HUNDRED ශ්‍රී ලංකා‘ ජාත්‍යන්තර තරගමාලාවේදී බුවනෙක ගුණතිලකට රිදී පදක්කමක්

Indonesia's Jeland Fajar (left) beat Sri Lanka's Buwaneka Goonathilleka (right) to claim the Men's SIngles gold (LBN)

තරගාවලියේ ශුරයා ඉන්දුනීසියාවෙන් – ශූරිය තායිලන්තයෙන්

ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ සහ ආසියානු බැඩ්මින්ටන් සංගමයේ අනුමැතිය යටතේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් මෙහෙයවනු ලැබූ ‘HUNDRED ශ්‍රී ලංකා‘ ජාත්‍යන්තර තරගමාලාවේ පිරිමි ඒකල තරගයේ රිදී පදක්කම දිනා ගැනීමට බුවනෙක ගුණතිලක සමත් විය. කොළඹ 10, සාන්ත ජෝශප් විදුහල් ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේ පැවැති මෙම තරගමාලාවේ පිරිමි ඒකල අවසන් මහා තරගයේදී  බුවනෙක ගුණතිලක ඉන්දුනීසියාවේ ජෙලන්ඩ් ෆජාර් හමුවේ ලකුණු 21-18ක් සහ 21-13ක් ලෙස පරාජයට පත්විය.

 



 
ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් 16ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 260 දෙනකුට ආසන්න සංඛ්‍යාවක් තරග වැදුණු ‘HUNDRED ශ්‍රී ලංකා‘ ජාත්‍යන්තර තරගමාලාවේ ශූරයා ලෙස ජෙලන්ඩ් ෆජාර් අභිෂේක ලබද්දී තායිලන්තයේ තිඩප්‍රොන් ක්ලීබ්යීසුන් කාන්තා ඒකල අවසන් මහා තරගයේදී සිය රටෙහිම ප්‍රතිවාදී ක්‍රීඩිකා ලලින්රාට් චායිවන් ලකුණු 13-21ක්, 21-14ක් සහ 21-14ක් ලෙස පරාජය කරමින් තරගාවලියේ ශූරිය බවට පත්වූවාය.

දින පහක් පුරා පැවැති මෙම තරගාවලියේදී ජපානය රන් පදක්කම් දෙකක් දිනා ගනිමින් පෙරමුණට පත්වූ අතර, රන් පදක්කමක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් දෙකක් අත්කර ගත් තායිලන්තය දෙවැනි තැනට පත්විය. මැලේසියාව රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් වූ අතර, ඉන්දුනීසියාව රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකකට හිමිකම් කීවේය.

දකුණු කොරියාව රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් තුනක් දිනා ගත් අතර, ශ්‍රී ලංකාවට හිමිවූ එකම රිදි පදක්කම බුවනෙක ගුණතිලක විසින් අත්කර දෙනු ලැබීය. ඉන්දියාවට හිමි වූයේ එක් ලෝකඩ පදක්කමක් පමණි.

කාන්තා හා පිරිමි ඒකල, යුගල සහ මිශ්‍ර යුගල තරග ඉසව් ඇතුළත්වූ මෙම තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට අමෙරිකානු ඩොලර් 5,000ක මුදල් ත්‍යාග පිරිනැමුණු අතර, තරගාවලිය සඳහා HUNDRED, Mobil, McFoil, 3M සහ LI-NING අනුග්‍රාහකත්වය ලැබී තිබිණි.

තරග ප්‍රතිඵල

පිරිමි ඒකල – ජෙලන්ඩ් ෆජාර් (ඉන්දුනීසියාව) විසින් ලකුණු 21-18ක් සහ 21-13ක් ලෙස බුවනෙක ගුණතිලක (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි.

කාන්තා ඒකල – තිඩප්‍රොන් ක්ලීබ්යීසුන් (තායිලන්තය) විසින් ලකුණු 13-21ක්, 21-14ක් සහ 21-14ක් ලෙස ලලින්රාට් චායිවන් (තායිලන්තය) පරාජය කරන ලදි.

පිරිමි යුගල – බ්‍රයන් ගූන්ටින්/ මොහොමඩ් ෆස්රික් (මැලේසියාව) විසින් ලකුණු 17-21ක්, 21-16ක් සහ 21-18ක් ලෙස බූන් ෂූ ගෝ/ වින් ෂෝන් වොං (මැලේසියාව) පරාජය කරන ලදි.

කාන්තා යුගල – හිනා ඔසාවා / අකාරි සාටෝ (ජපානය) විසින් ලකුණු 21-19ක්, 17-21ක් සහ 21-18 ක් ලෙස මින් ජි කිම්/ යූ ජුං කිම් (දකුණු කොරියාව) පරාජය කරන ලදි.

මිශ්‍ර යුගල – යූටා වටනාබේ/ මායා ටගූචි (ජපානය) විසින් ලකුණු 21-15ක් සහ 21-16ක් ලෙස රට්චපෝල් මකසාසිත්‍රෝන්/ නටමොන් ලයිසුවාන් (තායිලන්තය) පරාජය කරන ලදි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව