HNB සහ CIC එක්ව කාන්තා සේවකයින් සඳහා කාන්තා සෞඛ්‍ය වැඩසටහනක් හඳුන්වා දෙයි

Image 01 (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව කාන්තා සේවිකාවන්ගේ යහපැවැත්ම සහ ඵලදායිතාව ඉහළ නැංවීමේ අරමුණින් කාන්තා සෞඛ්‍ය වැඩසටහනක් හඳුන්වා දීමට CIC Holdings සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය.

CIC හි සෞඛ්‍ය සහ පුද්ගලික ආරක්ෂණ අංශය මගින් පහසුකම් සපයනු ලබන CIC Holdings සහ HNB අතර ඇති කරගනු ලැබූ මෙම හවුල්කාරීත්වය සඳහා අත්සන් තැබීම HNB ටවර්ස් හිදී සිදු විය. කාන්තාවන් මුහුණ දෙන ප්‍රධාන සෞඛ්‍ය අභියෝගවලට මුහුණ දීමට මෙන්ම ඔවුන්ගේ සමස්ත යහපැවැත්ම සහ රැකියා ජීවිතයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ වැදගත් පියවරක් ලෙස මෙම වැඩසටහන පෙන්වා දිය හැකිය.

 



 
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB ප්‍රධාන මානව සම්පත් නිලධාරී (CHRO) කේ. ඉන්ද්‍රවාසන් මහතා පැවසුවේ “අපගේ සේවකයින්ගේ සෞඛ්‍ය සහ යහපැවැත්මට ප්‍රමුඛත්වය දීම අපේ ආයතනයේ සාර්ථකත්වයට ඉතා වැදගත්. බොහෝ විට නොසලකා හරින කාන්තාවන්ගේ සෞඛ්‍යය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව අප හඳුනාගෙන තිබෙනවා. CIC හෝල්ඩින්ග්ස් සමඟ අප ඇති කරගත් මෙම හවුල්කාරිත්වය තුළින් කාන්තාවන්ට ඔවුන්ගේ නිශ්චිත සෞඛ්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා සහාය වීමට අපගේ කැපවීම හොඳින් පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම කාන්තා සෞඛ්‍යය වැනි සේවකයින්ගේ අනන්‍ය අවශ්‍යතා ආමන්ත්‍රණය කිරීම මගින් සේවා ස්ථානය වඩාත් පිළිගත හැකි, සාධාරණ සහ සැමට සහයෝගය දැක්වීමට මෙම මුලපිරීම වැදගත් පියවරක් ලෙස පෙන්වා දිය හැකියි.” යනුවෙනි.

වසර තුනක් පුරාවට ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම සුවතා වැඩසටහන මගින් බෝ නොවන රෝග, කාන්තාවකගේ ඔසප් වීම නතර වීම හෙවත් ආර්තවහරණය, පෝෂණය, මානසික සෞඛ්‍යය සහ වඳභාවය වැනි පුළුල් පරාසයක කාන්තා සෞඛ්‍ය ගැටලු රැසක් කෙරෙහි අවධානය යොමු කරනු ඇත. මෙම වැඩසටහන සියලුම HNB කලාපීය කාර්යාල හරහා ක්‍රියාත්මක කෙරෙන අතර, අවම වශයෙන් මසකට එක් සැසියක් පැවැත්වීමට සැලසුම් කර ඇත. මීට අමතරව මෙම වැඩසටහන මගින් සෑම මාස තුනකට වරක්ම කාන්තා සෞඛ්‍ය ගැටලු පිළිබඳව රට පුරා පුළුල්ව ආවරණය කරමින් විවිධ සෞඛ්‍ය මාතෘකාවක් කෙරෙහි අවධානය යොමු කරනු ඇත.

“HNB සමඟ අප ඇති කරගත් මෙම සහයෝගීතාවයේ අරමුණ වන්නේ බැංකු ක්ෂේත්‍රයේ කාන්තාවන් සඳහා කල්පවත්නා ධනාත්මක වෙනසක් ඇති කිරීමයි. සේවක සුභසාධනය සඳහා HNB හි කැපවීම සමඟ CIC Holdings හි සෞඛ්‍ය සහ පුද්ගලික ආරක්ෂාව පිළිබඳ දැනුම ඒකාබද්ධ කරමින් සැලකිය යුතු වෙනසක් ඇති කිරීම සඳහා වැඩසටහනක් නිර්මාණය කිරීමට අපට හැකි වුණා. මෙම වැඩසටහනෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකි බව මට විශ්වාසයි.” යනුවෙන් මෙම හවුල්කාරීත්වය පිළිබඳව CIC Holdings කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී ආරෝෂන් සේරසිංහ මහතා සඳහන් කළේය.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව