
රටවල් 28ක ප්රබලතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 650කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් සාන්ත ජෝශප් විදුහල් ගෘහස්ත ක්‍රීඩාගාරයේ පැවැත්වෙන HUNDRED ශ්‍රී ලංකා ජාත්‍යන්තර අභියෝගතා 2025 බැඩ්මින්ටන් ශූරතාවලියේ පිරිමි ඒකල තරග අංශයේ අවසන් 16 දෙනාගේ වටයට (pre-quarter-final) සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක විරේන් නෙත්තසිංහ සමත් විය. මෙම තරගාවලියේ ශ්‍රේණිගත කිරීම්වල සිව්වැනි ස්ථානයේ පසුවන විරේන් නෙත්තසිංහ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබුවේ ඊයේ පැවැති 32 දෙනාගේ වටයේදී ඉන්දියාවේ නරේන් අයියර් ලකුණු 21-15කින් සහ 21-10කින් පරාජය කරමිනි.
පසුගිය වසරේ පැරිස් ඔලිම්පික් උළෙල නියෝජනය කරමින් සෘජු ඔලිම්පික් සුදුසුකම් ලැබූ ලාබාලතම ශ්‍රී ලාංකිකයා බවට පත්වූ විරේන් HUNDRED ශ්‍රී ලංකා ජාත්‍යන්තර අභියෝගතා 2025 බැඩ්මින්ටන් ශූරතාවලියේ පිරිමි ඒකල තරග අංශයේ කැපී පෙනෙන ක්‍රීඩකයකු බවට ද පත්වී සිටී. එම තරග අංශයේ 64 දෙනාගේ වටයේදී ඉන්දුනීසියාවේ නවක ක්‍රීඩකයකු වන හෙන්රිකෝ කෝ හමුවේ තරමක අවිනිශ්චිත ක්‍රීඩා විලාශයකින් තරගය ආරම්භ කළද, වට 2-1කින් ජයග්‍රහණය අත්කර ගැනීමට සමත්විය. එම තරගයේ පළමු වටයේදී ලකුණු 14-21කින් ප්‍රතිවාදි ක්‍රීඩකයා හමුවේ පරාජයට පත්වූ විරේන් දෙවැනි වටයේදී විශිෂ්ට ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් ලකුණු 21-15ක ජයක් වාර්තා කරමින් තරගය සම කළ අතර, තීරණාත්මක තුන්වැනි වටය ජයගනු ලැබුවේ ලකුණු 22-20කිනි.
තරග කාණ්ඩ 5කින් සමන්විත වදින HUNDRED ශ්‍රී ලංකා ජාත්‍යන්තර අභියෝගතා 2025 තරගාවලියට කාන්තා හා පිරිමි ඒකල, යුගල සහ මිශ්‍ර යුගල තරග ඇතුළත් වන අතර, ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ සහ ආසියානු බැඩ්මින්ටන් සංගමයේ අනුමැතිය යටතේ තරගාවලිය පැවැත්වේ.
අමෙරිකානු ඩොලර් 17,500ක මුදල් ත්‍යාග බෙදා දෙන HUNDRED ශ්‍රී ලංකා ජාත්‍යන්තර අභියෝගතා 2025 තරගාවලියට HUNDRED, Mobil, McFoil, 3M සහ Li Ning අනුග්‍රාහකත්වය ලැබී තිබේ.