ICTA විසින් උපාධි අපේක්ෂකයින් අතර ව්‍යවසායකත්වය දිරිගැන්වීමට ImagineIF පවත්වයි

Photo 1

ශ්‍රී ලංකාවේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ (ICT) ක්ෂේත්‍රයේ ප්‍රධානත ම ආයතනයක් වන ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA) මගින්  දේශීය තරුණ ව්‍යවසායකත්වය නගා සිටුවීමේ අරමුණ ඇතුව ‘’ImagineIF’’ නමින් ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහන් මාලාවක් ආරම්භ කරන ලදී.

විශ්ව විද්‍යාල උපාධි අපේක්ෂකයින්  අතර ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම තුළින් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් සහ  ගෝලීය වෙළඳපල ජයගත හැකි අනාගත පරපුරක් බිහි කිරීමේ පරම අභිලාශය අතැතිව 2018 වසරේදී ආරම්භ කල මෙම වැඩසටහන අද වන විට විශ්ව විද්‍යාල සිසුන් අතර බෙහෙවින් ප්‍රචලිතය.

අද වන විට රාජ්‍ය සහ රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල වල ඉගෙනුම ලබන උපාධි අපේක්ෂකයින් 1500කට අධික පිරිසක් මෙම වැඩසටහන හරහා පුහුණුව ලබා ඇති අතර මෙම වැඩසටහන තෝරාගත් විශ්ව විද්‍යාලයන්හි දින තුනක කාලයක් පුරාවට වැඩමුළුවක ආකාරයෙන් පැවැත්වේ.

මෙහි පළමු වැඩමුළුව තුළදී ව්‍යවසායකත්වය හා සම්බන්ධ මූලික සංකල්ප පිළිබඳ ශිෂ්‍ය ශිෂ්‍යවන් දැනුවත් කරන  අතර, එහිදී තමන් සතු ව්‍යාපාරික අදහසක් සාර්ථක ව්‍යපාරයක් බවට පත් කරගන්නේ කෙසේද, වෙළඳපල තුළට ආකර්ෂනීය නිෂ්පාදනයක්/සේවාවක්  දියත් කරනුයේ කෙසේද යන්න පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර දෙවෙනි දිනයේදී සිසුන්ට සිය ව්‍යාපාර සැලැස්ම අනෙක් අය සමග එක්ව කතිකා කිරීම තුළින් සාර්ථක ව්‍යපාර අදහස් නිර්මාණය කිරීම සඳහා විනෝදය සහ උද්යෝගය පිරුණු ක්‍රියාකාරකම් රැසක් සංවිධානය වේ. මෙහිදී කණ්ඩයම් සඳහා අවශ්‍ය මගපෙන්වීම සහ මාර්ගෝපදේශය ලබා දීම ක්ෂේත්‍ර ප්‍රවීණයින් සහ ප්‍රමුඛ පෙළේ සාර්ථක ව්‍යවසායකයින් විසින් කරනු ලැබේ.  වැඩමුළුවෙහි අවසන් දිනයෙහි සිසුන් විසින් සිය ව්‍යපාරික අදහස්  ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් ඉදිරියේ ඉදිරිපත් කරනු ලබන අතර එහිදී සහභාගී වූ සියලු දෙනා හට රජය  විසින්  පිළිගත් සහතික පත්‍ර  බෙදාදීමක් සිදු කරනු ලැබේ.

මෙම වටිනා කර්තෘව්‍ය සඳහා වූ අදහස 2017 වසරේදී  Disrupt Asia වැඩසටහන තුළින් බිහි වූ අතර, ඒ පිළිබඳ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමඟ පවත්වන ලද සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව  රාජ්‍ය සහ රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල ICTA  ආයතනය සමඟ එක්ව මෙම වැඩසටහන ආරම්භ කිරීමට මූලික පියවර ගන්නා ලදී.

ව්‍යවසායකත්ව හැකියාවන් වර්ධනයට  අමතරව මෙම වැඩමුළු තුළදී සිසුන්ගේ දැනුම සහ ආකල්ප වර්ධනය කිරීම, චින්තනය සහ තර්කානුකූල කුසලතා වර්ධනය කිරීම, ගැටළු විසඳීමේ කුසලතා වර්ධනය කිරීම කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කරනු ලැබේ.  තවද ස්වකීය හැකියාවන් අන් අය සමග බෙදාහදා ගැනීම සහ අන්තර් සම්බන්ධතා වර්ධනය කර ගැනීම ඔස්සේ සාර්ථක ව්‍යවසායකයින් බවට පත් වීමට අවශ්‍ය අඩි තාලම නිර්මාණය කර ගැනීමට සහභාගී වන්නන්ට අවස්ථාව උදා වේ.

මෙම වැඩමුළුවට සහභාගී වූ බොහෝ පිරිසකගේ ආකර්ශණය දිනා ගැනීමට ප්‍රවීණයින්  විසින් භාවිත කරන ලද වෘත්තීය මට්ටමේ ක්‍රමවේද සමත් වූ  අතර වර්තමාන විශ්ව විද්‍යාල අධ්‍යාපන  ක්‍රමය මඟින් සිසුන් තුළ වූ නිර්මාණාත්මක අදහස් ව්‍යාපාරයන් බවට පත් කිරීමේ ක්‍රම වේදය සඳහා නව මුහුණුවරක් මෙම වැඩසටහන විසින් එක් කිරීමට සමත්වී   තිබේ.

මෙහිදී  විශ්වවිද්‍යාල තුළ විවිධ ක්ෂේත්‍ර හදාරන සිසුන් එකට කණ්ඩායම් වී සිය ව්‍යාපාර අදහස් සාර්ථක ව්‍යාපාර බවට පත් කර ගැනීමට ක්ෂේත්‍ර ප්‍රවීණයන් සමඟ  එක් ව දින තුනක්  පුරා සාමුහිකව ක්‍රියා කරන අතර එමගින් විශ්ව විද්‍යාල හා නව ව්‍යවසාය පද්ධතිය අතර අන්තර් සම්බන්ධතාවයද වැඩිදියුණු වේ.

මෙම වැඩමුළුවේ දෙවන අදියර ලෙස ICTA  ආයතනය විසින් ක්ෂේත්‍ර සඳහා විශේෂ වූ ව්‍යවසායකත්ව වැඩමුළු මාලාවක් සංවිධානය කිරීමට බලාපොරොත්තු වන අතර මේ සඳහා සියලුම විශ්වවිද්‍යාල වල අදාල ක්ෂේත්‍ර වල සිසුන් හා ක්ෂේත්‍ර ප්‍රවීණයන් සමඟ කටයුතු කිරීමට සුදානම් ව සිටි.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව