Microsoft ශ්‍රී ලංකාවේ නව ව්‍යාපාර වෙනුවෙන් Microsoft for Startups Founders Hub දියත් කරයි

Panel Discussion (LBN)

 



 

 

2022 ඔක්තෝම්බර් 27, කොළඹ: ශ්‍රී ලංකාවේ ආරම්භක මට්ටමේ ව්‍යාපාර හිමියන්ට තම අදහස් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට සහ රටේ ආර්ථිකයට දායක වීමට උපකාරී වීමේ අරමුණින් Microsoft for Startups Founders Hub පසුගියදා දියත් කරන ලදි.

සමාගමක් ආරම්භ කිරීමේදී ව්‍යවසායකයන්ට මුහුණ දීමට සිදුවන සාම්ප්‍රදායික බාධක ඉවත් කිරීමේ අරමුණින් Microsoft for Startups Founders Hub හඳුන්වා දී ඇත. මෙහිදී අදාළ ව්‍යාපාරිකයන්ගේ පසුබිම, ඔවුන් සිටින ස්ථානය, අත්කරගන්නා ප්‍රගතිය හෝ ඔවුන් තුළ ඇති අභිලාශ වැනි සාධක නොසලකා ඔවුන්ට ව්‍යාපාර දියුණු කරගැනීමට අත්වැලක් ලබා දේ. මේ යටතේ ශ්‍රී ලංකාවේ ආරම්භක මට්ටමේ ව්‍යාපාරවලට තාක්ෂණික සහය, මගපෙන්වීම සහ මෘදුකාංග සේවාවන් ඇතුළු බොහෝ දේ ලබාගත හැකි අතර, මීට Azure credits, Microsoft 365, GitHub Enterprise, Visual Studio Enterprise, Power BI Pro, සහ Power Platform Power Automate ඇතුළුව Microsoft සමාගම සතු තාක්ෂණික මෙවලම්ද ඇතුළත් වේ.

Microsoft for Startups Founders ප්‍රධාන අංශ තුනක් මත පදනම් වී ඇත.

සියල්ලන්ට නවෝත්පාදන අවස්ථා සහතික කිරීම: ව්‍යවසායකයන්ගේ පසුබිම හෝ ඔවුන් සිටින ප්‍රදේශය වැනි සාධක නොතකා, ව්‍යාපාරයක් ආරම්භ කරන ඕනෑම ව්‍යවසායකයෙකුට සාර්ථක වීමට උපකාර කිරීම මෙහි අරමුණයි. මෙහිදී ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී ව්‍යවසායකයන් මුහුණ දෙන ප්‍රාග්ධන අවශ්‍යතා සහ බාහිර පාර්ශ්වයන්ගේ අනුමැතිය අවශ්‍ය වීම වැනි සම්ප්‍රදායික බාධක ඉවත් කෙරේ.

ක්‍රමයෙන් වැඩිවන තාක්ෂණික ප්‍රතිලාභ: ව්‍යාපාරය සමග සමීපව කටයුතු කරමින්, GitHub Enterprise සහ Microsoft Azure වෙත නොමිලේ ප්‍රවේශය ලබාදෙමින් සහ කාලයත් සමඟ අමතර ප්‍රතිලාභද පිරිනමමින්, ව්‍යාපාරය ඉක්මනින් දියුණු කරගැනීමට මෙය උපකාරී වේ.

උපදෙස් හා මගපෙන්වීම් ලබාගැනීමට අවස්ථාව සලසා දීම: සමාගමක් නිර්මාණය කිරීම යනු තවදුරටත් දැනහැඳුනුම්කම් මත රඳා පවතින දෙයක් නොවේ. මෙම පදනම ඔස්සේ ව්‍යවසායකයන්ට අදාළ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් සමග සම්බන්ධ වීමට හැකි වීම, තමන්ට ගැළපෙන පරිදි සැලසුම් කළ පුහුණු වැඩසටහන් භාවිත කිරීමට හැකි වීම සහ විශේෂඥ තාක්ෂණික සහය සමගින් වඩාත් ඉක්මනින් නවෝත්පාදන සිදුකිරීමට අවස්ථාව ලැබීම වැනි ප්‍රතිලාභ රාශියක් හිමි වේ.

Microsoft for Startups Founders Hub දියත් කිරීමේ උත්සවය 2022 ඔක්තෝබර් 27 දින කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්විණි.  Microsoft හි සාමාන්‍යාධිකාරී (අග්නිදිග ආසියාවේ නව වෙළඳපොළ) සුක් හූන් චියා මහත්මිය මෙහිදී ප්‍රධාන දේශනය සිදුකළා ය. “‘Made in Asia’ to ‘Born in Asia’” යන තේමාව යටතේ පවත්වන ලද මෙම දේශනයේදී ශ්‍රී ලංකාවේ ආරම්භක මට්ටමේ ව්‍යාපාරවලට Microsoft තාක්ෂණය සමගින් ජාත්‍යන්තර තලයට පිවිසීමට පවතින හැකියාව පෙන්වා දෙන ලදි.

“ආසියාව 2050 වන විට ලෝකයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් අඩක් උත්පාදනය කරනු ඇතැයි සහ, 2030 වන විට සියලුම පර්යේෂණ සහ සංවර්ධන ආයෝජනවලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයකට දායක වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. 21 වැනි සියවසේ ඉදිරි කාලය හැඩගැස්වීමේ හැකියාව සහිත ඉහළ වටිනාකමක් ඇති ‘Born in Asia’ නිර්මාණශීලිත්වය, ප්‍රභවය සහ නව්‍යකරණය, ‘Made in Asia’ අපනයන අභිබවා යමින් සිටිනවා. Azure හි බලය සමඟින්, ආරම්භක මට්ටමේ ව්‍යාපාර හිමි ව්‍යවසායකයන්ට අවම වෙහෙසක් සමගින් උපරිම සාර්ථකත්වයක් ළඟා කරගැනීමට පුළුවන්. මෙම ව්‍යාපාර ක්ෂේත්‍රයේ හැකියාවන් සුවිශාල බවත්, රටේ ආර්ථිකයේ පුනර්ජීවනයට දැවැන්ත දායකත්වයක් ලබාදීමට ඔවුන්ට හැකියාව ඇති බවත් අප හොඳින් දන්නවා.”  සුක් හූන් චියා මහත්මිය වැඩිදුරටත් පැවසුවා ය.

මෙම අවස්ථාවට, ආරම්භක මට්ටමේ ව්‍යාපාරවලට අදාළ  විවිධ පාර්ශ්ව  සහ ප්‍රතිපත්ති සම්පාදක/පාලන ආයතනයක්වන ICTA ඇතුළු ප්‍රධාන අංශ වල නියෝජිතයන් සහභාගී වූ විශේෂ සාකච්ඡාවක් ද ඇතුළත් විය. මීට එක්වූ ප්‍රවීණයන් විසින්, සාමාන්‍යයෙන් ආරම්භක මට්ටමේ ව්‍යාපාර මුහුණ දෙන අභියෝග සහ ඒවා ජය ගැනීම සඳහා භාවිතා කළ හැකි විසඳුම් ආදිය සාකච්ඡා කරන ලදි. Microsoft හි ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ප්‍රධානී චින්තක දුනුවිල විසින් මෙහෙයවන ලද මෙම සංවාදයට ICTA සහකාර ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී සචීන්ද්‍ර සමරරත්න, Hatch Sri Lanka සම-නිර්මාතෘ ජීවන් ඥානම්, PickMe (Digital Mobility Solutions Lanka (PVT) Ltd) හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ජිෆ්රි සුල්ෆර්, සහ EIMSKY Business Solutions Pvt Ltd. හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී විරංග කැකුලාවල යන මහත්වරු එක්වූහ.

Global Partner Solutions හි ආසියානු පැසිෆික් කලාපය සඳහා ප්‍රධාන තාක්ෂණික නිලධාරී මැතිව් හාඩ්මන් සහ Microsoft හි ක්ලවුඩ් විසඳුම් නිර්මාණ ශිල්පිනී සුවනි සේනානි විසින් “Build with Azure” යන තේමාව යටතේ තාක්ෂණික සැසිය ඉදිරිපත් කරන ලද අතර, එහිදී Azure Cloud සමග නව ව්‍යාපාරවල දියුණුව සඳහා භාවිතා කළ හැකි මෙවලම්, තාක්ෂණයන් හා විශේෂාංග පෙන්වා දෙන ලදි.

“ඉතාමත් අභියෝගකාරී ආර්ථික පසුබිමක් තිබියදීත්, ශ්‍රී ලංකාවේ ආරම්භක මට්ටමේ ව්‍යාපාර සඳහා ලැබුණු ආයෝජන 2021 වසරේ දී 13% කින් වර්ධනය වුණා. Microsoft for Startups Founders Hub ශ්‍රී ලංකාවේ දියත් කිරීමත් සමග, රටේ ව්‍යාපාරවලට වඩාත් පහසුවෙන් දේශීය ආර්ථිකය ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාවේ නවෝත්පාදන ජාත්‍යන්තර තලයට රැගෙන යා හැකි පසුබිමක් නිර්මාණය කිරීමට අපට හැකි වේවි.” Microsoft හි ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ප්‍රධාන කළමනාකරු හර්ෂ රන්දෙණි මහතා පැවසී ය.

Microsoft for Startups Founders Hub ශ්‍රී ලංකාව තුළ ආරම්භ කිරීම යනු, මෙරට ආරම්භක මට්ටේම් ව්‍යාපාර දියුණු කිරීම සඳහා Microsoft සමාගම පුළුල් දායකත්වයක් දක්වමින් සිටින බවට මනා සාක්ෂියකි. මෙබඳු අරමුණු වෙනුවෙන්ම සැලසුම් කළ Microsoft තාක්‍ෂණයන් භාවිතයට ගැනීමෙන්, එම ව්‍යාපාරවලට ශක්තිමත් ලෙස ජාත්‍යන්තර තලයට පිවිසිය හැකිවන අතර, එමගින් සමස්ත රටටම ප්‍රතිලාභ හිමිවනු ඇත.

Microsoft Sri Lanka 2004 වසරේදී ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සමාගමකි

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව