නිෂ්පාදන මිලියන 200කට ආසන්න ප්‍රමාණයක් අපනයනය කළ මෙරට අපනයන ඇඟලුම් ක්ෂේත්‍රයේ දැවැන්තයෙකුවන Omega සමූහයේ සාමාජිකයෙකි. වර්තමානයේදී රට මුහුණ දෙන ආර්ථික අභියෝග හමුවේ වුව ද ඉකුත් වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 600කට වැඩි පිරිවැටුමක් සහ ඩොලර් මිලියන 350ක ආයෝජන සිදුකිරීමට සමහය සමත්විය.

Omega Line සහ මව් සමාගම වන Calzedonia සිය 25 වැනි වසරට පා තබන මේ මොහොතේ ශ්‍රී ලංකාව තුළ ඉතාම සාර්ථක ලෙස ව්‍යාපාර කටයුතුවල නිරතව සිටියි. 1999 වසරේදී සමාගම් සමූහය සතු සමස්ත අලෙවිසැල් ප්‍රමාණය 300කටත් අඩු වූ අතර මේ වනවිට රටවල් 55ක් පුරා අලෙවිසැල් 5,500කට වැඩි ප්‍රමාණයක් සමූහය සතු ය. මෙම සුවිශේෂී වර්ධනයත් සමඟ ගෝලීය වශයෙන්  Omega Line ලැබෙන පිළිගැනීම ද ඉහළ ගිය අතර ඒ සමඟ කාන්තා යටඇඳුම් වෙළෙඳපොළ තුළ ද විශේෂ වර්ධනයක් දක්නට ලැබුණි.

මේ අතර, ආයතනික සමාජ වගකීම් වෙනුවෙන් Omega Line සතු කැපවීම ද ශ්‍රී ලංකාව තුළ ආයතනික පුරවැසිභාවය පිළිබඳ කදිම නිදසුන් සපයයි. විවිධ වැඩසටහන් හරහා දේශීය ව්‍යවසායකයින්ට සහාය වීම, යටිතල පහසුකම් සංවර්ධනය මෙන්ම ඉගෙනුම් සහ සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් ආයෝජනය කිරීම ආදිය සමාගම නිරන්තරයෙන් සිදුකරයි.

තව ද සේවක සංවර්ධනය වෙනුවෙන් ඔවුන්ට වෘත්තීය නිපුණතාවන්ට අමතරව, මූල්‍ය කළමනාකරණය, සන්නිවේදනය සහ පුද්ගල වර්ධනය වෙනුවෙන් ද සමාගම මඟපෙන්වයි. තව ද, ඵලදායී සන්නිවේදන ක්‍රමවේද, විධිමත් ප්‍රතිපත්ති ආදිය මගින් සේවකයින්ගේ සක්‍රීය දායකත්වය වර්ධනය කරමින් නවෝත්පාදනය සහිත ධනාත්මක ආයතනික පරිසරයක් නිර්මාණය කිරීමට ද සමාගමට හැකිවී තිබේ. ඊට අමතරව සේවක සුබසාධනය වෙනුවෙන් ද නිවාස ණය, වෛද්‍ය පහසුකම් ආදී විවිධ සහන රැසක් සමාගම ක්‍රියාත්මක කරයි.

තාක්ෂණික නවෝත්පාදනය වෙනුවෙන් ද ප්‍රසිද්ධියක් උසුළන Omega Line සමාගම පුළුල් ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලියකට ද මුල පුරා තිබේ. එනම් IoT සහ කෘතිම බුද්ධිය ආශ්‍රිත පර්යේෂණ හා සංවර්ධන කටයතු හරහා මෙහෙයුම් කාර්යක්ෂමතාව වර්ධනය කරගැනීමට සමාගම අරමුණු කරයි.

තිරසරභාවය වෙනුවෙන් සිය කාබන් විමෝචනය අවම කරගැනීමට ද Omega Line සමාගම කැපවී සිටියි. සමාගමේ කර්මාන්තශාලා සූර්යබලශක්තියෙන් බලගන්වා ඇති අතර විදුලි ආලෝකය සැපයීමට LED විදුලි බල්බ භාවිත කෙරේ. එමෙන්ම කිලෝ වොට් 2300ක බලශක්තියක් ජනනය කෙරෙන සූර්ය බලාගාරයක් වෙනුවෙන් ද අමෙරිකානු ඩොලර් මිලියන 1.85ක් ආයෝජනය කිරීමට Omega Line සමාගම පියවර ගෙන තිබේ.

තම ව්‍යාපාර මෙහෙයුම් තුළින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයට සුවිශේෂී දායකත්වයක් සපයමින් කලාපීය ආර්ථික වර්ධනය ද සමඟින් දිවයිනේ අපනයන අංශයේ වර්ධනය වෙනුවෙන් ද Omega සමූහය සුවිසල් කාර්යභාරයක් ඉටුකරයි. ව්‍යාපාර සාර්ථකත්වය සහ සමාජ ප්‍රගමනය අතර ඇති අවියෝජනීය බැඳීම ඉස්මතු කරන මෙම වැඩපිළිවෙළ තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික අභිවෘද්ධිය වෙනුවෙන් සමාගම සතු කාර්යභාරය මැනවින් පිළිබිඹු කෙරේ.

මේ අතර 2024 වසරේ ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදන කර්මාන්ත අංශයේ හොඳම සේවා ස්ථාන 15 අතරට එක්වීමට ද සමාගමට හැකිවූ අතර, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ 45 වැනි සංවත්සර සම්මාන උළෙලේදී ද වෙළෙඳ භාණ්ඩ අංශයේ විශිෂ්ට අපනයන ව්‍යාපාර සම්මානය දිනාගැනීමට Omega Line සමත්විය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව