INSEE Ecocycle සමාගම මෙරට විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය සඳහා තිරසාර කළමනාකරණ විසඳුමක් හඳුන්වා දෙයි

01 (1)

අග්නිදිග ආසියාතික කලාපයේ දැවැන්තම සිමෙන්ති නිෂ්පාදකයා වන සියාම් සිටි සිමෙන්ට් (ලංකා) සමාගමට පූර්ණ අනුබද්ධිත සමාගමක් වන INSEE Ecocycle Lanka පුද්ගලික සමාගම, ශ්‍රී ලංකාවේ භාවිත කර ඉවත දැමූ විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ සඳහා තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුමක් සැපයීමට පසුගියදා සමත්විය.

ඒ අනුව විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණයේ ප්‍රකට සමාගමක් වන ජපානයේ Ousei Kankyo Shoji සමාගම සමඟ ඇති කරගත් නව හවුල්කාරීත්වයකට අනුව විදුලි පරිපථ ප්‍රතිචක්‍රීකරණය සඳහා අපනයනය කිරීමට INSEE Ecocycle Lanka පුද්ගලික සමාගම පියවර ගෙන තිබේ. මෙම නව හවුල්කාරීත්වය තුළින් ශ්‍රී ලංකාවේ තිරසාරත්වයට හා අන්තර්ජාතික සහයෝගීතාවට දිගුකාලීන ප්‍රතිලාභ සැලසෙනු ඇත.

විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය ප්‍රමාණය වේගයයෙන් ඉහළ යාමත්,  ඒවා අවිධිමත් හා අනාරක්ෂිත ලෙස බැහැර කිරීමත් (එළිමහනේ පිළිස්සීම හෝ කසල අංගන කරා බැහැර කිරීම ආදී) නිසා රට තුළ තිරසාර සංවර්ධන ඉලක්කවලට එමගින් ඇතිවන බලපෑමට අමතරව, පරිසරයට මෙන්ම මිනිස් සෞඛ්‍යයට ද ඉන් බරපතල හානියක් ඇතිවන බව  INSEE Ecocycle ආයතනය මැනවින් අවබෝධ කරගෙන සිටී.

ඒ අනුව භාවිතයෙන් ඉවත් කළ විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ අවිධිමත් ලෙස බැහැර කිරීම නිසා සිදුවිය හැකි පාරිසරික හානිය අවම කිරීමටත්, ඒ පිළිබඳ සමාජ දැනුවත් භාවය වැඩිකිරීමටත් සමාගම පෙරමුණ ගෙන තිබේ. කටුනායක පිහිටි තම නවීනතම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේදී එම අපද්‍රව්‍යවල ඇති ප්ලාස්ටික්, ලෝහ, රබර්, වයර් සහ විදුලි පරිපථ කොටස් වෙන් කිරීමේ සමාගම දැනටමත් නියැළී සිටින අතර, ඉතිරි කොටස් පුත්තලමේ පිහිටි INSEE සමාගමේ සිමෙන්ති උදුන වෙත යැවීම හෝ නිසි හවුල්කාරීත්වයක් සමඟ ප්‍රතිචක්‍රීයකරණය කිරීම සිදුකරයි.

 

 




 

ඉකුත් දා පැවැති ජපානයේ Ousei Kankyo Shoji වෙත පළමු ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය තොගය නැව්ගත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටියේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ය. ඊට අමතරව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ, අධ්‍යක්ෂ ජෙනරාල් පී.බී. හේමන්ත ජයසිංහ, තැපැල් දෙපාර්තමේන්තු ප්‍රධානී රන්ජිත් ආරියරත්න, ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ (අපනයන සැකසුම් කලාප) එම්.කේ.ඩී. ලෝරන්ස්, මධ්‍යම පරිසර අධිකාරියේ රසායනික හා අන්තරාදායක අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර සහ INSEE සමාගමේ සභාපති නන්දන ඒකනායක යන මහත්වරු ද එම අවස්ථාවට සහභාගී වූහ.

“බස්නාහිර හා වයඹ පළාත් හි පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ ධාරිතාව වැඩිකරමින් ශ්‍රී ලංකාව තුළ පවතින විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අර්බුදය විසඳීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටුකිරීමට අපි කැපවී සිටිනවා. ඒ වගේම රටේ අනෙක් පළාත්වලිනුත් ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය එක්රැස් කිරීමට අපි සැලසුම් කරමින් සිටිනවා.  ඊට අමතරව කල් ඉකුත්වූ කිරිපිටි, රාජසන්තක කරන ලද කොකේන් ආදිය විනාශ කිරීමේ ජාතික ක්‍රියාන්විත සඳහාත් අපේ දායකත්වය ලබා දී තිබෙනවා. ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය දැවැන්ත පරිසර ගැටලුවක් බවට පත්වීමට පෙරාතුව ඒ සඳහාත් විසඳුම් සැපයීමට අපි මෙසේ ක්‍රියාකරනවා” යනුවෙන් මෙහිදී අදහස් දක්වමින් INSEE Ecocycle අධ්‍යක්ෂ සංජීව චූලකුමාර මහතා පැවසීය.

චක්‍රීය ආර්ථිකය හා බැඳුණු තම සිමෙන්ති උදුන් ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන යටතේ දශක දෙකකට ආසන්න කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාව තුළ තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීමට INSEE Ecocycle සමත්ව තිබේ.

වර්ෂ 2003 දී ඇරඹුණු INSEE Ecocycle ආයතනය, මෙට්‍රික් ටොන් 297ක ඉවතලූ ටයර් සිය සිමෙන්ති නිෂ්පාදන ක්‍රියාවලියට දහන මාධ්‍යයක් ලෙස උපයෝගී කරගනිමින් සිය මෙහෙයුම් දියත් කළේය. කාලයත් සමඟ මෙරට අන්තරාදායක මෙන්ම අන්තරාදායක නොවන කාර්මික අපද්‍රව්‍ය රැසක් සඳහා පිළියම් සැපයීමට එම ආයතනයට හැකිවිය.

තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වූ ඉල්ලුම ඉතා වේගයෙන් වර්ධනය වී තිබේ. එම වර්ධනයට සමගාමීව INSEE Ecocycle ආයතනය ද තම ධාරිතාව ඉහළ නංවාගෙන ඇත. රුපියල් බිලියන 3කට වැඩි ක්‍රමෝපායික ආයෝජන සමඟින් තම වාර්ෂික අපද්‍රව්‍ය කළමනාකරණ ධාරිතාව මෙට්‍රික් ටොන් ලක්ෂයක් දක්වා වැඩි කරගෙන තිබේ. සමස්ත කාලය පුරාවට ආයතනය හරහා බැහැර කරන ලද අපද්‍රව්‍ය ප්‍රමාණය මෙට්‍රික් ටොන් මිලියනය ඉක්මවයි.

මේ වසරේදී නවීන තාක්ෂණයෙන් යුත් තම අංග සම්පූර්ණ Resource Recovery මධ්‍යස්ථානය ආරම්භ කිරීමට ද සමාගම පියවර ගෙන තිබුණි. එම මධ්‍යස්ථානය හරහා අපද්‍රව්‍ය බැහැර කිරීමටත්, සම්පත් ඵලදායී හා තිරසාර ලෙස භාවිතයටත් අවස්ථාව හිමිවේ. එබැවින් හරිත චක්‍රීය ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාවට පුරෝගාමී දායකත්වයක් ලබාදෙන INSEE Ecocycle ආයතනයේ ගමන් මඟ තුළ එය සුවිශේෂී මඟසලකුණකි.

වර්තමානයේදී ශ්‍රී ලංකාවේ කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුම් සැපයීමෙහිලා ප්‍රමුඛයෙකු බවට INSEE Ecocycle ආයතනය පත්ව තිබේ. මෙරට ආයතන සංඛ්‍යාව 1,000කට වැඩි සංඛ්‍යාවකට ඔවුන්ටම අනන්‍ය වූ කසළ කළමනාකරණ විසඳුම් සැපයීමට INSEE Ecocycle ආයතනයට ක්‍රියාකරයි.

එමෙන්ම INSEE Ecocycle ආයතනය භාවිතයට ගන්නා පෙර-සැකසුම් හා සහ-සැකසුම් ක්‍රමෝපායන්හිදී නිසි නියාමන තාක්ෂණික ප්‍රමිතීන් භාවිතයට ගන්නා අතර, ඒවා ගෝලීය වශයෙන් අපද්‍රව්‍ය කළමනාකරණයේදී පිළිගත් ක්‍රමෝපායන් වීම ද විශේෂත්වයකි. කසළ අංගන කරා අපද්‍රව්‍ය බැහැර කිරීමට හා කසළ පිළිස්සීමට වඩා යහපත් මෙම කළමනාකරණ ක්‍රමවේද හරහා පරිසරයට කිසිදු හානියකින් තොර විසඳුමක් සැපයේ. මෙම සියලු ක්‍රමවේද සඳහා ISO 9001, ISO 14001, ISO 17025 and ISO 45001පාරිසරික ආරක්ෂණ බලපත්‍ර හා කසළ කළමනාකරණ බලපත්‍ර වැනි අවශ්‍ය සියලු හිමිකම් සහ සහතික ද සමාගම සතු වේ.

 

 

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව