IDL ආයතනය, තම කුලුදුල් ප්‍රයත්නයේදීම CIPM විශිෂ්ට මානව සම්පත් ප්‍රශ්නෝත්තර තරඟාවලියේ සමස්ථ ශූරතාවය දිනාගනී.

Capture

දශක 4 ක කාලයක් මුලුල්ලේ කීර්තිමත් උරුමයකට හිමිකම් කියන්නා වූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්ප්‍රීතු නිෂ්පාදන සමාගමක් ලෙස සැලකෙන ඉන්ටර්නැෂනල් ඩිස්ටිලර්ස් ලිමිඩට් (IDL) සමාගම, පසුගියදා නිමාව දුටු ශ්‍රී ලංකා වරලත් පිරිස් කළමනාකරණ ආයතනය (CIPM) විසින් සංවිධානය කරන ලද 2026 වසරේ විශිෂ්ට මානව සම්පත් ප්‍රශ්නෝත්තර තරඟාවලියේදී, ඒ සඳහා සහභාගී වූ කණ්ඩායම් 74 ක් අභිබවා තරඟාවලියේ සමස්ථ ශූරතාවය දිනා ගැනීමට සමත් විය. IDL සමාගම, CIPM ආයතනය විසින් 2014 වසරේ පටන් වාර්ෂික අංගයක් ලෙස සංවිධානය කරනු ලබන්නා වූ මෙම මහා මානව සම්පත් ප්‍රශ්නෝත්තර තරඟාවලිය සඳහා සහභාගී වූ ප්‍රථම අවස්ථාවේදීම මෙම විශිෂ්ට ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත්වීම විශේෂත්වයකි. සමස්ථ ශූරතාවය දිනාගැනීමට අමතරව IDL සමාගම ආහාර, බීම හා ඉස්කාගාර අංශයේ ජයග්‍රාහකයා බවට පත්වීමද විශේෂත්වයකි.




Gilbey’s of London හි අනුබද්ධිත සමාගමක් ලෙස Gilbey’s Lanka Limited ලෙස වර්ෂ 1980 දී ආරම්භ කරන ලද IDL සමාගම, අන්තර්ජාතික තලයේ ආසවනය කිරීම පිළිබඳ විශේෂඥ දැනුම හා දැඩි තත්ත්ව ප්‍රමිතීන් මත තම මූලික පදනම ගොඩනංවා ඇත. වර්ෂ 2004 දී  East India Holdings (Pvt) Ltd.  විසින් අත්පත් කරගැනීමෙන් අනතුරුව, සමාගම උපාය මාර්ගික පරිණාමයකට ලක්වූයේ 2014 වසරේදී සීමාසහිත ඉන්ටර්නැෂනල් ඩිස්ටිලර්ස් ලිමිටඩ් ලෙස තම වත්මන් අනන්‍යතාවය අත්පත් කරගැනීමට පෙරාතුව ID Lanka Limited ලෙස ප්‍රතිසන්නාම ගත වෙමිනි. මේ වන විට IDL සමාගම ශ්‍රී ලංකාවේ විශාලතම දේශීයව නිෂ්පාදනය කරන විදේශීය මත්පැන් නිෂ්පාදකයා ලෙස ගෞරවාදරයට පාත්‍ර වී ඇත්තේ ISO ඇතුලු විවිධ සහතිකකරණ රැසක් යටතේ අරක්කු, විස්කි, බ්‍රැන්ඩි, රම්, ජින් සහ වොඩ්කා යනාදී විශේෂිත ස්ප්‍රීතු කලඹක් වෙළඳපොල වෙත තිලිණ කරමිනි.

ශ්‍රී ලංකා වරලත් පිරිස් කලමනාකරණ ආයතනය විසින් වාර්ෂික අංගයක් ලෙස සංවිධානය කරනු ලබන්නා වූ මහා මානව සම්පත් ප්‍රශ්නෝත්තර තරඟාවලිය, වර්ෂ 2014 දී ප්‍රථම වරට හඳුන්වා දෙන ලද අතර එතැන් පටන් මුලුමනින්ම මානව සම්පත් කලමනාකරණ ක්ෂේත්‍රය සඳහා කැප වූ රටේ එකම ජාතික මට්ටමේ මානව සම්පත් ප්‍රශ්නෝත්තර තරඟාවලිය බවට මෙම තරඟය මේ වනවිට ප්‍රකටව ඇත. 2026 වසර, තරඟාවලියේ හැරවුම් ලක්ෂයක් ලෙස සටහන් වූයේ මෙම වසරේ තරඟ ආකෘතිය පෙර වසර හා සැසදීමේදී වඩාත් අභියෝගාත්මක බැවින් යුක්තව නව මුහුණුවරක් අත්පත් කර ගත් බැවිනි. 2026 වසරේ විශිෂ්ට මානව සම්පත් ප්‍රශ්නෝත්තර තරඟාවලිය, සරල දැනුම මත පදනම් වූ ප්‍රශ්න වලින් බැහැර වී සැබෑ වෘත්තීය ජීවිතයේ මානව සම්පත් තත්ත්වයන් කෙරෙහි දැඩි අවධානයක් යොමු කල අතර සමස්ථ වෘත්තීය ජීවිතය තුල තීරණ ගැනීම, ගැටලු විසඳීම, උපාය මාර්ගික චින්තනය යන අංශ ඔස්සේ සහභාගීවූවන්ගේ දැනුම නිරීක්ෂණය කිරීම සඳහා මෙවර ප්‍රශ්නාවලිය යොමු විය.

IDL මෙම විශිෂ්ට මානව සම්පත් ප්‍රශ්නෝත්තර තරඟාවලිය සඳහා සහභාගි වූ ප්‍රථම අවස්ථාව වුවද, තරගයට සහගාගී වූ සෙසු කණ්ඩායම් 74 ක් අභිබවා කැපී පෙනෙන දක්ෂතා පෙන්නුම් කරන්නට IDL කණ්ඩායම සමත්විය. දිවයින පුරා පවතින සුප්‍රසිද්ධ සමාගම් රැසක පලපුරුදු කණ්ඩායම් වලට එරෙහිව තරඟ කරමින්,IDL කණ්ඩායම සතු ශක්තිමත් කණ්ඩායම් හැඟීම, සුවිශේෂී විශ්වාසය හා පැහැදිලි ඉලක්කගත බව මනාව විදහා දක්වන්නට IDL කණ්ඩායම සමත් වූ අතර මෙහි ප්‍රතිඵලයක් ලෙස අවසානයේදී සෙසු කණ්ඩායම් හමුවේ උද්ගත වූ තරගකාරිත්වය අභිබවමින් සමස්ථ තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඔවුන් සමත් වූහ. හංසනී ඉලංගකෝන්, චමින්ද ඩී සේරම්, ප්‍රසාද් ගුණතිලක සහ අශාන් මාරවීරහේවා යන අතිදක්ෂ IDL සාමාජික සාමාජිකාවෝ ජයග්‍රාහී කණ්ඩායමට ඇතුලත් වූහ. අඛණ්ඩ ඉගෙනුම් සංස්කෘතිය, කණ්ඩායම් හැගීම් ප්‍රවර්ධනය හා සැබෑ ලෝකයේ ව්‍යාපාරික අවස්ථාවන්හිදී මානව සම්පත් කලමනාකරණ දැනුම ප්‍රායෝගිකව භාවිතා කිරිම සහ යහපුරුදු කෙරෙහි IDL සමාගම විසින් දක්වන අවධාරණය පිළබිඹු කරමින්, සූක්ෂම සූදානම, පීඩනය යටතේ පැහැදිලි චින්තනය සහ අඛණ්ඩ සහයෝගීතාවය යන අංශ ඔස්සේ IDL කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු වීම විශේෂත්වයකි.

ඉන්ටර්නැෂනල් ඩිස්ටිලර්ස් ලිමිටඩ් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරි ජනෙක් ජයසේකර මහතා තම කණ්ඩායමේ ජයග්‍රහණය පිළිබඳව සිය අභිමානය ප්‍රකාශයට පත්කරමින්; ”අප සහභාගී වූ පළමු අවස්ථාවේදීම CIPM විශිෂ්ට මානව සම්පත් ප්‍රශ්නෝත්තර තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට හැකිවීම අප සාමාජික සාමාජිකාවන්ගේ දැනුම, ගුණාත්මක බව හා හැකියාව පෙන්නුම් කරන්නා වූ විශිෂ්ට උදාහරණයක්. මෙම ජයග්‍රහණය අප මානව සම්පත් කණ්ඩායමේ පමණක් නොව අප ආයතනයේ විශිෂ්ට සංස්කෘතිය, උපායමාර්ගික චින්තනය හා අප වටිනාම වත්කම වන අප මානව සම්පත සංවර්ධනය කිරීම උදෙසා අප සතු උනන්දුව හා කැපවීම පෙන්නුම් කරන්නා වූ මනා නිර්ණායකයක්. මෙම තරඟය හමුවේ අප කණ්ඩායම විසින් අත්පත් කරගත් සාර්ථකත්වය, ව්‍යාපාර කාර්යසාධනය තවදුරටත් ඉහළ නංවමින් තරගකාරිත්වය හමුවේ තිරසාර ලෙස නැගීසිටීමට හැකි විශිෂ්ට මානව සම්පතක් අප ආයතනය තුළ පවතින බව තහවුරු කරනවා.” යැයි පැවසීය.

IDL සමාගමේ ප්‍රධාන මානව සම්පත් නිලධාරි රෝහිත අමරපාල මහතා මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින්; “මෙම ජයග්‍රහණය අප මානව සම්පත් කණ්ඩායමේ දක්ෂතාවය සහ විශිෂ්ටත්වය සඳහා ඔවුන්ගේ කැපවීම පෙන්නුම් කරන්නා වූ කදිම නිදසුනක්. IDL හි පලමු උත්සහයේදීම CIPM විශිෂ්ට මානව සම්පත් ප්‍රශ්නෝත්තර තරඟාවලිය ජයග්‍රහණය කිරීම, අප ආයතනයේ පුද්ගල කලමනාකරණ භාවිතයන් තුල අප ගොඩනගා ඇති ශක්තිමත් පදනම මනාව පිලිබිඹු කරනවා. සැබෑ වෘත්තීය ලෝකයේ සංකීර්ණ අවස්ථා සඳහා උපායමාර්ගික මානව සම්පත් සිද්ධාන්ත භාවිතා කිරීම පිණිස අප කණ්ඩායම අප විසින් ගොඩනංවා ඇති ආකාරය මෙම ජයග්‍රහණය තුලින් මනාව නිරුපණය වෙනවා. හංසනී, චමින්ද, ප්‍රසාද් හා අශාන් විසින් පෙන්නුම් කල සුවිශේෂී දස්කම් වෙනුවෙන් සහ ඔවුන් අප ආයතනයට ලබාදුන් මෙම විශිෂ්ට ගෞරවය වෙනුවෙන් මා ඔවුනට මාගේ ස්තූතිය පුද කරනවා.” යනුවෙන් ප්‍රකාශ කලේය.

මෙම ජයග්‍රහණය, තම වටිනාම සම්පත වන මානව සම්පත දියුණුකිරීම හා ඔවුන් සවිබලගැන්වීම සඳහා උපක්‍රමශීලිව ආයෝජනය කරන්නා වූ ආයතනයක් ලෙස IDL සමාගමේ ප්‍රතිරූපය තවදුරටත් ශක්තිමත් කරයි. ජාත්‍යන්තර පිලිගැනීමක් සහිත, සම්මානිත විශේෂ මධ්‍යසාර සන්නාම සමඟ සහ යුරෝපය, ඕස්ට්‍රේලියාව, ජපානය හා උතුරු ඇමෙරිකාව පුරා වර්ධනය වන ශක්තිමත් අපනයන පියසටහනක් සමඟ IDL සමාගම, ශ්‍රී ලාංකීය මධ්‍යසාර ස්ප්‍රීතු නිෂ්පාදන සමගම් අතර තම විශිෂ්ටත්වය තවදුරටත් තහවුරු කරගෙන ඇත. IDL සමාගම විසින් අත්පත් කරගත් මෙම නවතම ජයග්‍රහණයත් සමඟ, ලෝක පූජිත මධ්‍යසාර ස්ප්‍රීතු නිෂ්පාදනය කිරීමේදී පමණක් නොව ශ්‍රී ලාංකීය තරඟකාරි ව්‍යාපාරික පරිසරය තුල ඉහළ සාර්ථකත්වයක් අත්පත්කරදෙන විශිෂ්ට කණ්ඩායම් ආයතනය තුල ගොඩනැංවිමේදි, විශිෂ්ටතම ගෝලීය යහ-පුරුදු භාවිතය, නවෝත්පාදනයන් දිරිගැන්විම හා විශිෂ්ටත්වය හඹායෑම සඳහා පවතින නොසැලෙන කැපවීම හරහා අභිමානවත් දේශීය උරුමය ගෝලීය තලය දක්වා ඔසවා තබන්නට සමාගම සතු අපේක්‍ෂාව තවදුරටත් තහවුරු කරයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ten + fifteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව