JAAF හි 19 වන වාර්ෂික මහා සභා රැස්වීමේදී සභාපති ශරඞ් අමලියන් සහ විධායක කමිටුව නැවතත් තේරී පත් වෙයි

Image (1) (LBN)

 



 

 

ලෝකයේ අංක එකේ ඇඟළුම් නිෂ්පාදනය කරනු ලබන රට බවට ශ‍්‍රී ලංකාව පත් කරවීමේ අවසාන ඉලක්කය කරා මෙහෙයවනු ලබන ඉහළම ආයතනය වන ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය (JAAF) සිය 19 වැනි වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා පැවති අතර එහිදී ශරඞ් අමලියන් මහතා එහි සභාපති ලෙස නැවතත් තේරී පත් විය. මේ අතර නියෝජ්‍ය සභාපතිවරුන් ලෙස සයිෆුදීන් ජැෆර්ජි සහ ෆීලික්ස් ප‍්‍රනාන්දු යන මහත්වරුන් ඇතුළු විධායක කමිටුව ඒකමතිකව නැවතත් තේරී පත් වීම ද විශේෂත්වයකි.

වාර්ෂික මහ සභා රැස්වීම අමතමින් සභාපති අමලියන් මහතා අවධාරණය කරනු ලැබුවේ 2025 වසරෙන් ඔබ්බට ඇඟලූම් කර්මාන්තය ඉදිරියට රැගෙන යාම සඳහා ධෛර්යමත් හා උද්යෝගිමත් තරුණ නායකයින්ගෙන් සැදුම්ලත් නව පරපුරක් බිහි කිරීමේ වැදගත්කම JAAF විසින් හඳුනාගෙන ඇති බවයි. පසුගිය වසර ඉතා අපහසු එකක් වූ බවත් JAAF විසින් වසරක් ගණනාවක් පුරා අඛණ්ඩව පවත්වා ගෙන ආ විශ්වාසනීයත්වය හේතුවෙන් රජය, අදාළ බලධාරීන් සහ නියාමන ආයතන සමඟ සමීපව කටයුතු කිරීම සඳහා ක්ෂේත‍්‍රයට අනගි සහායක් ලබා දුන් බව පෙන්වා දුන් ඔහු අභියෝගාත්මක හා පෙර නොවූ විරූ සමාජ-ආර්ථික පසුබිමක් තුළ තරගකාරීව ව්‍යාපාරික කටයුතු කිරීමෙහිලා මෙය ප‍්‍රධාන සාධකයක් වූ බව වැඩිදුරටත් පැවසුවේය.

”2022 වසර ශ‍්‍රී ලංකාවට අභියෝගාත්මක හා තීරණාත්මක වසරක් වුණා. පසුගිය වසර අවසානයේදී රුපියල් බිලියන 5.5 ක පිරිවැටුමක් ලබා ගැනීම පිළිබඳව රෙදිපිළි හා ඇඟලූම් ක්ෂේත‍්‍රය ලෙස අප ආඩම්බර විය යුතුයි. මෙම ජයග‍්‍රහණය ලබා ගැනීම වෙනුවෙන් කැප වූ අපගේ පාර්ශවකරුවන්ට, කණ්ඩායම් සාමාජිකයින්ට සහ දිවයින පුරා පිහිටි අපගේ නිෂ්පාදන කර්මාන්තශාලාවල සේවය කරන සාමාජිකයින්ට මම ස්තූති කිරීමට කැමතියි.’’ යනුවෙන් අමලියන් මහතා පැවසුවේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අත්‍යවශ්‍ය සාධකයක්ව පවතින බැවින් 2023 සඳහා සුබවාදී ඉදිරි දැක්මකට අනුගත වන ලෙස මතක් කර දෙමින් ඔහු සිය කතාව අවසන් කළේය.

2023 දී සහ ඉන් ඔබ්බට ක්ෂේත‍්‍රය සඳහා තීරණාත්මක ලෙස බලපානු ලබන වැදගත් ප‍්‍රතිපත්ති ඉස්මතු කරමින් JAAF හි මහලේකම් යොහාන් ලෝරන්ස් මහතා පෙන්වා දුන්නේ 2022 වසර ඇඟලූම් අපනයන සඳහා සැලකිය යුතු වාසනාවන්ත වසරක් වු නමුත් 2022 අවසන් මාසවල ඇඟලූම් අපනයනවල යම් පසුබෑමක් දකින්නට ලැබුණු බවයි. ”ගෝලීය ආර්ථික අවපාතය, ගබඩාවල පාරිභෝගික භාණ්ඩ ප‍්‍රමාණය ඉක්මවා ගබඩා කිරීම සහ ගෝලීය සැපයුම් ජාලවලට යුක්රේන-රුසියාවේ යුද්ධයේ බලපෑම ආදි කරුණු මේ සඳහා හේතු වූවා. ඇමෙරිකානු ඩොලර් බිලියන 5.5 ක අපනයනයකින් අප 2022 වසර අවසන් කිරීමට හැකි වුනා. ඒ පෙර වසරවලට වඩා 10% ක පමණ වැඩිවීමක් ද සමඟින්.

ශ‍්‍රී ලංකාවේ 10% ට සාපේක්ෂව බංග්ලාදේශයේ ඩොලර් බිලියන 45 ක ඇඟලූම් අපනයන ක්ෂේත‍්‍රය 28% ක දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කරන බව ඔහු මෙහිදී සඳහන් කළේය. ”බංග්ලාදේශයේ මෙම වර්ධනය මගින් පෙන්නුම් කරන්නේ අනෙක් තරගකාරී රටවල් ශ‍්‍රී ලංකාව වෙතින් වෙළඳපල කොටස අත්පත් කරගන්නා බවයි. අප උත්සාහ කරන්නේ ගෝලීය වෙළෙඳාමෙන් 1% සිට 2% දක්වා පමණක් අත්පත් කර ගැනීමටයි, නමුත් රජය මේ සඳහා වහාම පියවර නොගතහොත් මෙය අඩු වනු ඇත.’’ බංග්ලාදේශය අවම සංවර්ධිත රටක් ලෙස වර්ගීකරණය කර ඇති අතර, එයට යුරෝපා සංගමයට සහ එක්සත් රාජධානියට අසීමිත ප‍්‍රවේශයක් ඇති බවත්, ශ‍්‍රී ලංකාවේ GSP+ සහ DCTS යෝජනා ක‍්‍රම අනුව තීරු බදු රහිතව එම රටවලට අපට යැවිය හැක්කේ අපගේ අපනයනවලින් 50%කට පමණක් බවත් ඔහු සඳහන් කළේය.

පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක් හමුවේ ශ‍්‍රී ලංකාව අවම සංවර්ධිත රටක්ය යන සාධකය මත යුරෝපා සංගමයේ GSP+ සහ එක්සත් රාජධානියේ සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක‍්‍රමය (DCTS) යන යෝජනා ක‍්‍රම දෙක සඳහා Rules of Origin ලිහිල් කිරීමට JAAF අදාල බලධාරීන්ට අඛණ්ඩව කරුණු ඉදිරිපත් කළ බව මෙහිදී ලෝරන්ස් මහතා පැහැදිලි කළේය. ශ‍්‍රී ලංකාවේ ඇඟලූම් සඳහා ඉන්දියාවේ තීරුබදු රහිත සහනය ලබා දෙන්නේ ඇඟලූම් කෑලි මිලියන 8 ක් සඳහා පමණක් බවත් මේස් හෝ අත්වැසුම් යුගලයක් කෝටාව යටතේ ඇතුලත් වීමේදී ඒවා කෑලි දෙකක් ලෙස ගණනය කිරීම නිසා යම් අසාධාරණයක් සිදු වන බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. සම්පූර්ණ කෝටාව ඉන්දියාවට යැවීමට ගත් උත්සාහයන් පිළිබඳව වාණිජ දෙපාර්තමේන්තුවට සිය ස්තූතිය පුද කළ ලෝරන්ස් මහතා අවධාරණය කළේ 2023 දී ඉහළම FOB අගයන් සඳහා කෝටාව භාවිතා කිරීමට JAAF කටයුතු කිරීමට අදහස් කරන බවයි.

මෙම වාර්ෂික මහ සභා රැස්වීම සඳහා JAAF හි හවුල්කාර පාර්ශවයන් වන Apparel Accessory Manufacturers Association (FAAMA), Sri Lanka Apparel Sourcing Association (SLASA), Sri Lanka Chamber of Garment Exporters (SLCGE) සහ Free Trade Zone Manufacturers Association (FTZMA) යන සංගම් එක්ව සිටියේය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව