ජෝන් කීල්ස් පදනම මත්ද්‍රව්‍ය දුර්භාවිතය හා නීති විරෝධී ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් සංවිධානය කරයි

Awareness session for staff of Cinnamon Grand

මත්ද්‍රව්‍ය යනු මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙන දරුණුතම ගැටලු අතරින් එකකි. විශේෂයෙන් පාසල් දරුවන් සහ තරුණ තරුණියන් අතර මෙම ගැටලුව බරපතළ ලෙස ව්‍යාප්ත වෙමින් පවතී. මත්ද්‍රව්‍ය කායික හා මානසික ගැටලුවලට හේතු වන අතරම එය පවුල් සහ ප්‍රජාවන් තුළ අර්බුද නිර්මාණය කරමින් රටේ ප්‍රගතියට බාධා ඇතිකරයි.

මෙම තත්වය හේතුවෙන් ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ ආයතනික ප්‍රජා සත්කාර අංශය වන ජෝන් කීල්ස් පදනම 2016 වසරේ සිටම මත්ද්‍රව්‍ය පිටුදැකීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාවට නංවමින් සිටී. එම පදනම මඟින් ‘බලගන්වමු දේශය හෙට දිනට’ යන තේමාව යටතේ ‘සමාජ සෞඛ්‍ය හා සහජීවනය’ යන ප්‍රධාන අංශය ඔස්සේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාවට නංවනු ලබයි. මෙහි තවත් පියවරක් වශයෙන් එම පදනම විසින්, ජූනි 26 දිනට යෙදුණු මත්ද්‍රව්‍ය දුර්භාවිතය හා නීති විරෝධී ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදි.




මේ යටතේ ජුනි 22 සිට 24 දක්වා ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලයේ සහයෝගය ඇතිව Cinnamon Grand කාර්ය මණ්ඩලයේ 644 දෙනෙකු වෙනුවෙන් දැනුවත් කිරීමේ සැසි මාලාවක් පවත්වන ලදී. Cinnamon Hotels & Resorts ජාලය පුරාම මෙම වැඩසටහන් ක්‍රියාවට නංවනු ලබන අතර, එහි පළමු වැඩසටහන මැයි 25 සහ 26 යන දිනවල මහනුවර Cinnamon Myst සහ Cinnamon Citadel යන හෝටල්වලදී 218 දෙනෙකුගේ සහභාගීත්වයෙන් යුතුව පැවැත්විණි. ඉදිරි මාස කිහිපයේදී මෙම ජාලයේ තවත් හෝටල් කිහිපයක මෙබඳු වැඩසටහන් ක්‍රියාවට නැංවීමට නියමිතය.

“මේ වැඩසටහන් මාලාව අතිශයින් සාර්ථකයි. Cinnamon Grand සාමාජික සාමාජිකාවන් සියලුම දෙනාම පාහේ ඒ පිළිබඳව විශාල පැහැදීමකින් යුතුව කතා කළා. අපගේ ඉල්ලීම මත, මත්ද්‍රව්‍ය හඳුනාගැනීම සම්බන්ධයෙන් අපගේ ආරක්ෂක නිලධාරීන්ට විශේෂ පුහුණුවක් ලබාදීමටත් අපට හැකි වුණා. කාර්ය මණ්ඩලයෙන් 80% ක් සහ බාහිර සේවක සේවිකාවන් 34 දෙනෙකු සහභාගී වූ මෙම වැඩසටහන් මාලාවට ලැබුණේ ඉතාම උණුසුම් ප්‍රතිචාරයක්. ඉදිරියේදී කාර්ය මණ්ඩලයේ ඉතිරි පිරිස වෙනුවෙනුත් මෙවැනි වැඩසටහන් සංවිධානය කිරීමට අප බලාපොරොත්තු වනවා.” Cinnamon Colombo Hotels හි අධ්‍යක්ෂ (ඉගෙනුම් හා සංවර්ධන) එස්. ඒ. ප්‍රේමචන්ද්‍ර පැවසීය.

2025 වසරේදී ජෝන් කීල්ස් සමූහයේ සුපිරි වෙළඳසැල් ජාලය වන Keells විසින්ද අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය සමඟ එක් වී තම කාර්ය මණ්ඩලය වෙනුවෙන් වෙළඳසැල් 145 කදී අවදානම් හඳුනාගැනීම සහ නිරෝගී ජීවිතයකට යොමුවීම සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පවත්වන ලදි.

මීට අමතරව පොදු සමාජයේ යහපත වෙනුවෙන්ද ජෝන් කීල්ස් පදනම දීර්ඝ කාලයක පටන් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාවට නංවා තිබේ. එම පදනම 2016 වසරේදී සිටම අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය සහ Humedica Lanka සමඟ එක් වී පාසල් සහ පෙරපාසල් ගුරුවරුන්, සිසුන්, දෙමාපියන්, පළාත් පාලන නිලධාරීන් සහ ප්‍රජා පොලිස් නිලධාරීන් වෙනුවෙන් මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට සහය වීම සම්බන්ධයෙන් වැඩසටහන් රාශියක් පවත්වා ඇත.

එමෙන්ම ස්ත්‍රීපුරුෂසමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය සහ ළමා අපයෝජන වැළැක්වීමේ අරමුණින් පොලිස් නිලධාරීන් වෙනුවෙන් Project WAVE (Working Against Violence through Education) යටතේ ක්‍රියාත්මක වන පුහුණු වැඩසටහන මේ වන විට තවදුරටත් පුළුල් කර තිබේ. මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම සහ ප්‍රජාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේදී නීතිය ක්‍රියාත්මක කරන අංශ සතු තීරණාත්මක භූමිකාව සම්බන්ධ මොඩියුල කිහිපයක් එම වැඩසටහනට අලුතින් ඇතුළත් කර ඇත.

මෙවැනි වැඩසටහන් ඔස්සේ මේ වන විට මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව සම්බන්ධයෙන් 36,000 කට අධික පිරිසක් දැනුවත් කිරීමට ජෝන් කීල්ස් සමූහය සමත් වී තිබේ. මෙය ජනතාවගේත් සමාජයේත් යහපත වෙනුවෙන් සමූහය දක්වන උනන්දුව හා කැපවීම මැනැවින් පිළිබිඹු කරන මෙහෙවරක් ලෙස හැඳින්විය හැකි වේ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව