HUTCH සමාගම, තිරසර හෙටක් වෙනුවෙන් නවීන තාක්ෂණය භාවිත කරමින් මෙරට ප්‍රථම පරිසර හිතකාමී සේවා මධ්‍යස්ථාන ජාලය හඳුන්වා දෙයි.

Image 02 (LBN)

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කටයුතු සහ පාරිභෝගික සේවා ක්ෂේත්‍රය නව මානයකට ගෙන යමින්, පරිසර හිතකාමී තිරසර සංකල්පය මුල් කරගත් සිය ප්‍රථම ‘Signature’ වෙළෙඳ ශාඛා ජාලය ආරම්භ කිරීමට HUTCH සමාගම පියවර ගෙන ඇත. මෙරට තුළ වෙළෙඳ පරිශ්‍රයක් සැලසුම් කිරීමේදී හුදෙක් නාමිකව නොව, පරිසරයට සහ සමාජයට සැබෑ යහපත් බලපෑමක් ඇති වන අයුරින් තිරසාරත්වය සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ කළ ප්‍රථම අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක්වේ.




මෙම සුවිශේෂී වැඩපිළිවෙල යටතේ HUTCH සමාගම සිය ප්‍රථම ශාඛා දෙක පසුගියදා විවෘත කරන ලදී. ඒ අනුව, මෙරට ප්‍රධානතම ව්‍යාපාරික කේන්ද්‍රස්ථානය වන කොළඹ කොටුවේදී Signature+  ශාඛාවක් විවෘත වූ අතර තවත් Signature ශාඛාවක් මීගමුව නගරයේ විවෘත විය. ඉදිරියේදී මෙවැනි ශාඛා රැසක් දිවයින පුරා පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා.

HUTCH සමාගමේ මව් සමාගම වන, ලොව ප්‍රමුඛතම ‘Fortune 500’ ලැයිස්තුවේ රැඳී සිටින CK Hutchison Holdings හි ගෝලීය තිරසාර ප්‍රතිපත්තිය සහ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු (UN-SDGs) වලට අනුකූලව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. මෙම නව වෙළෙඳ කුටි නිෂ්පාදනය කිරීමේදී තිරසාර අමුද්‍රව්‍ය භාවිතා කර ඇති අතර, ඒවා ක්‍රියාත්මක වන්නේ සූර්ය සහ සුළං වැනි පුනර්ජනනීය බලශක්තියෙනි. එමෙන්ම, භාවිතයෙන් ඉවත් කළ සන්නිවේදන උපකරණ විධිමත් ලෙස බැහැර කිරීම සඳහා මෙම පරිශ්‍රයන්හි විද්‍යුත් අපද්‍රව්‍ය (e-waste) එකතු කිරීමේ මධ්‍යස්ථානද පිහිටුවා ඇත. මෙය පාරිභෝගික සේවා මධ්‍යස්ථානයකට එහා ගිය, තිරසාරත්වය පිළිබඳව මහජනයාට ප්‍රායෝගික අත්දැකීම් ලබාගත හැකි අධ්‍යාපනික මධ්‍යස්ථානයක් ලෙස ද ක්‍රියා කරයි.

මෙම දියත් කිරීම පිළිබඳව අදහස් දක්වමින් HUTCH සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරී සෞමිත්‍ර ගුප්තා මහතා මෙසේ පැවසීය: “CK Hutchison සමූහයේ තිරසාර ගමන්මගට සමගාමීව, නවෝත්පාදනය සහ සමාජ වගකීම එකට එකතු කරමින් අපගේ වෙළෙඳ යටිතල පහසුකම් අපි නැවත නිර්මාණය කරනවා. අපට තිරසාරත්වය යනු ශ්‍රී ලංකාවේ අනාගත පරපුර වෙනුවෙන් කරන ආයෝජනයක්. වගකිවයුතු විදුලි සංදේශ ක්‍රියාකරුවෙකු ලෙස පාරිභෝගිකයින්ට සුවිශේෂී අත්දැකීමක් ලබා දෙන අතරම, සේවාවන් සැපයීමේදී නව ප්‍රමිතියක් ඇති කිරීමට මෙමගින් අප බලාපොරොත්තු වෙනවා.”



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව