2026 CRIB දත්ත කළමනාකරණ සහ අනූකූලතා සම්මාන උළෙලේ දී HNB Finance රජත සම්මාන දිනයි

HNB Finance secures CRIB Silver - Photo

ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශය විසින් වාර්ෂිකව සංවිධානය කරන 2026 CRIB දත්ත කළමනාකරණ සහ අනූකූලතා සම්මාන උළෙලේදී දත්ත ඉදිරිපත් කිරීමේ සිව්වන කාණ්ඩයේ රජත සම්මාන දිනා ගැනීමට HNB Finance PLC සමත් විය.

HNB Finance දිනාගන්නා ලද මෙම සම්මානය ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යංශීය වාර්ෂික ප්‍රධාන විධායක නිලධාරී සමුළුව සහ ආයතනික ශ්‍රේණිගතකරණ සම්මාන උළෙලට සමගාමීව පිරිනැමුනු අතර මෙම සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකීය බැංකු සහ බැංකු නොවන මූල්‍ය සමාගම් ක්ෂේත්‍රයේ විශිෂ්ටතම ණය දත්ත කළමනාකරණය, ආයතනික අනුකූලතා සහ වගකීම් සහගත මූල්‍ය භාවිතයන් පවත්වාගෙන යාම යන අංශයන්ගෙන් මූල්‍ය ආයතන ඇගයීමට ලක්කෙරේ.




මූල්‍ය සමාගම් විසින් සිදුකරන දත්ත සත්‍යාපනය, දත්ත කළමනාකාරණ කාර්යක්ෂමතාව, සහ දත්ත ඉදිරිපත් කිරීමේ ධාරිතාව යන ප්‍රධාන කාණ්ඩ යටතේ රන් , රිදී සහ ලෝකඩ සම්මානයන් හරහා බැංකු සහ  මූල්‍ය සමාගම් ඇගයීමට ලක් වූ අතර සම්මාන සඳහා අයදුම් කල මූල්‍ය ආයතනයන් හි පරිමාව, සහ ඉදිරිපත් කළ තොරතුරුවල ධාරිතාව සැලකිල්ලට ගෙන අයදුම්කරුවන් ඒ ඒ කාණ්ඩයන් වෙත ලැයිස්තුගත කෙරිණ.

HNB Finance සමාගමට හිමි වූ මෙම රිදී සම්මානය, නිවැරදි, සම්පූර්ණ සහ කාලෝචිත ණය තොරතුරු අඛණ්ඩව ඉදිරිපත් කිරීම සඳහා සමාගම දක්වන කැපවීම පිළිබිඹු කරයි. එමෙන්ම, ගනුදෙනුකරුවන්ගේ දත්ත වගකීමෙන් යුතුව කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය පද්ධති, අභ්‍යන්තර පාලන ක්‍රමවේද සහ යහපාලන ප්‍රමිතීන් ශක්තිමත්ව පවත්වාගෙන යාමට සමාගම ලබා දෙන ප්‍රමුඛත්වය ද මෙම ඇගයීමෙන් තහවුරු වේ.

ණය තොරතුරු කාර්යංශය වෙත ඉදිරිපත් කරන ණය තොරතුරුවල වලංගුභාවය, නිරවද්‍යතාව, අඛණ්ඩතාව, සම්පූර්ණත්වය සහ කාලෝචිතභාවය ආවරණය වන පරිදි ආයතන මට්ටමින් සිදු කෙරෙන දැඩි ඇගයීම් ක්‍රියාවලියකින් අනතුරුව මෙම සම්මාන පිරිනැමේ. දත්ත කළමනාකරණ කාර්යක්ෂමතාව මෙන්ම අදාළ වාර්තාකරණ, නියාමන සහ අනුකූලතා අවශ්‍යතා නිසි පරිදි පිළිපැදීම ද මෙම ඇගයීමේදී සැලකිල්ලට ගනු ලැබේ.

මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වන HNB Finance PLC හි  කළමනාකාර අධ්‍යක්ෂක සහ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා “නිවැරදි සහ කාලෝචිත ණය තොරතුරු පවත්වාගෙන යාම නියාමන අවශ්‍යතාවක් සපුරාලීමකට පමණක් සීමා වන්නේ නැහැ. එය ගනුදෙනුකරුවන්ට මූල්‍ය පහසුකම් ලබාගැනීමේ හැකියාවට මෙන්ම මූල්‍ය ආයතන විසින් ගනු ලබන ණය තීරණවල ගුණාත්මකභාවයට ද සෘජුවම බලපානවා. ගනුදෙනුකරුවන්ගේ ණය වාර්තා නිවැරදිව පවත්වාගෙන යන විට වගකීමෙන් යුතුව ණය ගනුදෙනු කරන පුද්ගලයන් වඩා සාධාරණ ලෙස ඇගයීමට ලක් කළ හැකියි. එමඟින් ණය තීරණ වඩාත් කාර්යක්ෂමව ගැනීමටත්, මූල්‍ය පහසුකම් ලබාගැනීමේදී ඇතිවන අනවශ්‍ය ප්‍රමාදයන් අවම කිරීමටත් හැකි වෙනවා.

ශක්තිමත් ණය දත්ත කළමනාකරණයක් මූල්‍ය විනය ශක්තිමත් කිරීමට ද දායක වෙනවා. අවදානම් වඩාත් වගකීමෙන් මිල නියම කර කළමනාකරණය කිරීමටත්, ණය කළඹවල ගුණාත්මකභාවය ආරක්ෂා කර ගැනීමටත්, තැන්පත්කරුවන් ඇතුළු අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමටත් එය මූල්‍ය ආයතනවලට උපකාරී වෙනවා. වගකීමෙන් යුතු සහ ගනුදෙනුකරු කේන්ද්‍ර කරගත් මූල්‍ය ආයතනයක් තවදුරටත් ගොඩනැගීමේදී විනයානුකූල ක්‍රියාවලීන් පවත්වාගෙන යාම සඳහා අපගේ කණ්ඩායම් දක්වන කැපවීම මෙම ඇගයීමෙන් පිළිබිඹු වෙනවා.” යනුවෙන් පැවසීය.

ගනුදෙනුකරුවන්ගේ දෘෂ්ටිකෝණයෙන් බැලූ විට, ණය දත්තවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම මඟින් ණය ඉල්ලීම් වඩාත් කඩිනමින් ඇගයීමටත්, විනිවිදභාවයෙන් යුතු ණය තීරණ ලබාගැනීමටත්, තම අවශ්‍යතාවට ගැළපෙන මූල්‍ය පහසුකම් වෙත වඩා හොඳ ප්‍රවේශයක් ලබාගැනීමටත් අවස්ථාව සැලසේ. ආයතනික මට්ටමින් එය ණය අවදානම් කළමනාකරණය, වගකීමෙන් යුතු ණය ප්‍රදානය සහ අනාගත ගෙවීම් අවදානම් කල්තියා හඳුනාගැනීම යන ක්ෂේත්‍ර තවදුරටත් ශක්තිමත් කරයි.

මෙම සම්මානය, සමාගමේ දත්ත යහපාලන පද්ධති, නියාමන අනුකූලතා රාමුව, ඩිජිටල් වාර්තාකරණ හැකියාවන් සහ ගනුදෙනුකරුවන්ගේ තොරතුරු කළමනාකරණ ක්‍රමවේද තවදුරටත් ශක්තිමත් කිරීමට දිරිගැන්වීමක් වන බව HNB ෆිනෑන්ස් සමාගම සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ නීතිමය බලයලත් ණය තොරතුරු අධිකාරිය වන CRIB ආයතනය විසින් සංවිධානය කරනු ලබන ආයතනික ශ්‍රේණිගත කිරීමේ සම්මාන, මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ණය දත්ත කළමනාකරණය සහ නියාමන අනුකූලතාව සම්බන්ධයෙන් විශිෂ්ටත්වය ඇගයීමට පිරිනැමෙන මෙරට වඩාත් ගෞරවනීය සහ ඉහළ පිළිගැනීමක් සහිත සම්මාන අතරෙහි ලා ගැනේ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − 16 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව