JAT Holdings මූලික කොටස් නිකුතුව අධි දායකත්වයක් සහිතව අවසන් වෙයි

JAT-Holdings-logo (1)

 




 

 

2021 ජූලි 21, කොළඹ: JAT Holdings මූලික කොටස් නිකුතුව සම්බන්ධයෙන් ආයෝජකයන් අතර විශාල උනන්දුවක් ඇති වූ බවත්, සාමාන්‍ය කොටස් 82,904,846 නිකුත් කරන ලද එම කොටස් නිකුතුව අධි දායකත්වයක් සමගින් සාර්ථක ලෙස අවසන් වූ බවත් එම සමාගම නිවේදනය කරයි. කොටසක් රු. 27 බැගින් නිකුත් කරන ලද මෙම කොටස් නිකුතුව තුළින් එක්රැස් වූ මුළු මුදල රු. බිලියන 2.2 කි. සමාගමේ පර්යේෂණ හා සංවර්ධන අංශය අතිනවීන පහසුකම් සමගින් වැඩිදියුණු කිරීම සහ බංග්ලාදේශයේ නිෂ්පාදන කර්මාන්තශාලාවක් ඇරඹීම සඳහා මෙම මුදල් ආයෝජනය කෙරෙනු ඇත. මෙම කොටස් නිකුතුව මගින් සමාගමේ 16% ක හිමිකාරීත්වයක් මහජනතාව වෙත හිමි වී තිබේ.

ශ්‍රී ලංකාවට අමතරව දකුණු ආසියාව සහ අප්‍රිකාව යන කලාපවල ශක්තිමත් ව්‍යාපාර පදනමක් හිමි JAT Holdings, තම ශක්තිය, අභිලාෂයන්, නායකත්වය හා නවෝත්පාදන හැකියාවන් ඔස්සේ කලාපීය පුරෝගාමියෙකු බවට පත්වීම සඳහා සාර්ථක ඉදිරි ගමනක නිරත වී සිටී. එමෙන්ම ඉදිරියේදී තම නිෂ්පාදන හා සේවාවන් මෙන්ම ප්‍රතිලාභද වැඩිදියුණු කිරීමට සමාගම අපේක්ෂා කරයි.

මූලික කොටස් නිකුතුව සඳහා ලැබුණු අධි දායකත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින්  JAT Holdings  හි ප්‍රධාන විධායක නිලධාරී නිශාල් ප්‍රදිනාන්දු මහතා මෙසේ පැවසී ය. “වාර්තාගත කාලයක් තුළ මෙම මූලික කොටස් නිකුතුව අධි දායකත්වයක් සහිතව අවසන් වීම ගැන අප බෙහෙවින් සතුටු වනවා. මෙය JAT සන්නාමය සම්බන්ධයෙන් ජනතාව තබා ඇති විශ්වාසයට මනා සාක්ෂියක්. නිකුත් කළ කොටස් ප්‍රමාණයට වඩා ඉල්ලුමක් මේ සඳහා නිර්මාණය වීම මගින්, අපගේ ආයතනික හා මූල්‍යමය ශක්තිය කෙබඳුද යන්න මැනැවින් පැහැදිලි වනවා. එමෙන්ම, COVID-19  රෝග ව්‍යාප්තිය හමුවේ පවා, වෙළඳපොළ ප්‍රවණතාවන්ට අනුව සැපයුම ලබාදීම සඳහා අපගේ ව්‍යාපාර කටයුතු පුළුල් හා ශක්තිමත් කිරීමට අප නිරන්තරයෙන් පියවර ගනිමින් සිටිනවා.”

1993 වසරේ ආරම්භ වූ JAT Holdings සමාගම එදා පටන්ම තීන්ත හා ආලේපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස මෙන්ම Sayerlack නිෂ්පාදන සඳහා ලොව විශාලතම බෙදාහැරීම් සමාගම ලෙස විශාල කීර්තියක් දිනා සිටී. මේ වනවිට දකුණු ආසියාව සහ අප්‍රිකාව යන කලාප වල ව්‍යාපාර කටයුතු සිදුකරන එම සමාගම, ඉදිරියේදී තම ආවරණ පරාසය තදුරටත් පුළුල් කිරීමටත්, තමන් සමග අත්වැල් බැඳගෙන සිටින සියලුම පාර්ශ්වයන්ට වැඩි වැඩියෙන් ප්‍රතිලාභ ලබාදීමටත් අපේක්ෂා කරයි.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව