
- ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මාංශ ආහාර නිෂ්පාදනය සඳහා දේශීය විශ්වවිද්‍යාලයකින් සත්‍යාපන සහතිකකරණයක්
සියයට සියයක් ප්‍රතිජීවක භාවිතයෙන් තොර කුකුළුමස් නිෂ්පාදනයේ යෙදෙන ශ්‍රී ලංකාවේ එකම සමාගමවන නිව් ඇන්තනීස් ෆාම්ස් පුද්ගලික සමාගම, පසුගියදා පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමඟ වසර 5ක විශේෂ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේය. ඒ, සිය ප්‍රතිජීවකවලින් තොර නිෂ්පාදන ක්‍රියාවලිය තුන්වැනි පාර්ශ්වයක් හරහා සත්‍යාපනය කිරීම වෙනුවෙනි.
මෙම අවබෝධතා ගිවිසුම හරහා නිව් ඇන්තනීස් සමාගමේ නිෂ්පාදන කටයුතු විධිමත් විශ්ව විද්‍යාල පර්යේෂණ ඒකකයක් හරහා අධීක්ෂණයට ලක්වන අතර, එවැනි සත්‍යාපනය ක්‍රියාවලියකට යොමුවූ මෙරට එකම මාංශ ආහාර නිෂ්පාදකයා ද නිව් ඇන්තනීස් සමාගම වීම කැපීපෙනේ.
ISO/IEC 17025 ප්‍රතීතන සහතිකලත් ශ්‍රී ලංකාවේ එකම විශ්ව විද්‍යාල පර්යේෂණාගාරය පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය පශු වෛද්‍ය සහ සත්ත්ව විද්‍යා පීඨයට අයත්වන අතර එහිදී නිව් ඇන්තනීස් හි බ්‍රොයිලර් කුකුළුමස් නිෂ්පාදනයේ සෑම අදියරක්ම සියුම්ව නිරීක්ෂණය කරමින් කිසිදු ප්‍රතිජීවක භාවිතයක් සිදුනොවන බව සත්‍යාපනය කරනු ඇත.
අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලය නියෝජනය කරමින් එහි උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා සහ වැඩබලන ලේඛකාධිකාරී කේ.ඒ.බී. දමුණුපොළ මහතා සහභාගී වූ අතර, නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගම වෙනුවෙන් එහි කළමනාකාර අධ්යක්ෂ එමිල් ස්ටැන්ලි මහතා ද, ප්‍රධාන විධායක නිලධාරී නීල් සුරවීර මහතා ද එක්වූහ. විශ්ව විද්‍යාලයීය පර්යේෂණාගාරය (FSQAL-UPDN) නියෝජනය කරමින් වෛද්‍ය ළහිරු සඳරුවන්, වෛද්‍ය මධුර මුණසිංහ සහ මහාචාර්ය රුචික ප්‍රනාන්දු යන මහත්වරු ද එම අවස්ථාවට සහභාගී වූහ.
″වසර ගණනාවක් පුරා අපි ප්‍රතිජීවක භාවිතයෙන් තොර කුකුළුමස් නිෂ්පාදන වෙළෙඳපොළට සැපයීම පිළිබඳ කළ සාකච්ඡාව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පශු විද්‍යා පර්යේෂණ ඒකකය මගින් විද්‍යාත්මකව තහවුරු කිරීමේ අවස්ථාව උදාවී තිබෙනවා. මෙය අලෙවිකරණ ක්රමෝපායක් ලෙස වරදවා වටහා නොගත යුතුයි. මෙය විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත්කිරීමක්. පාරිභෝගිකයින් වෙනුවෙන් විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත්කිරීමක්″, යනුවෙන් ප්‍රධාන විධායක නිලධාරී නීල් සුරවීර මහතා පැවසුවේය.
ප්‍රතිජීවක භාවිතය ලොව දැවැන්තම මහජන සෞඛ්‍ය තර්ජනයක් බවට පත්ව ඇති පසුබිමක මෙසේ ප්‍රතිජීවක භාවිතයෙන් තොර නිෂ්පාදන ක්‍රියාවලි සත්‍යාපනයක් සිදුකිරීමට නිව් ඇන්තනීස් සමාගම පියවර ගෙන තිබේ. ජාත්‍යන්තර පුරෝකථනවලට අනුව වර්ෂ 2050 වනවිට වාර්ෂික ගෝලීය මරණ මිලයන 100කට ප්‍රතිජීවක ප්‍රතිරෝධය හේතුවිය හැකි අතර, එමගින් සිදුවන ආර්ථික හානිය අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 100 ඉක්මවනු ඇතැයි ද ගණන් බලා තිබේ.
නිව් ඇන්තනීස් සමාගම සිය නිෂ්පාදන ක්‍රියාවලියෙන් ප්‍රතිජීවක භාවිතය අත්හැරදැමුවේ 2018 වසරේදීය. එ් එවැනි පියවරක් තැබූ පළමු සහ එකම දේශීය මාංශ ආහාර නිෂ්පාදන සමාගම බවට පත්වෙමිනි. වසර හතකට පසුව ද ප්‍රතිජීවක භාවිතයෙන් තොර එකම ශ්‍රී ලාංකීය මාංශ ආහාර නිෂ්පාදකයා වන්නේ නිව් ඇන්තනීස් සමාගමයි. ප්‍රතිජීවක භාවිතයෙන් තොරව කුකුළුමස් නිෂ්පාදනය කිරීමේදී දැඩි ජෛවආරක්ෂණ ප්රමිතීන් අනුගමනය කළ යුතු අතර, ආයතනගත පශු වෛද්‍යවරුන් විසින් නිර්මාණය කරන ලද පෝෂණ ක්‍රමවේද භාවිත කළ යුතුය. තව ද ප්‍රෝබයොටික් සහ ස්වභාවික සුගන්ධ තෙල් (essential oil) යොදාගත් විකල්ප සෞඛ්‍ය කළමනාකරණ ක්‍රමවේද භාවිතය, නිරන්තර අධීක්ෂණය මෙන්ම ඉහළ නිෂ්පාදන පිරිවැය ද ප්‍රතිජීවක භාවිතයෙන් තොර මාංශ නිෂ්පාදනයේ අනිවාර්ය අංග වේ. ″අපේ නිෂ්පාදන ක්‍රියාවලිය ඉතාම දුෂ්කර සහ පිරිවැය අධික ක්‍රියාවලියක්. එහෙත් එසේ නොකිරීම තුළින් අපි මිනිස් ජීවිතවලට එල්ලකරන තර්ජනයේ බලපෑම මිලකළ නොහැකියි″, සුරවීර මහතා වැඩිදුරටත් පැවසුවේය.
වර්ෂ 1986දී ආරම්භ කළ නිව් ඇන්තනීස් සමූහය FSSC 22000 සහතික ලත් ශ්‍රී ලංකාවේ පළමු මාංශ ආහාර නිෂ්පාදකයාවන අතර, හරිතාගාර වායු විමෝචනය වෙනුවෙන් ISO 14064-1:2018 සහතිකය ද හිමිකරගෙන සිටී. අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික කුකුළුමස් කවුන්සිලය විසින් පිරිනමන සත්ත්ව සුබසාධන සහතිකය ද සමාගම සතු අතර, දකුණු ආසියානු සහ උපසහරානු අප්‍රිකා කලාපය තුළ එක්සත් ජනපද සෝයා ලේබලය (සත්ත්ව ආහාර වෙනුවෙන්) හිමිකරගත් පළමු සමාගම වීම ද කැපීපෙනේ. සමාගමේ හරිතහරි නිෂ්පාදනය මගින් සියයට සියයක්ම ස්වභාවිකව දිරාපත්වන ඇසුරුමක් හඳුන්වාදුන් අතර, එවැන්නක් සිදුකළ ප්‍රථම ශ්‍රී ලාංකික මාංශ ආහාර නිෂ්පාදකයා ද වේ.
සිය නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රමිතිගත කිරීමෙන් ඔබ්බට යමින් ඉකුත් නොවැම්බර් මාසයේදී ප්‍රතිජීවක ප්‍රතිරෝධය පිළිබඳ ජාතික සංවාද මණ්ඩලයක් සංවිධානය කිරීමට ද සමාගම පෙරමුණ ගත්තේය. සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ සහයෝගයෙන් සංවිධානය කළ එම සංවාද මණ්ඩපයට, ප්‍රතිපත්ති සම්පාදකයින්, කර්මාන්ත නායකයින්, සෞඛ්‍ය වෘත්තිකයින්, පශු වෛද්‍ය විශේෂඥයින් සහ සංවර්ධන සහකරුවන් ඇතුළු පාර්ශ්වකරුවෝ 100කට වැඩි ප්‍රමාණයක් සහභාගී වූහ. ඊට අමතරව විශ්ව විද්‍යාල සිසුන් සහ තම කාර්යමණ්ඩලය ඉලක්ක කරගත් ප්‍රතිජීවක ප්‍රතිරෝධය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ද සමාගම විසින් සංවිධානය කරන ලදී.
පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමඟ ඇතිකරගත් මෙම අවබෝධතා ගිවිසුමේ වැදගත්කම වන්නේ, හුදෙක් අලෙවිකරණ පොරොන්දුවලින් ඔබ්බට ගොස් පාරිභෝගික ජනතාවට විද්‍යාත්මකව තහවුරු කළ දත්ත රැගත් විශ්වාසනීය නිෂ්පාදන ඉදිරිපත් කිරීමේ සංස්කෘතියක් නිර්මාණය කිරීමට මඟපෙන්වීම ය. ප්‍රතිජීවක භාවිතය මත දැඩි ලෙස රැඳීපවතින කර්මාන්ත ක්ෂේත්රයකට දුෂ්කර එහෙත් වගකීම් සහගත සහ තිරසර විකල්ප මාවතක් හඳුන්වාදීමට නිව් ඇන්තනීස් සමාගම පියවර ගෙන තිබේ.


